අර්හත්වය ට භව්‍ය ය පුද්ගලයෙක් ද?

අප්‍රේල් 2021 කතු වැකිය

අර්හත්වය ට භව්‍ය ය පුද්ගලයෙක් ද?

සටහනේ අන්තර්ගතය

නිර්වාණ ධර්මය ඔබ ඇසුරු කරන්නේ නිර්වාණය ලැබීම පිණිස වෙන්න ඇතිනේ නේද? නිවන හෙවත් අග්‍ර ඵලය වූ රහත් ඵලය ලබන්නට කැමැත්තෙන් වෙන්නට ඇතිනේ නේද? ඉතින් තමන් බලාපොරොත්තු වන මේ අග්‍ර ධර්මය හෙවත් අර්හත්වය ලැබීමට නොහැකි වන කාරණා 6ක් ගැන සම්මා සම්බුදු රඳුන් විටෙක පෙන්වා දෙනවා. අපිටත් ඒ කාරණා යෙදෙනවා ද කියලා ඒ පිළිබඳ ව විමසා බලමු.

තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් කාරණා 6ක් ගෙන හැර දක්වමින් පවසනවා මෙන්න මේ කරුණු 6 යමෙකුට තිබෙනවා නම් ඒ පුද්ගලයා අර්හත්වය පසක් කරන්නට අභව්‍ය යයි කියලා.  අංගුත්තර නිකාය - ඡක්ක නිපාතය - 8. අරහත්ත වර්ගය - 6.2.3.9. අග්‌ගධම්‌ම සූත්‍රය (පිටුව 238 – 241)

“මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත මහණ අග්‍රධර්මය වන අර්හත්වය පසක් කරන්නට අභව්‍ය වෙයි. කවර සයෙකින යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ
  1. සැදැහැ නැතියේ වෙයි
  2. හිරි නැතියේ වෙයි
  3. ඔතප් නැතියේ වෙයි
  4. කුසීත වෙයි
  5. දුෂ්ප්‍රාඥ (ප්‍රඥා නැතියේ) වෙයි
  6. කයෙහි දු දිවියෙහි දු බලාපොරොත්තු සහිත වෙයි.
මහණෙනි, මෙ කරුණු සයෙන් යුක්ත මහණ අග්‍ර ධර්ම සඞ්ඛ්‍යාත අර්හත්වය පසක් කරන්නට අභව්‍ය වෙයි.

හැම විටක ම පෙන්වා දෙනවා වගේ මෙහි දීත් බලන්න පළමු වෙන් ම පෙන්වා ඇති කාරණය “ශ්‍රද්ධාව” නම් වූ බීජයයි.  එසේ නම් ඔබගේ ශ්‍රද්ධාව ගැන විමසා බැලිය යුතු වෙනවා. 

හිරි සහ ඔතප් කියන්නේ පාපයට ඇති ලැජ්ජාව සහ බය කියන කාරණය.  තමන් ගැන විමසා බලන්න පැවැත්ම තුල ඉන්නට ඇති කැමැත්ත තියෙන තාක් පැවැත්ම තුල පොර කන්න සිද්ධ වෙනවා.  විවිධාකාරයෙන් සිදු වන මේ පොරය නිසාම සිතෙන් කයෙන් වචනයෙන් පාපයක් ම සිද්ධ වෙනවා.  මේ දේවල් අවබෝධයෙන් කටයුතු කරන විට පැවැත්ම අවසන් කර ගන්නවා කියන අදිටනින් යුක්ත ව සිත නිවනේ පිහිටනවා.  අන්න ඒ නිසා නිවන ලබන්නට නම් හිරි - ඔතප් හෙවත් පාපයට ලැජ්ජාව බය තිබීම අනිවාර්ය කාරණයක් වෙනවා.

කුසීත බව කියලා කියන්නේ මේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු වලට ඇති කම්මැලිකම ගැන නෙවේ.  අප්‍රමාදී ව පැවැත්ම අවසන් කර ගැනීමට විමුක්තිය ලැබීමට ඇති කම්මැලි නොවන බව ගැන තමයි මේ කියන්නේ.  ටිකක් හිතන්න කෙනෙක් ඉන්නවා කිසිදු කම්මැලිකම ක් නැතිව පැවැත්ම පිණිස වෙහෙස වෙනවා. සිත, කය, වචනය පාන්දර සිට රෑ වෙනකම්ම යොමු වෙලා තියෙන්නේ පැවැත්ම සුවසේ සකස් කර ගන්නට. මේ අයට බණක් අහන්නට මොහොතක් වෙන් කරන්නටත් කම්මැලිකම ක් තමයි නැගෙන්නේ.  පැත්තකට වෙලා භාවනා කරන බණ අහන කෙනෙක් දුටුවා ම කියන්නෙත් කම්මැලිකම ට වැඩක් වත් කරන්නේ නෑ කියලා.  ඉතින් එහෙනම් මේ සාමාන්‍ය මිනිස්සු හඳුනා ගන්න කම්මැලිකම, කුසීත බව ගැන නෙවේ කියන්නේ. 

තමන් ව විමසා බලන්න... බණ ඇසීමට ඇති කුසීත බව, භාවනා කිරීමට ඇති කුසීත බව... ධර්මයට සම්බන්ධ දේ ඇසුරු කරන්නට, කල්‍යාණ මිත්‍රයින් ඇසුරු කරන්නට ඇති කුසීත බව ගැන ගැඹුරින් විමසා බලන්න.  බණක් අහන කොට නින්ද යන ඔබට සින්දුවක් නාට්‍යයක් බලන කොට අවදියෙන් සිටින්නට හැකි නම් අන්න කුසීත බව එතැන යෙදෙනවා.  එහෙනම් කුසීත බව යෙදෙන තාක් නිවන් දකින්නට අර්හත්වය ලබා විමුක්තිය ලබන්නට අභව්‍ය බව අවබෝධ කර ගන්නට ඕන.

ප්‍රඥා නැති බව හෙවත් දුෂ්ප්‍රාඥ බව කියන කාරණය ඉතින් පැහැදිලියි නේ.  සත්පුරුෂ ධර්මය ආර්ය ධර්මය කෙරෙහි ඇති නුවණ... ඒවා නිසි සේ අවබෝධයෙන් තම තමන්ගේ ජීවිත වලට එකතු කර ගැනීම තුල තමයි මේ ප්‍රඥා ඇති බව සකස් වෙන්නේ.  ඒ කාරණය විමසා තම තමන්ගේ ජීවිත වලට එකතු කර ගැනීම ඔබට භාරයි ඉතින්.

කයෙහි දු දිවියෙහි දු බලාපොරොත්තු ඇති බව.  මේ කාරණය හරිම වැදගත්.  ඔබ කෑමෙන් බීමෙන් පරිස්සම් වෙලා ලෙඩක් දුකක් නැතිව නම් නිවන් ලබන්නට බලාපොරොත්තුව එතැන යෙදෙන මෙන්න මේ නිවන් නො ලැබීම පිණිස එහි යෙදෙන කෙලේසය අවබෝධ කර ගත යුතුයි.  රහතන් වහන්සේට නේ කය කෙරෙහි බලාපොරොත්තු නැත්තේ, රහතන් වහන්සේ නේ ජීවිත අපේක්ෂාවක් නැත්තේ ලෙසින් තර්ක වාද නොකර නුවණින් විමසා බලන්නට ඕන මේ කියන කාරණය ගැන.  ඔබ නිරන්තරයෙන් කයෙහි සුඛ විහරණය පිණිස අවධානය යොමු කරනවා නම්... බණක් අසන්නට ගියත් සුවසේ ඉන්නට සොයනවා නම්... කෑම බීමට හිත යොමු කරගෙන ඉන්නවා නම්... කෑම බීමෙත් නිරෝගී දිවියකට අවශ්‍ය කෑම ලෙසින් නම් කරගෙන ඒවා පසුපස යනවා නම් මේ සෑම තැනක ම යෙදෙන්නේ කය කෙරෙහි, ජීවිතය කෙරෙහි ඇති බලාපොරොත්තු සහිත බවයි.

එසේ නම් තම තමන් ගැන විමසා බලන්න.  මේ කාරණා 6 තමන් කෙරෙහි තියෙනවා දැයි විමසා බලන්න.  ඒවා තියෙනවා නම් ඒ අඩුපාඩු සකසා ගන්නට උත්සාහවන්ත වන්න.  මේ අඩුපාඩු යෙදී තියෙන ඔබ එකවර බණ දහම් අවබෝධ කර ගන්නට හැකියි කියලා කටයුතු කරනවා නම් එය විය නොහැකි දෙයක් බව නුවණින් දැක ගෙන තම තමන් විමසා කටයුතු කර ගන්නට කැප වෙන්නට සිහිපත් කරනවා.      

“මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත මහණ අග්‍ර ධර්ම සඞ්ඛ්‍යාත අර්හත්වය සාක්ෂාත් කරන්නට භව්‍ය වෙයි. කවර සයෙකින යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ

  1. සැදැහැ ඇතියේ වෙයි
  2. හිරි ඇතියේ වෙයි
  3. ඔතප් ඇතියේ වෙයි
  4. රුකුළු වැර ඇතියේ වෙයි
  5. ප්‍රඥා ඇතියේ වෙයි
  6. කයෙහිදු දිවියෙහිදු අපෙක්ෂා නැතියේ වෙයි

මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්වාගත මහණ අග්‍ර ධර්ම සඞ්ඛ්‍යාත අර්හත්වය සාක්ෂාත් කරන්නට භව්‍ය වේ යයි.

අර්හත්වය හෙවත් නිවන සාක්ෂාත් කර ගැනීමට භව්‍ය පුද්ගලයෙක් වීමට ඔබට තෙරුවනේ රැකවරණය අඩුවක් නැතිවම ලැබෙත්වා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා