කියන දේ ඇත්තටම පිළිපදිනවද?

අප්‍රේල් 2015 කතු වැකිය

කියන දේ ඇත්තටම පිළිපදිනවද?

සටහනේ අන්තර්ගතය

යමෙක් කියනවා මම බුදු හිමියන් කියන දේ අසන යහපත් බෞද්ධයෙක්ය කියලා, තවත් කෙනෙක් කියනවා ජේසු තුමන් කියන දේ කරන යහපත් ක්‍රිස්තියානිකයෙක්ය කතෝලිකයෙක්ය කියලා, තවත් කෙනෙක් කියනවා අල්ලාහ් දෙවියන් කියන දේ අසන යහපත් අනුගාමිකයෙක්ය කියලා, තවත් කෙනෙක් කියනවා තමන් යහපත් හින්දු භක්තිකයෙක්ය කියලා. මෙසේ මෙසේ කුමන අනුගාමිකයෙක් වුණත් ඔබ ඔබේ ශාස්තෘවරයන් කියන දේ ඇත්තටම පිළිපදිනවද?

බුදු හිමියන් පෙන්වා දුන්නා සිත, කය, වචනය දූෂිත කරගෙන තවත් කෙනෙක්ව මරා දැමීම, සොරකම් කිරීම, කාමයේ වරදවා හැසිරීම, බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, ප්‍රලාඵ කීම, දැඩි ලෝභය, දැඩි ක්‍රෝධය ආදියෙන් මුලාවීම තමන්ට මෙන්ම අනුන්ටද අයහපතම උදාකරදෙන නිරයගාමී අපායගාමී වැඩපිලිවෙලක්ය කියලා. 

එතකොට මම දන්න විදියට බයිබලයේත් ජේසුතුමන් පැවසූ වදන් යැයි කියන බොහෝ තැන් වල මෙම වැඩපිලිවෙලම ඉතාමත්ම පහත් කොට මේවා කරන පුද්ගලයන් අපායගාමී නිරයගාමී වන බව පෙන්වා දී තියෙනවා.  ඒ වගේම කුරාණයේ බොහෝ දෙනෙක් නෑ නෑ කියලා කිව්වත් අල් - නිසා 4:48 – 116 දක්වා කොටසේ මම දන්නා විදියට මේ කියන දස අකුසලයටම ගොනු කරන්නට හැකි පාප ක්‍රියාවන් 70ක් දක්වා ඒවා කරන්නට එපාය කියලා අවවාද කරලා තියෙනවා. 

වේද ග්‍රන්ථයන් භගවත් ගීතාව ආදිය ගත්විටත් හින්දු භක්තියන්ට කියන්නට බෑ අපේ ශාස්තෘවරුන් නම් ඕවා කරන්න කියලායි තියෙන්නේ කියලා.  වැදගත් වෙන්නේ මේ අනුගාමිකයන්ය කියලා කියන පිරිස ඇත්තටම මොනවද මේ කරන්නේ කියන දේයි. 

තමන් පිළිගන්න ධර්මයක් ග්‍රන්ථයක සටහන් වෙලා තියෙන විට එහි එක් පිටුවක හෝ තියෙනවා නම් තම තමන්ගේ ශාස්තෘවරයන් විසින් මේ දේවල් කරන්න එපා කියලා අවවාද කරලා ඒවා කලොත් විපාක කෙසේ වේද කියලා පෙන්වා දීමක් ඒ පිටුව අමතක කරලා ඇයි තම තමන්ගේ ධර්මයේ තමන්ගේ දූෂිත වැඩපිලිවෙලට සහාය දෙන කොටස් හොයාගෙන තමන්ගේ වාසියට යොදාගෙන කටයුතු කරන්නේ කියලා තම තමන්ගෙන්ම විමසා බැලිය යුතු වෙනවා යැයි මට නම් සිතේ. 

බුදු හිමියන් පෙන්වා දුන්න රාගය ද්වේශය මෝහය ක්ෂය කරන මාර්ගය තුල අල්ප වශයෙන් යම් තැනක බුදු හිමියන් සියලු දේ තතු සේ දන්නා නිසාවෙන් උන්වහන්සේගේ ප්‍රඥාවෙන් නොයෙක් අවස්ථාවල ගන්නට යෙදුන තීරණ අපේ බුදු හිමියනුත් මෙහෙම කිව්වානේ මෙහෙම කලානේ කියලා යොදාගන්නා බෞද්ධයන් යැයි කියන පිරිස් සිටිනවා වගේම තමයි අන් ආගම් වලත් තම තමන්ගේ ශාස්තෘවරයන් පාවාදී තම තමන්ගේ ආශ්වාදය පිණිස දස අකුසලයේම නිරත වෙන කොටසක් ඉන්නවා. 

ඉතින් ඔබ බුද්ධිමත් නම් මේ පිරිසගෙන් ඈත්වෙන්න... මේ අය තමන්ට පමණක් නෙවේ මුළු සමාජයකටම ගිනි තියන්නා වූ විශ්වාස නොකල හැකි පිරිසක්.  බුදු හිමියන් මේ අයව පෙන්වා දුන්නේ යහපත් දෙයක් ඇසුවත් ඒ දේ තෝරාගන්නට නොහැකි යහපත් සත්පුරුෂයන්ගේ වදන් හදුනාගන්නට නොහැකි යහපත් වූ සත්පුරුෂයන් නොදකින්නා වූ උමතුවෙන් කටයුතු කරන්නා වූ අනර්ථවත් වූ හිස් වැඩපිලවෙලක නිරත වෙන්නා වූ අශ්‍රැතවත්  පෘතග්ජනයන් කියලායි.

බුද්ධ ශාසනයේ චීවරයක් දරාගෙන වුවද මේ කියන පුද්ගලයන් සිටින්නට හැකියි.  බුදු හිමියන්ගේ කාලයේ සිටිය දේවදත්ත හිමියන් භාවනා ආදියෙන් දැඩි අභිඥා බලයන් තිබූ බැලූ බැල්මට බුදු හිමියන්ව ශෘස්තෘවරයාණන් කරගත්ත අශ්‍රැතවත් පෘතග්ජන තත්වයේ සිටි හිමි නමක්. 

ඒත් තවත් කෙනෙකුට තමන්ගේ පියා මරන්නට අනුබල දුන්නා,  බුදු දහමට අනුව ඉතාමත්ම පහත් වූ පාපකර්මයන් කියන ආනන්තරීය පාපකර්මයන්ට අදාල වෙන බුදු හිමියන්ගේ දිවි තොර කරන අදහසින් කටයුතු කිරීම තුලින් ලේ සෙලවීම සිද්ධ කලා.  බුදු හිමියන්ට විරුද්ධව නොයෙක් දේ කියමින් උන්වහන්සේගේ මතයක් ඉදිරිපත් කරමින් සංඝභේදයත් සිද්ධ කලා.  ඒ නිසා තමයි කිව්වේ චීවරයක් දැරූ පමණින් ලෞකික වූ ධ්‍යාන අභිඥාවන් තිබූ පමණින් මේ කාලයේ හැටියට නම් සම්මතයෙන් බෞද්ධයෙක් වූ පමණින් අශ්‍රැතවත් පෘතග්ජනභාවයෙන් මිදුණ කෙනෙක් වෙන්නේ නෑ කියලා. 

මේ අශ්‍රැතවත් පෘතග්ජනභාවයේ සිටින්නෙක් සම්මතයෙන් බෞද්ධ වුවත් අයත් වෙන්නේ අන්‍ය වූ ශාසනයකටම තමයි. අන්‍ය ආගම් තුලත් මේ තත්වයේ සිටින්නන් අයත් වෙන්නේ ඒ ඒ ආගම් වලට නෙවේ.  දුසිරිත අගයන අකුසලය අගයන පහත් දෑ නිරයගාමී වැඩපිලිවෙල අගයන්නා වූ මිත්‍යා දෘෂ්ඨික ආගමකටම දහමකටම තමයි මේ පුද්ගලයාව අයත් වෙන්නේ.  දැන් තෙරුණානේද කොච්චර බරපතලද කියලා මේ තත්වය. 

ඒ නිසා ඔබෙන් යමෙකුට තමන්ගේ ශාස්තෘවරයාණන්වහන්සේලා පෙන්වා දුන්න යහපත් වූ මාර්ගය අමතක වෙලා නම් එයට හිත යන්නේ නැතිනම් තවමත් අවස්තාව තියෙනවා මේ ගැන හිතලා බලලා තමන්ව මුදවාගන්නට.  ඔබ දැනටමත් මිදුන අයෙකු නම් මෙවැන්නන් ඇසුරෙන් වහා මිදී තම තමන්ට යහපත උදාකරගන්නට උත්සාහවන්ත වෙන්න. 

බුදු හිමියන් නම් පෙන්වා දී තිබෙන්නේ මෙවැනි අය සමග වාද කරලා තර්ක කරලා වැඩක් නෑ කියලයි.  ඇත්තනේ වැඩේ ඒ අයට සත්පුරුෂයාවත්, සත්පුරුෂ ධර්මයවත් තෝරාගන්නට නොහැකි නම් කොච්චර හොද නෑ කිව්වත් මෙන්න මේ වගේ විපාක ලැබෙනවා කියලා කොච්චර කිව්වත් තමන් කරගෙන යන වැඩපිලිවෙලම තමයි අගය කරමින් කරගෙන යන්නේ. 

ඒ නිසා යම්තම් හෝ බුද්ධියක් තියෙන කෙනෙක් ආගම් භේදයක් නැතිව මේ දේවල් ගැන සිතා බලා තමන්ටත් සමාජයටත් යහපත උදාකරමින් තම තමන්ගේ ශාස්තෘවරයාණන්වහන්සේලාට නිසි ගෞරවය ලබා දෙන්නට නැවතත් සිතා බලා කටයුතු කරන්න.  නැතිනම් මේ කුමන ආගමක වුවත් මේ අශ්‍රැතවත් පෘතග්ජන මට්ටමේ සිටින උමතු වැඩපිලිවෙලක නිරත වෙන අයට අනුකම්පා කරමින් ඒ වගේ නොවැදගත් පිරිසක් නිසා තමන්ගේ සිත දූෂ්‍ය කරගන්නේ නැතිව වහ වහා තම තමන්ගේ ශාස්තෘවරයාණන්වහන්සේලා පෙන්වා දුන්න ඉහලම මාර්ගය  යැයි කියන්නා වූ යහපත් වූ මාර්ගයන් අනුගමනය කරන්නට උත්සාහවන්ත වීම වඩාත් සුදුසුයි. 

“තමන් වපුරන්නේ යම් සේද අස්වැන්න ලැබෙන්නේද ඒ වැපිරූ ආකාරයටම වේ, යමෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ තමන් කියන කරන සිතන දේ අනුව මිස උපතින් නොවේ, අනුන්ට වරද කීමට පෙර තමන් තුල ඒ වරද තිබෙනවාදැයි සිය දහස්වාරයක් සිතා බැලීම ඔබේම යහපත පිණිසම වේවි“

බුද්ධිමත් සැබෑම මිනිසුන්ට පමණමයි!!!  තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන් ලැබ අප්‍රමාදීභාවයම වැඩිවෙත්වා! ප්‍රඥාව වර්ධනය වෙත්වා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා