සියලු දුක් නැසුනාවූ විමුක්තිය පිණිසයි!!!

පෙබරවාරි 2015 කතු වැකිය

සියලු දුක් නැසුනාවූ විමුක්තිය පිණිසයි!!!

සටහනේ අන්තර්ගතය

අතිපූජනීය වහරක අභයරතනාලංකාර හිමියන්ගේ දේශනයක ගැබ්වෙන්නාවූ ඉතාමත් යහපත් වූ කරුණු කීපයක් සැම හිත සුව පිණිස සටහනක් තබන්නට යෙදුනි... සැම සතට නිවන් සුව පිණිසම හේතු උපකාර වේවා!!!

අපූරු දහම් උපමාවක් ඇසුරෙන් විග්‍රහ වූ ලෝකයේ යථාර්ථයක්...

"වැසිකිලියේ අසුචි පිඬක් දාපුවාම, විඟහට පණුවෙක් නැඟගන්නවාලු ඕක උඩට... 'බලාපල්ලාකෝ උඹලට තියෙනවද වාසනාවක්, මගේ ගොඩ බලාපල්ලාකෝ කියනවා..." මේ උපමාවක්...

පණුවට අසුචි ගොඩ වගේ ලෝකේ ඉන්න කෙනාට ලෝකේ තියෙන දේවල් ලොකුයි... මාර්ග ඵල ලාභීන්ට නොවේ... ලෝකේ අල්ලාගෙන තැනින් තැන රැවටිලා ඉන්නවුන්ට... ඒ අයට ඒක ලොකුයි..."

ලෝකේ තියෙනවා බලාපොරොත්තු වෙනවා එක දෙයක්... හම්බවෙන්නේ අනිත් දෙයක්... බලාපොරොත්තුව සතුටක් සැනසීමක්... කවදා හරි හම්බ වෙන්නේ අනිත් දෙයක්... නැතිවෙන වැනසෙන දෙයක් පස්සේ හොඳයි කියලා ගියොත් නැතිවෙන වැනසෙන දේකින් මොකක්ද වෙන්නේ? බලාපොරොත්තු හරියයිද අනිත් දෙයක් වෙයිද?

බලාපොරොත්තු වෙන දෙයක් හම්බ වෙන්නේ නෑ... හම්බවුනා වගේ පෙන්නලා රවට්ටලා අනිත් දෙයකින් කෙලවර කර දෙනවා... අනිත් දෙයක් කරනකොට මොකද කරන්නේ? අපි බලාපොරොත්තු වෙවී ගන්න දේවල් බලන්න ඕන හොඳට...

සැප බලාපොරොත්තුවෙන් යම්තරමක් අපි දැඩිවුණාද යම් තරමක් රළු තීරණ ගත්තාද ඒ සැපය ලබාගැනීමට විරුද්ධ දේට විරුද්ධව නැඟීසිටින්න දස අකුසලයමත් කරනවා... කරන්න කරන්න මොකද වෙන්නේ?  ලෝකයේ යම්කිසි දෙයක් දුක් කරදර ගෙනත් දෙනවාද ඒ පැත්තටම නැමෙනවා... අපිට හිතෙන්නේ ඒක අපිට සැනසුමට ගෙනත් දෙන දෙයක් කියලයි...

දෙන්නෙක් රණ්ඩුවකට ගිහින්ලා අත් දෙක වන වනා යනකොට...  ඉස්සෙල්ලා දෙන්නම නිකම් බැනගන්නවා... එකෙක් අතක් මිට මොලවලා ගත්තොත් අනෙකාත් මිට මොලවලා ගන්නවා...  එකෙක් ගල් ගෙඩියක් ගත්තොත් අනෙකත් පොල්ලක් හරි ගන්න බලනවා... "හිටපිය" කියලා ගෙදර ගිහින් තුවක්කුවක් එහෙම අරගෙන ආවොත් ගහගන්න බැරිව ගියොත් අනෙකා දුවලා ගිහින් බෝම්බයක් ගල්කටස් එකක් හරි අරගෙන එනවා... මොකක්ද මේ වෙන්නේ?

අපේ සහනය බලාගෙන අපි දරුණු දෙයක් ගත් විට ප්‍රතිචාරයත් ඒ වගේම දරුණු දෙයක් වෙනවා.  එන්න එන්න සිද්ධ වෙන්නේ ඒකයි..  බලාපොරොත්තුව වෙනවා වෙනුවට ගිනි ගොඩක් ඇවිලෙනවා... අපේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරගන්න ඕනෑම දරුණු වැඩක් කරන්න... හැබැයි කරන්න කරන්න මොකද වෙන්නේ?  දරුණු දේක ප්‍රතිඵලයක් ලබන්නම හේතු කාරකයෙක් වෙනවා... නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ගන්න තීරණේ එහෙම කරලා හරි මගේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරගන්න ඕන.. මගේ ප්‍රියමනාපය ලබාගන්න ඕන...

නමුත් අපි දන්නේ නැති ධර්මතාවය මොකක්ද?  අනිත් දෙයක් සිද්ධ කරනවා... ඊට අනිත් දෙයක්... එහෙනම් ඒ අනිත් දේ සැපවෙන්නේ නෑ... ඒක දුකමයි... එහෙනම් වෙන්නේ අනිත් දෙයක් නම්... ප්‍රතිඵලය අන්තිම දුක් ගින්නක් නම් අල්ලන්න වටිනවද?  අත්ථද අනත්ථද?  අල්ලගන්න අතක් තියෙනවද?  කොහේ බැලුවත් අනිච්චයි දුක්ඛයි!!!

මෙන්න මේ ටික දකින ක්‍රම තියෙනවා... මෙන්න මෙහෙම දැකලා යම් කිසි පුද්ගලයෙක් ගිය ගිය තැන දුක් විඳලා සංඛාර දුක්ඛයකින් ගොඩනඟලා විනාශ වෙනකොට විපරිණාම දුක්ඛයට පත්වෙන අතරමැද අනිත් දෙයකට පත්වෙවී ගිහින් දුක්විඳින එකක් දැක්කා නම්, එයා දකිනවා තුන් ආකාරයකින් "තිස්සෝ දුක්ඛා" කියන දුක් 3... මේ සෑම දේකටම උරුම දුක් 3ක් තියෙනවා කියලා දකින්න පටන් ගන්නවා... සංඛාර දුක්ඛයයි, දුක්ඛ දුක්ඛයයි, විපරිණාම දුක්ඛයයි කියන්නාවූ දුක් 3... මෙන්න මේ 3 අවර්ජනය නොකර නිසයි වැහිලා තියෙන්නේ... දුක නෙවේ මේවා සැපකුත් තියෙනවා කියලා මොට්ටකමට හිත හිතා ඉන්න ගියොත් එහෙම කවදාවත්ම මේ යථාර්ථය පෙන්නේ නෑ වැහිලා යනවා.  එය අනුපස්සනාවක් වෙන්නේ නෑ කියලා පෙන්නනවා පැහැදිලිවම... අනුපස්සනාවක් කියලා කියනවා ඒ රැවටිලා පේන්නාවූ මායාවට සැපකුත් තියෙනවා සැපකුත් තියෙනවා කිය කියා ඉන්නේ නැතිව මේකේ පිරිලා තියෙන දුක් 3 නිතර බලන්න පුරුදු වෙන්න ඕන...

මෙන්න මේ කියන සංඛාර දුක්ඛයෙන් තොර වෙච්ච... දුක්ඛ දුක්ඛයෙන් තොරවෙච්ච... විපරිණාම දුක්ඛයෙන් තොර වෙච්ච කිසිම සංඛතයක් එක් තිස් තලය තුල (තල 31තුල) නෑ කියලා මනා නුවණට පේන්න පටන්ගත්තාම අන්න ධර්මාවබෝධයට හේතුකාරක වන වැහුම් ඇරිලා සත්‍ය පේන්න පටන්ගන්නවා.

ඔය ටික බලන්නේ නැතිව කොච්චර වෙන වෙන ඒවා කර කර හිටියත්... අනේ මම නිවන් දකින්න පින් කරනවා කිය කියා හිටියත් උපනිශ්‍රය ලැබෙනවා මිසක් මාර්ගයේ සම්මා දිට්ඨිය වැඩෙන්නේ නැ.  සම්මා දිට්ඨිය වැඩීම පිණිස ඔය ටික දකින්න ඕන... සම්මා දිට්ඨිය වැඩුනොත් අනෙක් ඒවා කටපාඩම් කරගෙන ඉන්න ඕන නෑ වැඩෙනවා... "සම්මා දිට්ඨිය ගත්කල්හි දස හංගයම ගත්තා වේ" ... විමුක්තිය පිණිසම යොමුවෙනවා!

    (සමහර අවස්ථාවලදී 100%ක්ම උන්වහන්සේ විසින්ම භාවිතා කල වචන මෙහි සටහන් නොවේ...  ඒ වගේම දේශනයේ යම් යම් අවස්ථාවලදී තිබෙන්නාවූ වැදගත් කරුණු කිහිපයක් පමණක් මෙසේ උපුටා දක්වන ලදී.  ශ්‍රවණය කිරීමට වටිනා කරුණු ගැබ්වන මුලත් මැදත් අඟත් කළණ වූ නිවීම පිණිසම හේතුවන්නාවූ මේ වටිනා දේශනය සම්පූර්ණ වශයෙන් සවන් දීමට ඔබට මේ යොමුවෙන් හැකියාවක් ඇත. 

පංච ඉන්ද්‍රීයයන්ට ගෝචරවූ උදාහරණ උපමා සහිත ලෝකයකින් විග්‍රහ කරන්නාවූ මේ ධර්ම කරුණු තුලින් පංච ඉන්ද්‍රීයයන්ට ගෝචර ධර්මයන්ගෙන් ඔබ්බට ගියාවූ පෙර නොඇසූ විරූ දහම සහිත ලෝකය දැකගැනීමට සැම සතට ප්‍රඥාවම ලැබේවා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා