යාචක මානසිකත්වය

ජූලි 2024 කතු වැකිය

යාචක මානසිකත්වය

සටහනේ අන්තර්ගතය

පසුගිය කතු වැකිය තුලින් වේරඤ්ජාවේ වස් කාලය ගැන කතා කලානේ. ඒ වස් කාලයේ ඒ උතුම් ශ්‍රාවක පරපුර ලැබූ දිනුම් 3ක් ගැන සම්මා සම්බුදු පිය රජුන් පෙන්වා දුන් අයුරු අප කතා කලානේ. ඒ වස් කාලයට ම සම්බන්ධ තවත් සිදු වීමක් ඇසුරෙන් ශ්‍රාවකයෙක් වශයෙන් තමන් තුල වැඩිය යුතු තවත් ගුණ ධර්මයක් ගැන මෙවර කතු වැකියෙන් විමසා බලමු!

උතුම් ගෞතම සම්මා සම්බුදු රඳුන් ඇතුලු පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේලා යව වළඳමින් වස් කාලයේ මාස තුනක්ම වේරඤ්ජාවේ ගත කලානේ.  උන්වහන්සේලා සමඟ යාචකයින් පිරිසක් ද හිටියා.  ඉතින්, සාමාන්‍යයෙන් සම්මා සම්බුද්ධ රත්නය ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නය සිය ගණන් චාරිකාවේ වඩින විට උන්වහන්සේලා ඇසුරු කර ගනිමින් යාචකයින් යන බව බොහෝ අවස්ථා වල දී දක්වා තිබෙනවා.  ඒ අයගෙන් සමහර කෙනෙක් ධර්මය අවබෝධ කර ගත් අවස්ථා... සුගතිගාමී සිත් ඇති කර ගත් අවස්ථා මේ කතා අතර තිබෙනවා.  ඉතින් මේ වේරංජාවේ හිටිය යාචක පිරිස වස් කාලය අවසානයේ බුදු හිමියන් ප්‍රමුඛ භික්ෂු සංඝයා සමඟ සැවැත් නුවරටත් එනවා.

සැවැත් නුවර වාසීන් උත්තම සම්මා සම්බුද්ධ රත්නය ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයට උදෙසා සිව් පසයෙන් සංග්‍රහ කරනවා.  ඉතින්, මේ විදියට දානය ලෙසින් ලැබෙන ප්‍රණීත කෑම බීම භික්ෂු සංඝයා වළඳා ඉතිරි වූ විට ඒවා පරිහරණය කරන්නේ මේ යාචක පිරිස.  ඒ අය ඉතින් මේ කෑම බීම හොඳට කාලා... හොඳට නිදා ගෙන... හවස් වෙලා ගඟ පැත්තට ගිහින් කෑ ගහ ගහා පිල් බෙදිලා මල්ලව පොර ආදී ක්‍රීඩා කරමින් විහාරය ඇතුළතත් පිටතත් කිසිම චාරයක් නැතිව හැසිරුණා ලු. ඉතින්, මේ ගැන භික්ෂූන් වහන්සේලා කතා බහ කරනවා...

“බලන්නකෝ දුර්භික්ෂ කාලයේ බඩගින්නේ හිටිය මේ යාචකයෝ ඒ කාලේ නම් මේ වගේ විකාර කලේ නෑනේ... දැන් මේ විහාරයට ඇවිත් කෑම බීම හොඳින් ලැබෙන කොට තමයි මේ විදියට විකාර කරමින් හැසිරෙන්නේ... ඒත් භික්ෂූන් වහන්සේලා නම් වේරංජාවේ දුර්භික්ෂ කාලෙ කියලා හෝ දැන් ප්‍රණීත භෝජන ලැබුණා කියලා හෝ වෙනස් හැසිරීමක් නෑ... බොහෝම සංවරව තමයි හැසිරෙන්නේ...“

ඉතින් මේ කතාව අහගෙන ඉන්න අපගේ ශාස්තෘන් වහන්සේ මේ කතාවෙන්ම දහම් කතාවක් ආරම්භ කරනවා.  උන්වහන්සේ පවසනවා... “දැන් විතරක් නෙවේ ඉස්සරත් එහෙම තමයි... ඔය පිරිස එක්තරා ජීවිතයක අජානීය අශ්වයන් ඇසුරේ සිටිය කොටළුවන් පිරිසක්... ආජානීය අශ්වයින්ට මිදි යුෂ පානයක් සකස් කරන විට ඉතිරි පෙරනයේ ඉතිරි වූ මිදි කහට වලට වතුර එකතු කරලා මේ කොටළුවන්ට පානය කරන්න දුන්නා.  ඒවා බීලා ඒ අය මත් වෙලා මී බී මත් වූ බඹරුන් වගේ නාද කරමින් හැසිරුණා... මිදි යුෂ පානය කලත් අශ්වයින් මත් වුණේ නෑ... මිදි කහට එක්ක එකතු කල වතුර බීලා මේ අය මත් වුණා... ලෙසින් ජාතක කතාවක් ද ගෙන හැර දක්වමින් දහම් පෙන්වා දුන් සේක!

“සත්පුරුෂයා කියන්නේ සියලු තැන් හි ඇලීම නැති කල තැනැත්තාටයි.  ඒ බුද්ධා දී උත්තම පුරුෂයෝ ස්කන්ධාදි සියලු ධර්මයෙහි පවත්නා ඡන්ද රාගය දුරු කර ඇත. ඒ සත්පුරුෂයෝ වස්තු කාමයන් කැමැතිව සිත් ගන්නා තෙපුල් නො පවසති.  ඔවුන් තමන් කැමති දේ මේ යැයි කියවමින් ඉඟි කරන්නේ නෑ... භික්ෂාව පිණිස ඒ කියන්නේ  කෑම ටිකක් වෙනුවෙන්, සිව් පසය වෙනුවෙන් දායක පාර්ශවයන්ට කැමති සේ හැසිරෙන්නේ නෑ! ඒ කියන්නේ, “උපාසකය, ඔබේ දූදරුවන්ට කෙසේද, රජ-සොර සතුරන්ගෙන්, දෙපා සිව්පාවන්ගෙන් කිසි උවදුරක් නැද්ද?“ ආදිය කියමින් සිටීමයි. එසේ කියා, දායක පාර්ශව “එසේය ස්වාමීනි, අපි සියල්ලන් ම සැපසේ සිටිමු. කිසිම උවදුරක් නැත. දැන් අපේ පවුල කෑම බීම ආදියෙන් පිරිපුන්ය, මෙහිම වසනු මැනවයි“ තමන්ට ආරාධනා කරවා ගැනීම සඳහා ලෝභ සිත් ඇතිව හැසිරෙන්නේ නෑ! සුව අවස්ථාවට එකක්... දුක් අවස්ථාවට එකක් ලෙසින් නැණවත් සත්පුරුෂයාගේ හැසිරීම  උස් පහත් ගති නො දක්වන්නේ නෑ!“

මේ විදියට උත්තම ශාස්තෘන් වහන්සේ කෙලෙස් නැසීම පිණිසම අවවාද අනුශාසනාවන් සිදු කල සේක!

ඉතින්, ඔබත් බලන්න... ඔබත් මේ වගේ මත් වූ යාචකයෙක් ද?  කෙලෙස් ඇති විට කන බොන දෙයක් වුනත් ඇති මත් වෙලා විකාර කරන්න.  ඔබත් ආහාර පාන, වස්ත්‍ර, ඉන්න ස්ථානය, බෙහෙත් කියන්නා වූ සිව් පස ය ඔස්සේ මත් වෙනවද?

ඒ කාරණා හතර ඔස්සේ නේද මේ බහුතරයක් පිරිස තමන්ගේ සැපය තමන්ගේ දුක යැයි සැප දුක මනින්නේ පවා.  ඉතින්, ඒ සැප දුක හමුවේ දෙ ආකාරයකින් හැසිරෙනවා.  යාචක මානසිකත්වය හඳුනා ගන්න ඕන... ශ්‍රාවක මානසිකත්වය හඳුනා ගන්න ඕන... නැණවත් ඔබ දැන් ඉතින් තීරණය කරන්න ඕන මත් වූ යාචකයෙක් වෙලා සසර ගමන දිගින් දිගටම රෝන්දේ ගහනවා ද... නැත්නම්  බුද්ධ ශ්‍රාවකයෙක් වෙලා අකම්පිත ව සසර ගමන නිරෝධ කර ගන්නවා ද කියලා!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා