යුතුකම් වගකීම් මත විනාශ නොවන්න!

දෙසැම්බර් 2017 කතු වැකිය

යුතුකම් වගකීම් මත විනාශ නොවන්න!

සටහනේ අන්තර්ගතය

යුතුකම් වගකීම් යැයි කියමින් කරගත යුත්ත කරගන්නට මඟ හැරීම දැන් පුරුද්දක් වෙලා නේද? ඕන වුනත් බණක් භාවනාවක් කරගන්නට වෙලාව නෑ කියනවා නේද? ප්‍රඥාවන්තව හඳුනාගන්නට ඇත්තේ පුංචි කාරණයක් පමණයි. ඒ දේ හොඳින් අවබෝධ කරගන්නවා නම් ඔබට ඔබ වෙනුවෙන් කාලය සොයාගන්නට අපහසුවක් නොවේවි! අන්න ඒ තෝරාගත යුතු කරුණ හඳුනාගන්නට මේ කෙටි සටහන උපකාරයක්ම වේවා!

ලෝකයත්, ලෝකයේ හටගැනීමත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධ මාර්ගයත් නොදැක්ක කෙනෙකු හට කොතරම් යුතුකම් ඉටු කලත් ඔවුන් ඒ දේවල් භාරගන්නේ තම තමන් ඉන්නා මිත්‍යා දැක්ම පදනම් කරගෙනයි.  ඉතින් ඒ අය වෙනුවෙන් කියන කරන සිතන දේවල් ඒ අය භාරගන්නේ තම තමන් විහින් හදාගත්තා වූ මතයක් පදනම් කරගෙනයි. 

ඒ නිසාම එවන්වූ කෙනෙකුට හෝ පිරිසකට ආත්ම ගණනක් කර මත තියාගෙන සක්විති රජ සැප දුන්නත් ඒ අය භාරගන්නේ ඒ අයට වුවමනා විදියට මිසක් යථාර්ථයක් තුල පිහිටා නොවේ.  මේ වසර ගෙවී ගිය ආකාරය ආපසු හැරී බලන්න... කොතරම් කෑම වර්ග කෑවත් තවමත් නොපිරුණු ඔබේ කුස වගේම... කොතරම් ඉටු වුණත් කෙලවරක් නැතිව ගලාගෙන එන ඔබේ අලුත් බලාපොරොත්තු වගේම තමයි... ඔබ අවට සිටින පිරිසගේ සිතත් ගතත් හැසිරෙන්නේ.  ඔබ නොපිරෙනවා සේමයි ඒ අයද නොපිරෙන්නේ.  ඔබ සෑහීමට පත්නොවනවා සේමයි ඒ අයත් තවමත් පැවැත්මට සිත තබන්නේ.  යථාර්ථය නොදන්නා නිසාම සකස් වන මායා ලෝකයක් ඇත්තක් යැයි භාරගත්තාවූ නිත්‍ය සංඥාව තුල පිහිටාමයි තීන්දු තීරණ ගන්නේ. 

මෙන්න මේ නිසාමයි බුදු හිමියන් පෙන්වා දුන්නේ යුතුකම් ඉටු කරන්නට ඕන නම් යථාර්ථය පෙන්වා දෙන්න... චතුරාර්ය සත්‍ය... හේතු ඵල දහම... රාග ද්වේශ මෝහ විනය අවබෝධ කරගන්නට උපකාර කරන්න සියලු සංසාරගත ණය ගනුදෙනු එවිට අවසන් වෙනවා කියලා. 

ඉතින් ණය ගනුදෙනු, ණය ගනුදෙනු වලට හේතුව, ණය ගනුදෙනු නිරෝධය සහ ඒ මාර්ගය දැකගන්නට උපකාර කිරීමමයි අග්‍ර‍විය යුත්තේ... නැතිනම් හැමදාමත් මායාවක සිරවී මුලා සහගත වැඩපිලිවෙලකමයි අතරමං වෙන්නට සිද්ධ වෙන්නේ.  ඔබට මෙන්ම ඔබේ ආදරබර පවුලේ සැමටද එසේමයි. 

ඉතින් තවමත් ප්‍ර‍මාද නෑ... නුවණින් සිතන්න... මේ උතුම් බුද්ධ ශාසනයක් පවතින කාලයක්... කළණ මිතුරු ඇසුර නොඅඩුව ලබාගත හැකි කාලයක්... එවන්වූ කාලයක බුද්ධිමත් දුර්ලභ මිනිසෙක් වී ඉපිද සිටීමත් මහා වාසනාවක්.  ඉතින් වැදගත් වන්නේ ඔබගේ උත්සාහය උනන්දුව සහ සියලු දුක් කෙලවර කරගැනීමට ඇති අවංක කැමැත්ත විතරයි. 

යුතුකම් වගකීම් පිටින් දමාගෙන හිස් වැඩපිලිවෙලක නිරත වන්නාවූ ඔබ සැබෑ යුතුකම වගකීම හඳුනාගෙන තම තමන් පමණක් නොවේ තමන් ආදරය කරන පිරිසටත් යහපතක් ගෙන දෙන්නට උත්සාහවන්තවන්න! 

සම්මත කරගත්ත වසරක් ගෙවී අලුත් වසරක් උදාවන්නට නියමිතයිනේ නේද?  ඒ වසරත් යුතුකම් වගකීම් යැයි කියමින් කරගත යුතු දෑ මග හරින වසරක් නොවන්නට මේ වසර තුලදී ලැබූ අත්දැකීම් සහ සාරය විමසා බලන්නට ප්‍රඥාවම ලැබගන්නට තෙරුවන් සරණ නොඅඩුවම ලැබේවායි පතමි!

තෙරුවන් සරණින් නිවනම වෙත්වා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා