නුගුණ කීම

පෙබරවාරි 2018 කතු වැකිය

නුගුණ කීම

සටහනේ අන්තර්ගතය

මේ මාතෘකාව නොයෙක් නොයෙක් ආකාරයෙන් විග්‍රහ කරගන්නට අප කටයුතු කරලා තියෙනවා. කොතරම් කිව්වත් ඒ සෑම විග්‍රහයකදීම අප නොසිතූ කාරණයක් අපට ලැබගන්නට අවස්ථාව තියෙන නිසාම විටින් විට ඒ කාරණා පෙන්වා දෙන්නට උත්සාහ කරන්නම්. මේ කාලයේ බහුලව දක්නට තිබෙන... එන්න එන්නම ප්‍රකට වෙමින් පවතින... නිවීම නැති කරන... ස්වභාවයක් ගැන මේ ලිපියෙන් විමසා බලමු.

අනුන්ගේ අගුණයන් කීම හෙවත්, නුගුණ පැවසීම, දොස් පැවසීම, අඩුපාඩු පැවසීම මේ වන විට බොහෝම ප්‍රකට වෙමින් තිබෙනවා.  මාධ්‍යයන් තුල පවා දොස් හොයා දොස් පවසනවා මිසක් ගුණයක් දැක වර්ණනා කිරීම ප්‍රකට කිරීම බොහෝම සුළුවෙන් සිදුවන කාරණයක්.  කෙනෙකුගේ ගුණයක් වර්ණනා කරන්නට අපගේ සිත් පෙළඹෙනවා බොහෝම අඩුයි.  මේ නිසාම සෑම මොහොතකම තවත් පුද්ගලයෙකුගේ නුගුණයක් කීමට, එය ප්‍රකට කිරීමට තමයි නිතරම පාහේ උත්සාහවන්ත වෙන්නේ.  මේ කාලයේ තාක්ෂණය පවා යොදාගන්නේ මේ වැඩපිලිවෙලටම තමයි.

මේ සෑම අවස්ථාවක මේ වැඩපිලිවෙල කරන පිරිස් පවසන්නේ වැරදි තුරන් කිරීම පිණිස, නිසි මගට ගැනීම පිණිස, අනුන්ව බේරාගැනීම පිණිස සිදුකරනවා යනාදි කරුණුයි.  එහෙත් මේ වැඩපිලිවෙල තුලින් තව තවත් අප්‍රසාදයට පත්වීම, ද්වේශය, ගැටීම් මිස සිදුවන යහපතක් නොවන බව තම තමන්ගේ අත්දැකීම් තුලින්ම විමසා බලන්නට ප්‍රඥාවන්ත විය යුතුයි. 

සම්මා සම්බුදුපියාණන්වහන්සේ විසින් පෙන්වා දී තිබෙන කාරණය කුමක්දැයි අප බලමු.  ත්‍රිපිටක සත්ධර්මය තුල විවිධ අවස්ථාවලදී නොයෙක් සූත්‍ර දේශනා තුල මේ කාරණය තිබෙනවා.  ඒ අතරින් මෙවන් වැඩපිලිවෙලක නිරත වෙන්නේ කව්රුන්ද කෙසේද යන්න පැහැදිලි වන සූත්‍ර දේශනයක් මෙතනදි පෙන්වා දෙන්නම්.

සූත්‍ර පිටකය > අංගුත්තර නිකාය 2 > චතුක්ක නිපාතය > දුතිය පණ්ණාසකය > 3. අපණ්ණක වග්ගය > 3. අසප්පුරිස වධුකා (අසප්පුරිස ධම්ම) සූත්‍රය > පිටුව 144 – 148 (පී.ඩී.ෆ් පිටුව 165 – 168)

 

ප්‍රසිද්ධියේ අපහාස කිරීම, ප්‍රසිද්ධියේ වැරදි ප්‍රකාශ කිරීම, සත්පුරුෂ භාවය නොවන බව මේ දහම් කොටස තුලින් බුදු හිමියන් පෙන්වා දෙනවා. යමෙක් වැරදි යැයි සම්මත නොගැලපෙන වැඩපිලිවෙලකට බැසගෙන සිටිනවා නම් ඒ ඒ පුද්ගලයන්ව, ඒ වරදෙන් මුදවාගැනීම පිණිස ඔහුට ඒ කරුණ වටහා දෙන ක්‍රමයක් බුදු දහම තුල තිබෙනවා.  ඒත් එය ප්‍රසිද්ධියේ නුගුණ කීම නොවේ.  මේ සූත්‍ර දේශනාව තුලදීම පෙන්වා දෙනවා සත්පුරුෂයාගේ ගුණ.  ප්‍රකටව ගුණයන් වර්ණනා කිරීමත්... අප්‍රකටව පෞද්ගලිකව නුගුණයක් වේ නම් පෙන්වා දී ඔවුන්ව නිසි මගට ගැනීමට කටයුතු කිරීමත් සත්පුරුෂයාගේ ක්‍රමයයි. 

ත්‍රිපිටක සත්ධර්මය පාඩම් කරගෙන ත්‍රිපිටකයේ සත්ධර්මය තියෙනවා යැයි කෑමොර දුන්නාට හෝ වේවා බුදු දහම තමයි උසස් බුදු දහම අනුව වැඩ කල යුතුයි යැයි කෑමොර දුන්නාට ප්‍රමාණවත් නොවේ.   ඒවා අපේ ජීවිත තුල ක්‍රියාත්මක වෙනවාදැයි බලන්නටත් අවශ්‍ය බව ඔබට වැටහෙනවා නේද? එසේ වුවහොත් තමයි නිවන් මග විවර වෙන්නේ.  නිවීමක් සැනසීමක් තමන්ට දැනෙනවා පමණක් නොවේ ලෝක සත්වයාටද සැබෑම මෙත් සිතකින්යුතුව කටයුතුකරමින් ඔවුනටද නිවී සැනසීමේ අගය පෙන්වා දෙන්නට හැකිවෙන්නේද එවිටයි. 

එසේ නම් මින්මතුවට නුගුණ කියන්නට මත්තෙන්... නුගුණ ප්‍රකට කරන්නට මත්තෙන් මේ කාරණය ගැන නැවත නැවතත් සිහිපත් කරගන්නට දක්ෂ වන්න.  ඒ කුසලතාවය නිවීම පිණිස අවශ්‍ය කරන මහා කුසලයක් වර්ධනය කරගැනීමටත් උපකාරයක්ම වෙනවා!  තෙරුවන් සරණින් නිවනම වෙත්වා!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා