මග ඵල ලබලද?

දෙසැම්බර් 2015 කතු වැකිය

මග ඵල ලබලද?

සටහනේ අන්තර්ගතය

ධර්මයේ සඳහන් වන පරිදි යමෙකු අරිහත්වය ප්‍රකාශ කරන්නේ නම් එසේ ප්‍රකාශ කරන අවස්ථා 5ක් තිබෙනවා. ඉතින් අරිහත්වයට පමණක් නොවේ අනෙකුත් මාර්ග ඵල ප්‍රකාශයට පත් කරන්නේ නම් එවැනි අවස්ථාවන්ටත් මේ කරුණු 5 මනාව ගැලපෙනවා. ඒ මොනවාදැයි විමසා බලන්නට මෙවර කතු වැකිය වෙන් වනවා.

අප අතර නොයෙකුත් මාර්ග ඵලයන්ට පත්වෙච්ච උතුම් සත්පුරුෂයන් සිටිනවා. එසේ නොවන තමනුත් රැවටී අන් අයවත් රවටන වංචනික පුද්ගලයන් පවා සිටිනවා.  අංගුත්තර නිකායගේ 3 වන ග්‍රන්ථයේ ඒ කියන්නේ පඤ්චක නිපාත කියන ග්‍රන්ථයේ < 2. දුතිය පණ්ණාසක කොටසේ < 5. කකුධ වග්ග කියන කොටසේ < 3 වන සූත්‍රය අඤ්ඤබ්‍යකරණ සූත්‍රයයි < එහි පිටුව 190 (pdf පාවිච්චි කරන අයට එහි පිටුව 211 පාලි කොටසත් 212 සිංහල අර්ථයත් දැක ගත හැකියි) එහි මෙසේ සඳහන් වෙනවා...

  1. මන්දත්තා මොමුහත්තා (මෝඩකම හා මුලාව හේතුවෙන් අධිගම ඇතැයි පැවසීම)

  2. පාපි‍ච්ඡා ඉච්ඡාපකතෝ (ලාභ ‍කීර්ති ප්‍රශංසා ආදී ලෝභ බලාපොරොත්තුවෙන් තමනට අධිගම ඇතැයි පැවසීම)

  3. උන්මාදා චිත්ත වික්ඛෙපා (පිස්සුවෙන් තමන්ට අධිගම ඇතැයි කීම)

  4. අධිමානෙන (අධිමානය නිසා තමන්ට අධිගම ඇතැයි කීම)

  5. සම්මදේව (සැබෑ ලෙසම තමන් ලබා ඇති අධිගමය අන් අයටද ලබාදීමේ අපේක්ෂාවෙන් මනාකොට ප්‍රකාශ කිරීම)

ඉතින් මේ වන විට අප අතරත් නොයෙක් දෙනා තමන් අරිහත්වයට පත්වී ඇති බවත් තමන් අනාගාමී බවත් පවසන අතර එතැනින් නොනැවතී තමන් බුද්ධත්වයටද පත්ව ඇති බව පවා පවසයි. ඉතින් මෙවැන්නවුන් හමුවේ ද්වේශ සිතින් හෝ වේවා මෝහයෙන් යුතුව අන්ධව පිලිගෙන හෝ වේවා කටයුතු නොකොට මනාකොට අධ්‍යනයක් කරන්නට යොමුවෙන්න.

මේ කරුණු පහ තමන් තුලට බහා බලන්න.  තමන් තුල මාර්ග ඵල තත්වයක් ඇතැයි ඔබට සිතෙනවා නම් මේ කරුණු පහෙන් සැබෑවටම කුමන කරුණට අයත්ව එසේ හැඟෙනවාදැයි විමසා බලන්නට උත්සාහ දරන්න. 

අපට කිසිවෙකුත් විවේඡනයට ලක් කල නොහැකියි.  මුලාවූවන් හැමදාම අප අතර සිටිනවා... සම්මා සම්බුදු පියාණන්වහන්සේලා ලොව පහල වී සිටින කාලය තුලත් එවන් මුලාවූවන් සිටිනවා... ඒත් නුවණැත්තාට එයින් බාධාවක් නැහැ. විවෘත මනසකින් මඟ නොමඟ තෝරාගෙන තම තමන්ගේ විමුක්තිය කරා සාර්ථකව සිත, කය, වචනය මෙහෙයවා ගන්නට නුවණැත්තාට හැකියාවක් ලැබෙනවා.

ඉක්මන් තීරණ ගෙන අන් අයට අපහාස කරන්නට, විවේඡනය කරන්නට, ද්වේශ කරන්නට නොගොස් තම තමන්ගේ මාර්ගය පාදාගෙන ඉක්මනින් විද්‍යා විමුක්තිය ලබන්නට නුවණැත්තෝ කටයුතු කරගත යුතුමයි. නැතහොත් තව තවත් එවන්වූ මුලා වූ අන්ධ බාල පෘතග්ජන පිරිස මැද නැවත නැවත අතරමංව සසර දිගු කරගෙන අනන්ත දුකකට කරගසා ගැනීමෙන් ඔබව වලකා ලන්නට කිසිවකුටත් නොහැකි වේවි.

සැබෑවටම තමන්ට ඇති ඵලයක් ප්‍රකාශ කරන උත්තමයනුත් අප අතරම සිටිය හැකි බැව් නුවණින් වටහාගෙන එවන් සත්පුරුෂ ඇසුරක් තමන්ටත් නොපමාව ලැබේවායි යන මෙත් සිතින් කටයුතු කරමින් සත්ධර්ම ශ්‍රවණයට යොමුවීමත් අසාගන්නා සත්ධර්මය තුල නුවණ මෙහෙයවමින් හේතු ඵල දහම මනාවට අවබෝධ කරගන්නට තමන් තුලින් ලබාදිය යුතු කොටසත් පූර්ණ කරගනිමින් දහම් අනුදහම් පිළිවෙතට පිවිසගන්නට දැඩි අදිටනින් යුතුව කටයුතු කරන්නට පෙළඹීම බුද්ධිමත් නුවණැති ඔබට අයත් කටයුත්තකි.

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසූ‍වහොත් කිසිවෙකුටත් අලාභයක් සිදුනොවනු ඇත. අඥානයින්ට තම තමන්ගේ වටිනා මිනිස් ජීවිත බිලිදීමට මත්තෙන් මඳක් සිතන්න... ඉවසූ තරමට ප්‍රතිඵලද යහපත් වේවි... ඉක්මන් වී බාහිර කරුණු මතින් තීන්දු තීරණ ගෙන මුලාවටම මඟ පාදා ගතහොත් අමාරුවේ වැටෙන්නේ ඔබමය! සසර දිගු වන්නේ ඔබටමය!

එවිට ඔබව බේරාගන්නට ඔබට මුලා උපදෙස් දුන් අධර්මය ධර්මය ලෙසින් දුන් සත්පුරුෂ ප්‍රතිරූපක ලෙසින් මවා පෑ අසත්පුරුෂ සහාය නොලැබේවි!  මන්ද ඔවුන් ඔබටත් පෙරම සසර දුකෙහිම ගිලී යන නිසාවෙනි. ඉතින් මුලාවූ මෝහසහගත අසත්පුරුෂයින්ගෙන් තොර ලොවක් පතමින් සටන් වදිමින් බැන වදිමින් තර්ක වාද කරමින් වටිනා කාලය විනාශ කරගනිමින් තමන්ට ලැබෙන වටිනා අවස්ථාවන් මඟ හරවා ගන්නේද අනුවණයින්ම වේ.   

ඉතින් මෙම කරුණු මනා කොට ඇසුරු ‍කොට තම තම නැණ පමණින් විමසා යහපත සිදුකරගන්නට සුදුසු පරිදි කටයුතු කරගන්නට කැමැත්තෝ පෙළඹෙත්වා!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා