සැබෑ ආදරය කුමක් විය හැකිද?

නොවැම්බර් 2012 කතු වැකිය

සැබෑ ආදරය කුමක් විය හැකිද?

සටහනේ අන්තර්ගතය

පසුගිය කතුවැකිය තුලින් ඔබත් සැබෑ ආදරය කරන්නෙක්දැයි විමසුවා මිසක්... හිතන්නට යමක් යොමු කලා මිසක් සැබෑ ආදරය කුමක් විය හැකිදැයි විග්‍රහයක් ගැබ් වූයේ නෑ. ඒ නිසා මෙවර කතු වැකිය තවදුරටත් මේ මාතෘකාව විස්තර කරගන්නට වෙන් වෙනවා.

පෙර කතුවැකියේ කිවූ පරිදි ඇයි ඔබ ආත්මාර්ථකාමී යැයි පවසන්නේ?  හිතලා බලන්න...  ඔබට මොහොතකටවත් ඔබගේ ඇස, කණ, දිව, නාසය, කය සහ මන පිනවාගන්නට නොහැකිවීමේ දුක උහුලාගන්නට නොහැකි නිසාවෙන් ඔබගේ සහකාරයාව / සහකාරියව ඉහත කිව්වා වගේ මරණය සහ මරණය සමාන දුකකට පත්වෙන්නට යොමුකරවනවා නොවේද?  ඉතින් මෙය ආත්මාර්ථකාමීත්වය නෙවේද? 

සමහර වෙලාවට සැබෑ ආදරය හිමි කරගැනීමම නෙවේ කියලා තවත් කෙනෙක් සමග මේ කියන්නා වූ ආශ්වාද වැඩපිළිවෙල ලබන්නට ඔබ ඔබගේ සහකරුවාට සහකාරියට තමන් කැමැති වෙනත් කෙනෙක් සමග යෑමට උපකාරයක් වෙනවා...  මේ ආකාරයෙන් නොයෙක් ආකාරයෙන් තම තමන්ගේ සැබෑ ආදරය කියලා පෙන්වන්නේ පංච කාම ආශ්වාදය ලබන්නට තම තමන්ගේ ඇති කැමැත්තම නෙවේද කියලා දැන් ඉතින් බුද්ධිමත් ඇත්තෝ ඔන්න හිතලා බැලීම සුදුසුයි. 

මේ ආශ්වාද මාත්‍රය අහිමිවීම නිසාම සියදිවි නැතිකරගන්නටත් පෙළඹෙන ඇත්තෝ ඉන්නවා නේ නේද? එහෙනම් ඉතින් සැබෑ ආදරයක් අංවකවම ආදරයක් තියෙනවා නම් ඒ ආදරය කුමක් විය යුතුයිද?  එය ඇත්තටම ආධාර කිරීමක් විය යුතුයි.  සහාය දීමක්... කුමකටද මේ ආධාර කිරීම සහාය දීම සිද්ධ විය යුත්තේ? 

තමන් ජීවිතයටත් වඩා තමන් ප්‍රියකරන්නා වූ ආදරය කරන්නාවූ ඒ පුද්ගලයාට මරණයෙන් නිදහස් වීමට, මරණය සමාන දුක් වලින් නිදහස් වීමට, මානසික අසහනයන්ගෙන් නිදහස් වීමට, වයසට යෑමෙන් ලෙඩ රෝග ආදියෙන් නිදහස් වීමට උපකාර කල යුතුයි... එයම නොවේද සැබෑවටම යමෙක් තවත් කෙනෙකුට ආදරයක් තියෙනවා නම් කල යුත්ත?  එයම නොවේද සහකාරයා හෝ සහකාරියගේ සැබෑම සහාය? 

ටිකක් හිතලා බලන්න... ටිකක් නොවේ ගොඩක් හිතලා බලන්න... මෙන්න මේ කැපකිරීම ඔබට කරන්නට හැකි නම් ඔබගේ සහකාරයා / සහකාරිය විතරක් නෙවේ ඔබටත් මේ කියන්නා වූ සියලු දුක් කන්දරාවන්ගෙන් මිදෙන්නට හැකිවේවි.

එහෙනම් කල යුත්ත කුමක්ද?  ඔබගේ සහකාරයාට සහකාරියට මේ සියලු දුකෙන් මිදෙන්නට උපකාර වන්නා වූ ප්‍රඥාවන්ත ධර්මය දරන්නට ඔබට හැකි උපරිමයෙන් කටයුතු සලසා දෙන්න... ඔබට හැකි උපරිමයෙන් ඒ වෙනුවෙන් සහායක් වන්න... 

ඔබ බෞද්ධ කාන්තාවක් බුද්ධ චරිතය අසා දන්නා කාන්තාවක් නම් නිතරම ඔබට සිහියේ තබාගන්නට හැකි සැබෑම ආදරයක් පෙන්වූ කාන්තාවක් ඉන්නවා.   ඒ තමයි යශෝධරාව.  තමන්ගේ සහකාරයාට සැබෑවටම සහාය දුන්න සැබෑම අවංකවම ආදරය කල සැබෑම සහකාරියක් තමයි ඇය.  ඉතින් ඒ නිසාම ඇයටත් එහි ඵල නෙලාගන්නට හැකියාවක් ලැබුණා කියලා අප දන්නවා.

ඉතින් මේ දේවල් ගැන තම තම නැණ පමණින් හොදින් විමසා බලා විශේෂයෙන් තරුණ වයසේ ඉන්න දූ දරුවන්  සහෝදර සහෝදරියන් මේ ගැන වඩාත් උනන්දුවෙන් සිතා බලා නිසි ලෙසින් කටයුතු කරන්නට උත්සාහ කරන්න. 

සැබෑම සහකාරයෙක් සහකාරියක් ආදරයක් ඇති පුද්ගලයෙක් වෙන්නට ඔබගේ ප්‍රඥාවන්තභාවය අනුව ඔබට හැකිවේවි.  මේ බුද්ධිමත්භාවය ප්‍රඥාවන්තභාවය තමන් තුල වැඩෙන තරමටම ඔබට ගිහි පරිසරයක් තුල විවාහක පරිසරයක් තුල වුවත් ප්‍රඥාවන්තව අතහැරීම නොඇලීම මිදීම හෙවත් සැබෑ සතුට හිමිකරගැනීමේ නිවන් මාර්ගය පුහුණු කරන්නට ප්‍රඥාව පූර්ණය කරගැනීමට බාධාවක් නොවේවි.

ඇමට ඇති කැමැත්ත නිසාම ඒ ආශ්වාද ලබන්නට ගොස්  මාළුවා ඇමක් ගිලදමාගෙන මරණය හෝ මරණය සමාන දුකට පත්වෙනවා වගේ මොහොතක සුවයක් ලබන්නට පංච කාම ආශ්වාද ලබන්නට තමන්ගේ සහකාරයාව හෝ සහකාරියව ඇමක් බවට පත්කරගැනීමෙන් ඔබට මරණය සහ මරණය සමාන දුකක් ඇතිකරගන්නවා පමණක් නෙවේ...

තමන් ඇමක් බවට පත්වෙලා ඒ තමන් ආදරය කරනවා යැයි කියන්නා වූ තමන්ගේ සහකාරයටත් සහකාරියටත් ඒ ඇම ගිලින්නට ඉඩ පහසුකම් ලබාදී ඔවුන්වත් මරණය සහ මරණයට සමාන දුකට පත්කිරීමට ලෝකයේ සැබෑ අවංක ආදරය කියන්නා වූ දේ තුල සිද්ධ වෙනවා. 

ඉතින් මේ හැඟීම් වලට වහලෙක් නොවී... තමන්ගේ සිතට වහලෙක් නොවී... තමන්ගේ කයට වහලෙක් නොවී... වහල් භාවයෙන් මිදෙන්න... තමන්ගේ සහකාරයා / සහකාරියවත් එයින් මුදවාගන්නට බුද්ධිමත්ව සැබෑම මිනිසෙක් වශයෙන් කටයුතු කරන්නට ඔබට තිසරණයේ ආශිර්වාදය උපරිමයෙන් ලැබේවායි මෙත් සිතින් නිති පතමි!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා