අරුත්බර වසරකට මුල පුරමු!

ජනවාරි 2017 කතු වැකිය

අරුත්බර වසරකට මුල පුරමු!

සටහනේ අන්තර්ගතය

ප්‍රඥාවන්ත සුභ නව වසරකට “නිර්වාණ ධර්ම“ වෙතින් ආසිරි!

සෑම වසරක ජනවාරි මාසය පුරාවට බොහෝ විට අප සිදුකරන්නේ මේ ලෙසින් සුභ පතා ගැනීමයි.  ඒ වගේම ලබන්නාවූ වසර සුභ වේවි යැයි අපගේ බොහෝ පැතුම්ද තිබෙනවා.  මේ අතර “නිර්වාණ ධර්ම“ විසින් සෑම විටකම පාහේ පවසන්නේ තම තමන්ගේ වසර සුභ වන්නේ තම තමන් ගන්නා තීරණය මතම බවයි.  තමන් විසින් තමන්ගේ මනස තේරුම් ගන්නා තරමින්... එය දියුණු කරගන්නා තරමින් තම තමන්ගේ වසර සුභ වෙනවා නිසැකයි එහෙම නේද? 

ඉතින් පසුගිය 2016 වසර ගැන සතුටු විය හැකිද?  විමසා බලන්න...

2016 වසර ආරම්භයේදී තිබූ ආශාවන් බලාපොරොත්තු ආදී රාගයන්ගෙන්  2016 වසර අවසානයේදී සිත මිදුනේද?  රාගය අඩුවූයේ යැයි සතුටු විය හැකිද? 
2016 වසර ආරම්භයේදී තිබූ තරහා ගැටීම් ආදී ද්වේශයන්ගෙන්  2016 වසර අවසානයේදී සිත මිදුනේද?  ද්වේශය අඩුවූයේ යැයි සතුටු විය හැකිද? 
2016 වසර ආරම්භයේදී තිබූ අනුවණකම් නොදැනුවත්කම් ආදී මෝහයන්ගෙන්  2016 වසර අවසානයේදී සිත මිදුනේද?  මෝහය මුලාව අඩුවූයේ යැයි සතුටු විය හැකිද? 
2016 වසර ආරම්භයේදී තිබුනාට වඩා 2016 වසර අවසානයේදී ශ්‍රද්ධාව වැඩුනේ යැයි  සතුටු විය හැකිද? 
2016 වසර ආරම්භයේදී තිබුනාට වඩා 2016 වසර අවසානයේදී විර්ය වැඩුනේ යැයි  සතුටු විය හැකිද? 
2016 වසර ආරම්භයේදී තිබුනාට වඩා 2016 වසර අවසානයේදී සිහිය වැඩුනේ යැයි  සතුටු විය හැකිද? 
2016 වසර ආරම්භයේදී තිබුනාට වඩා 2016 වසර අවසානයේදී සමාධිය වැඩුනේ යැයි  සතුටු විය හැකිද? 
2016 වසර ආරම්භයේදී තිබුනාට වඩා 2016 වසර අවසානයේදී ප්‍රඥාව වැඩුනේ යැයි  සතුටු විය හැකිද? 

සැබැවින්ම සතුටු වන්නට හැකිද?

තම තමන්ගේ ජිවිතයෙන් අර්ථවත් යමක් කරගන්නට තීරණය ගත යුත්තේ තමන් විසින්මයි.  පැතුවාට හෝ වෙනත් අදිසි හස්ථයකින් තමන්ට සතුට සැනසීම ලැබේවි යැයි මුලා බලාපොරොත්තු පොදි බැඳගෙන සෑම වසරක් ආරම්භයේ පටන්ගෙන වසර පුරාවටත් වසර අවසානයේදීත් සෝ තැවුල් ඇතිව කම්පා වනවාට වඩා කම්පා රහිත ශක්තිමත් මනසක් ලබන්නට කටයුතු කරගත යුතු නොවේදැයි ප්‍රඥාවන්තව විමසා බලන්නට මේ මොහොත වෙන් කරගන්න!

අසුභයන් සුභ ලෙසින් දකින තාක් සැබෑම සුභ හඳුනාගන්නට නොහැකි වන අතර ඒ් සැබෑම සුභය හඳුනාගැනීමට අවශ්‍ය කරන ප්‍රඥාව ලැබීමේ තීරණය ගත යුත්තේ තමන් විසින්මයි! 

ඒ තීරණය ගැනීමට ඔබට තෙරුවණේ නිසි රැකවරණය ආශිර්වාදය නොඅඩුව ලැබේවා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා