සරලව වටහාගන්න!

ජූනි 2017 කතු වැකිය

සරලව වටහාගන්න!

සටහනේ අන්තර්ගතය

සරලව හිතන්න.. සරලව දකින්න... සරලව විමසන්න... ඇයි මෙතරම් අපහසු යැයි ඔබෙන්ම විමසිය යුතුයි. හැමදේම සංකීර්ණ කරගන්න ජීවිත රටාවකට ඔබ පුරුදු වෙලා නොවේද? අහන්න ඔබෙන්ම. කොතරම් සංකීර්ණ කරගෙන සිටිනවාද කියනවා නම් දැන් ඉතාමත් සරල දෙයක් පවා සරලව ඒ ලෙසින්ම භාරගැනීමට අපහසුයි නේද? උදාහරණයකට මෙවැන්නක්!

ඔබට ඔබ වටිනාතාක් ඔබව පවත්වාගන්නට සිතනවා කියනවා කරනවා.  ඔබට ඔබ බොහෝ වටිනවා නම් ඔබව පවත්වාගැනීමේ වුවමනාවත් ඒ තරමින්ම පවතිනවා.  එහෙම නේද?

ඒ වටිනාකම අනුව ඔබව පවත්වාගැනීම පිණිස සිතන කියන කරන ඔබට ඔබගේ පැවැත්ම පිණිස වෙනත් සත්වයෙකුට {පොදුවේ මනුස්ස අමනුස්ස (තිරිසන්, ප්‍රේත භූත අපාගත සහ දේව බ්‍රහ්ම ආදී සියලු මනුස්ස නොවන සත්වයින්) සැමට} හිංසා කරන්නට අසාධාරණකම් කරන්නට පෙළඹෙනවා.

වාසිය හෝ බිය...

ඉතින් යමෙක් කියනවා නම් හිංසා කරන්න එපා අසාධාරණකම් කරන්න එපා කියලා... එක්කෝ කියන්න වෙන්නේ ඔබව බය කරලා... එහෙමත් නැතිනම් ඒවා නොකර හිටියොත් ඔබට දැන් ඉන්න තත්වයට වඩා ලැබෙන වාසියක් පෙන්නලා... ඔබත් ඒවා අහලා නරකයි කියලා සම්මත දේවල් නොකර ඉන්නේ එක්කෝ ඔබට සිද්ධ වන්නට හැකි යැයි ඔබ විශ්වාස කරන නස්පැත්තියක් නිසා නැතිනම් ඔබට ලැබෙන වාසිය නිසා නොවේද?  හොඳින් හිතන්න!

මේ තුල ඇත්තේ නුවණක්කාරකමක්වත් ප්‍රඥාවන්තකමක්වත් නොවේ.  මෙයත් ඔබට ඔබව වටිනා නිසා ඔබව පවත්වාගැනීමේ වුවමනාව මත ක්‍රියාත්මක වෙච්ච තවත් එක් සිතන, කියන, කරන ක්‍රියාවලියක් පමණයි නේද?

එපා නොකියන්නේ ඒකයි...

බුදු දහම තුල ඔබට කිසිවක් එපා කියන්නේ නැති හේතුව එයයි.  ඔබව බය කරලාවත්, ඔබට වාසියක් පෙන්නලාවත් සිතන්නට, කියන්නට, කරන්නට බලහත්කාරයෙන් යොමු කිරීම තුල ඔබටවත් අන් කිසිවෙකුටවත් ලැබෙන ලාභයක් නැති නිසාමයි.      

ඔබ ඔය සිතන්නේ කියන්නේ කරන්නේ ඔබව පවත්වාගන්නට නම්... ඔබව පවත්වාගන්නට සිතෙන්නේ ඔබට ඔබ වටිනාබව දැනෙන නිසා නම්... ඇත්තටම ඔබ වටිනවාදැයි විමසා බලන්නට පරීක්ෂණයක් කරන්න කියලා විතරයි බුදු දහම තුල පෙන්වා දෙන්නේ.  වැඩිදුර ඒ පරීක්ෂණය කරගන්නට අවශ්‍ය කරන මූලික මඟ පෙන්වීමක් කරනවා පමණයි.  එතැනින් එහාට පරීක්ෂණය කරන ඔබටම නිරීක්ෂණයක් ලැබෙනවා.  නිගමනය ඔබටම ලැබෙනවා. 

ඒ නිගමනය සැමවිට ඔබට ඔබේ යථාර්ථය පෙන්වා දෙනවා.  ඒ යථාර්ථය දැනට ඔබ ඔබ ගැන දන්නා යථාර්තය ඉක්මවා යනවා.  එවිට කිසිවෙක් කියූ නිසාවත්, බයක් නිසාවත්, වාසියක් නිසාවත් බලහත්කාරයෙන් ගන්නා තීරණ නවතිනවා. 

පාඩු ලබන බය දනවන අපායටවත් වාසි ලබන තුටු කරවන දේව ලෝක වලටවත් ඔබේ සිත සසල කරමින් කම්පා කරන්නට නොහැකි වෙනවා.  ඒවායේ පැවැත්ම පිණිස වූ සිතන, කියන, කරන වැඩපිලිවෙල අතහැරෙනවා.

ඔබව පවත්වාගැනීම පිණිස විවිධාකාරයෙන් සිතන, කියන, කරන වැඩපිලිවෙල ඉබේම නිවැරදි වෙනවා.  පවත්වාගැනීමේ වුවමනාවම නැතිවන අතහැරීම නොඇලීම මිදීම නම්වූ විමුක්තිය ලබන්නට හැකිවෙනවා. 

සරලව දකින්න...

මේ කියපු දේ බර වචන වලින් කියනවාද, බර වචන වලින් හොයනවාද, දත්ත ගොඩක් ඇසුරු කර සොයනවාද, දත්ත නැතිවම සොයාගන්නවාද, මොන මොන අයුරින් දැනගන්නවාද කියන දේට වඩා වැදගත් වෙන්නේ මේ කියන දේ ඔබේ හිතට දැනෙන විදියයි.  එහි අදහස වටහාගන්න විදියයි. 

ඔබ පරීක්ෂණය කරගන්නවාද නැත්ද යන්නයි.  පරීක්ෂණය හරියට කලොත් නීරීක්ෂණයත් නිගමනයත් නිවැරදි වෙනවා නිසැකයි. 

දුක්ඛ ආර්ය සත්‍ය පරීක්ෂණය එවැනියි.  ඒ පරීක්ෂණය කරන ඔබට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය නම් වූ නීරීක්ෂණය ලැබෙනවා. ඒ තුලින් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය නම් වූ නිගමනය ලැබෙනවා.  ඒ ලැබූ නිගමනය අත්දකිමින් තව තවත් ඒ නිගමනයම තහවුරු කරගන්නට සිත, කය, වචනය ක්‍රියාත්මක වන ආකාරය දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍ය නම් ක්‍රමවේදය ලැබෙනවා. 

ඒ නිසා සරලව හිතන්න.. සරලව දකින්න... සරලව විමසන්න... ඔබ සරලව විමසන්නේ යම් පමණින්ද ඔබට හසුකරගන්නට නොහැකිවූ අති සියුම් අපූරු පෙර නොඇසූ විරූ දහම ඔබට මතුවේවි!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා