ගුරුවරයෙක් වූ පාවෙන දර කඳ (02 කොටස)

ඔක්තෝබර් 2013 කතු වැකිය

ගුරුවරයෙක් වූ පාවෙන දර කඳ (02 කොටස)

සටහනේ අන්තර්ගතය

පෙර කතුවැකිය තුලින් ගංඟාවක ගසාගෙන යන්නාවූ දර කඳක් සමුදුර හමුනොවීමට හේතු වන කරුණු 8ක් පිළිබඳව බුදු හිමියන් පෙන්වා දුන් ආකාරය විමසා බැලුවා. මෙවර කතුවැකිය තුලින් ඒ දර කඳ නිවන් මඟ වඩන්නෙකුට උපමා කොට පෙන්වා දුන් කරුණු කාරණා විමසා බලමු.

ගංඟාව උපමා කලේ ආර්ය මාර්ගයටයි. නිර්වාණය තමයි මහා සමුදුරට උපමා කලේ. ගංගාවක් අනිවාර්යෙන්ම මහා සමුදුර හමුවෙනවා වගේ ආර්ය මාර්ගයේ ගමන් කරන්නෙකු අනිවාර්යෙන්ම නිර්වාණ ශාන්තිය ලබනවා. එතකොට දැන් දරකඳ උපමා කරගන්න ඕන මේ නිවීම පිණිස උනන්දුවන උත්සාහවන්ත වන තම තමන්ගේ ජීවිතයටයි. එහෙනම් මේ දරකඳ අනුව කියන්නාවූ සෑම දෙයක්ම ඔබගේ ජීවිතයට ගලපා ගන්නට තම තම නැණ පමණින් විමසිය යුතුයි.

  1. දරකඳ මෙතෙරට ගොඩ ගැසීම

ආධ්‍යාත්මික ෂඩ්ආයතන හෙවත් ඇස, කණ, දිව, නාසය, කය සහ මන කියන්නාවූ ආයතනයන්ට හසුවීම නිසාවෙන්, ඒවායේ ඇලී ගැලී බැඳී ගැටී සසර පැවැත්මට කරගසාගැනීම නිවීම ප්‍රමාද වීමට / නිවනක් නොලබන්නට හේතුවක් වෙනවා.

  1. දරකඳ එතෙරට ගොඩ ගැසීම

බාහිර ෂඩ්ආයතන හෙවත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධර්ම කියන්නාවූ ආයතනයන්ට හසුවීම නිසාවෙන්, ඒවායේ ඇලී ගැලී බැඳී ගැටී සසර පැවැත්මට කරගසාගැනීම නිවීම ප්‍රමාද වීමට / නිවනක් නොලබන්නට හේතුවක් වෙනවා.

  1. දරකඳ දියෙහි මැද ගිලා බැසීම

නන්දිරාගයට හසුවීම හෙවත් තැන තැන හාවෙමින් තණ්හාවෙන් යුක්තව ඇලී ගැලී බැඳී ගැටී කටයුතු කිරීම නිසාවෙන් නිවීම ප්‍රමාද වීමට / නිවනක් නොලබන්නට හේතුවක් වෙනවා.

  1. දරකඳ වැලි දූපත් වැනි ගංගාවන් මැද තිබෙන්නාවූ ගොඩබිම් වලට ගොඩ ගැසීම

"මමත්වය" තවත් ආකාරයකට කියනවා නම් "මාන්නය" යන කෙලෙස් ධර්මයට හසුවීම "මම" මුදුන් පත්කරගෙන නොයෙක් තැන්හි ඇලී ගැලී බැඳී ගැටී කටයුතු කිරීම නිසාවෙන් නිවීම ප්‍රමාද වීමට / නිවනක් නොලබන්නට හේතුවක් වෙනවා. 

මීලඟ කතුවැකියෙන් ඉතිරි කරුණු විමසා බලමු.  එතෙක් ඔබට මේ කරුණු තමන් තුල යෙදී ඇති අයුරු විමසා බලා යහපත උදාකරගැනීමට ප්‍රඥාව උදා වේවා!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා