බොහෝ දේ නොදකින සිත

මාර්තු 2019 කතු වැකිය

බොහෝ දේ නොදකින සිත

සටහනේ අන්තර්ගතය

අපි ගොඩක් වෙලාවට අපේ සිත කියන දේ නිවැරදියි කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ සිත තීන්දු තීරණ ගන්නේ දත්ත රැසකින් ගත් නිගමන තුලින් කියලා අපට අමතක වෙනවා. කර්මය ගැන... නැවත නැවත සසර පුරාවට ඉපැදෙන ජීවින් කොටසක් බව අමතක වන... විශ්වාස කරන්නට නොහැකි අපට සිදුවන අකරතැබ්බයක් මෙවර කතු වැකිය තුලින් මෙසේ සටහන් තබන්නට සිත්විය.

ඉතිහාසයේ රජ කල රජ දරුවෝ, ඉපිද නැවතත් දේශපාලනයට පිවිසෙන්නෝ...

එකල රජු නම් උතුම් යැයි පටබැන්ඳෝ, මෙකල ඒ රජුටම පන්න පන්නා මඩ ගැසුවෝ...

එකල රට එක්සේසත් කල සෙන්පතියෝ, ඉපිද නැවතත් රට සනසන්නෝ...

එකල සෙන්පති හට වැඳ පුදන්නෝ, 

මෙකල ඒ සෙන්පතියනටම නිගරු කොට පන්නා දමන්නෝ...

අප බොහෝ විට ඉතිහාසයේ වැජඹුණ රජවරුන් සෙන්පතියන් ගැන කියනවා... ඒ අය කියූ කෙරූ දේවල් යැයි උදම් අනමින් යම් යම් දේ පවසනවා.  එහෙත් ධර්මතාවයට අනුව... සසර පැවැත්මට අනුව සසර දුක් කෙලවර නොකල ඒ ඒ රජවරුන්... සෙන්පතියන් නැවත මෙකල අප අතරම ඉපදිලා දේශපාලන චරිත බවට පත්වෙලා සිටිනවා.  හැබැයි මෙකල අප ඒ අය ගැන ලබාදෙන විචාරය නම් පෙර කල දුන් චරිත සහතිකය නොවන බවයි පෙනී යන්නේ...

රට රැකි ඒ හිමි ගරු කොට වැන්දෝ, අදටත් නම් කියමින් රුව හැදුවෝ...

ඒ හිමිවරු නැවතත් ඇවිදින් රට රකිනෝ, දානෙද ගරුත්වය අහිමිව අපහාස ලබන්නෝ...

ඒ වගේමය තමයි සංඝරත්නයේ යම් යම් චරිත වලට මෙකල ලැබෙන ගැරහුම් අපවාද උපවාද.  පෙර කාලයේ හිමිවරුන් නම් මෙහෙමයි කියමින් මෙකල හිමිවරුන්ට ගරහන බොහෝ විට බොහෝ දෙනෙක් නොදන්නා සහ විශ්වාස නොකරන කාරණය නම් මේ දෙආකාරයකට පිදුම් ලබන්නේ එකම චරිතය පිට කවර වෙනස් වූ නිසා හඳුනාගන්නට දක්ෂ නොවන හෙයින්ම බවයි...

ඒ වගේම තමයි...

දෙව්දත් හිමිට පිරිසගේ සිත් බෝ දුන්නෝ, බුදු හිමි මහ රහත් හිමිවරු පෙලා දැමුවෝ...

සංවර නැති සිතට සරණක් කොයින්දෝ, නිතරම අකුසලයටම නතු වෙන්නෝ...

යහපත අයහපත දකිනට පැහැදිලි සිත නොම ඇත්තෝ,

කුහකව අගුණ දකිමින් බෝ නරකක් කරගන්නෝ...

කවදා සසර අනතුර මේ අය දැක ගනිදෝ, ගලවා ගන්න කෙනෙකුන් එනතෙක් ඉන්නෝ...

පැමිණෙන විටදි බැන බැන පන්නා ගන්නෝ, මේ කෝලං දැක සිහි තව වැඩි වෙනවෝ...

සෙත් පතනවා හැර වෙන කල යුත්තක් නැත්තෝ...

ඉතින් මේ බොහෝ දේ දැකගන්නට... නිවැරදි දේ දැකගන්නට අදක්ෂ අපේ හිත් නිතරම ලැදි වෙන්නේ අකුසලයට.  කුහකව... මායා ගති පාමින්... යහපත් ලෙසින් රඟන රැඟුම් වලට වශීවෙන්න මේ සිත දක්ෂයි.  මන්ද ඒ ගති අප තුල අඩු වැඩි වශයෙන් තිබෙන නිසාවෙන්මයි.  බාහිරයෙන් ගලවාගන්නට කෙනෙක් පැමිණෙයි කියන විශ්වාසයේ ඉඳගෙන අවසානයේ අහුවෙන්නෙත් ඒ වගේ අයටමයි.  පන්නා දමන්නේ නිවැරදි ගුණ දරන්නෝමයි...

මොහොතක් තමන්ගේ සිතට එබී බලන්න.  මේ රැවටීම... මේ වැඩපිලිවෙල අපගේ සිත් තුල සිදුවෙනවා නොවේදැයි විමසා බලන්න.  ඒ වරද නිවැරදි කරගන්නට ධර්මය ජීවිතයට ලං කරගන්නට උත්සාහ කරන්න.

කුහක ගති බොරු මායා ඇති සිත් පහ වේවා!!!

කළගුණ දැක යහපතම දැක කටයුතු වේවා!!!

සසරක අනතුරක හැටි නිතරම සිහි වේවා!!!

ඡන්දය නිසා අන්ධව අගතිය හිමි නොම වේවා!!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා