සත්දහම නිසි සේ සොයමු!

නොවැම්බර් 2014 කතු වැකිය

සත්දහම නිසි සේ සොයමු!

සටහනේ අන්තර්ගතය

මෙකල මාර්ගඵල දුර්ලභ වීමට යම් කරුණු හේතුවී ඇතිනම් බුදු හිමියන් පෙන්වා දී ඇති ආකාරයට “සත්ධර්මය ශ්‍රවණය නොකිරීම” වැදගත් කරුණකි. මේ නිසා ප්‍රඥාවන්තවීම අතිශයින්ම වැදගත්ය. පෙර කතුවැකියේ සටහන් වූ කරුණට සබැඳි තවත් බොහෝ සිතිය යුතු කරුණු එකතුවකි.

නිසි දේට මුල්තැන දෙන්නට තරම් ඔබ තුල සාමාන්‍ය දැනීමක් තිබිය යුතුය. එය වර්ධනය වීමම ප්‍රඥාවන්තභාවයයි. ප්‍රඥාවන්තභාවයේ වර්ධනයම නිවීමයි.

සෝතාපන්න ආදී මාර්ග ඵල නොලැබූ ධර්මාවබෝධයට පත්නොවූ තත්වයක සිටින්නාවූ කළ්‍යාණ පෘතග්ජන කියන මට්ටමේදී දේශකයාණන්වහන්සේලා බොහෝ විට ඉතාමත් වැදගත් කරුණක් පොතකින් බලාගෙන ඉගෙන ගෙන සජ්ඣායනා ස්වරූපයෙන් හෝ දේශනා ස්වරූපයෙන් හෝ ලැබෙන්නට සලස්වනවා.  එහිදී කළ්‍යාණ පෘතග්ජන කියන්නාවූ ගරු කටයුතු මට්ටමක් මේ ශාසනය තුල තිබෙන බව දැනගෙන සිටීම මේ වගේ කිලිටි සහගත සිත් පහල වීම වලක්වා ගැනීමට උපකාරයක්ද වෙනවා.

මෙම මට්ටමේදී බොහෝ විට තමන්ගේ මත ආදිය ඉදිරිපත් වීමට ඇති ප්‍රවණතාවයද බහුලයි. සත්ධර්මය දේශනා කරන්නාවු සැවොම ආර්ය සංඝ කියන මට්ටමේම සිටිය යුතුයි යන නියමයක් දමා ගැනීම අවශ්‍ය නැත. ඒ කියන්නා වූ සත්ධර්මය තුලින් ඒ ඒ මට්ටමෙන් ප්‍රයෝජන ලැබීම නුවණැති පුද්ගලයාගේ කටයුත්තය. “කියන්නා කෙසේ කීවද අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය” යන උපහැරණය මෙවන් අවස්ථාවලදී ඉතාමත් වැදගත් වේ. 

ඉතින් යම් දේශකයාණන්වහන්සේ කෙනෙක් විසින් දේශනා කරන්නාවූ ධර්ම දේශනයක් තුල තමන්ටත් අනුන්ටත් යහපත උදාකරගත හැකි දෑ අංශු මාත්‍ර වශයෙන් හෝ තිබේ නම් එම කොටසට මුල්තැන දීම ඉතාමත් වටිනා ගුණයකි.

උන්වහන්සේලා ආර්යභාවයේ සිටිනා උත්තමයින්ද නැතිනම් කළ්‍යාණ පෘතග්ජන මට්ටමේද නැතිනම් හිස්වූ පෘතග්ජන මට්ටමකද මේ දේවල් අදාල කරගත යුතු කරුණු නොවන්නේමය. ඒ පෞද්ගලික දේවල් දැනගැනීම නිවීම පිණිස අදාල වූ දෑද නොවේ. මන්ද යම් පුද්ගලයෙකුගේ ආර්ය අනාර්ය භාවය පෘතග්ජන මට්ටම ආදී දෑ ගැන 100% නිවැරදි විනිශ්චයක් තීරණයක් දිය හැකි වන්නේ සම්මා සම්බුදුපියාණන්වහන්සේ කෙනෙකුටම පමණි. ඒ නිසා මෙවන් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කරන විට තමන්ගේ සීමාව දැනගෙන මෙවන් වූ අවස්ථාවල කටයුතු කිරීම අප සැමගේ යහපත පිණිසම හේතුවන්නකි.

ඉතින් අංග සම්පූර්ණ දේශනයක් ඇසීමේ බලාපොරොත්තුව මත වැරද්දට මුල්තැන දී කටයුතු කිරීමේ ස්වභාවයක් මා තුලත් පෙර කලක බොහෝ වශයෙන් තිබූ කරුණක්.  යම් දේශකයාණන්වහන්සේ කෙනෙක්ගේ දේශනයක් තුල තිබෙන නොගැලපෙන කරුණට හිත යන ස්වභාවය මටත් තිබුනා. ඒත් මේ ධර්මය තුලින්ම එහි වරද වටහාගෙන උත්සාහයෙන් වීර්යෙන් යුතුව සිහිය පවත්වමින් මෙම වරද නැවත නොනැගෙන සේ ඉවත් කරගැනීමට මට හැකිවුණා. ඒ මේ උත්තරීතර සත්ධර්මය තුලින්මයි. එම කෙලෙස් දහම් ඉවත්වූ විට ලැබෙන සැබෑ සුවයත් ලාභයත් ඔබ සැමද අත්දැකිය යුතු නිසාවෙන්ම මේ කරුණ ගැන මෙසේ විවිධාකාරයෙන් සටහන් තබන්නෙමි.  මේ සත්ධර්මය ඕනෑම කෙනෙකුට යහපත ගෙන දෙන්නක්. මට යම් පමණකින් වරදක් අඩුපාඩුවක් හදාගන්නටත්... තවමත් නොයෙක් ආකාරයේ අඩුපාඩු සකසා ගන්නට මේ සත්ධර්මය උපකාර වූනා නම්, වෙනවා නම් මතුත් වෙනවා නම්... ඔබගෙන් යමෙකුටත් එය ඒ ආකාරයෙන්ම උපකාර විය හැකියි. එය නිසි ලෙසින් තමන්ගේ ජීවිතයට ලං කරගැනීම තම තමන් විසින් ගත යුතු තීරණයක්මයි.

ඉතින් සත්ධර්ම දේශයක් තුලදී හෝ වේවා මේ ආකාරයට කියවන්නට යෙදෙන දෑ ඔස්සේ හෝ වේවා ඔබ පුද්ගලත්වයක් ගෙන එතැන ඇලෙනවා නම් බැදෙනවා නම් ගැටෙනවා නම් එතැනින් ලැබිය හැකි නිවනක් නොමැත. ඉතින් අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ ඔබ සත්ධර්මයක් අංශු මාත්‍ර හෝ වශයෙන් අවබෝධ කරගෙන සිටින්නේ නම් යම් වැටහීමක් හෝ අනුමාන වශයෙන් හෝ තිබේ නම් තෙරුවන් සරණින් එය ප්‍රායෝගිකකරණය කරන්නට පිළිපදින්නට උත්සාහවන්තවීම වඩාත් සුදුසුයි යන්නයි.

සසර පුරාවට තිබූ තැන තැන හාවෙමින් තණ්හා වෙන කැත පුරුද්දට දැන්වත් නැවතීමේ තිත තැබීමට පුරුද්ද අතහැර ගැනීම සිහියෙන් සිටිමින් කටයුතු කිරීම සුදුසු වෙනවා. ඔය සිතට එකඟව කටයුතු කිරීම දැන්වත් නතර කල යුතු වෙනවා. මන්ද අවිද්‍යාව ක්‍රියාත්මක වනතාක් සිතේ තීරණය අවිද්‍යාව මිශ්‍රවූ කිලිටි සහගත තත්වයේම පවතින්නක් වන නිසා ධර්මයට එකඟව කටයුතු කිරීමට ප්‍රවේශමෙන් වග බලාගත යුතු වෙනවා.

ඔබ කොතරම් භාවනා කලත් ධර්මය පුරුදු කරනවාය කිව්වත් ඔබගේ වචනය තුලින් තවමත් ඔබ දේශකයාණන්වහන්සේලාගේ වැරදි අඩුපාඩු සොයනවා නම්, පොදුවේ අනුන්ගේ දේවල් විවේඡනය කරමින් වාද විවාදයන්ට ලක්කරමින් අනුන්ගේ වැරදි දෑම සොයමින් කාලය නාස්ති කරගන්නවා නම් ඒවාට මුල්තැන දෙමින් අංශු මාත්‍ර හෝ සත්ධර්මය යටගසනවා නම් මේ සත්ධර්මය යටපත්වී වැසී යාමට එතරම් කාලයක් ගත නොවනු ඇත.

ගැඹුරු ධර්මය කතා කිරීම සටහන් තැබීම පමණක් ප්‍රමාණවත් නැත. ඒ තුලින් ඔබගේ ජීවිතය තුල ඔබටම අත්දැකගත හැකි දියුණුවක් යහපත් ආකාරයේ වෙනසක් අත්දැකිය යුතුවේ. ප්‍රායෝගිකව භාවිතය තුලින් පෙර නොදැන හෝ යම් අඩුපාඩුවක් වරදක් නොගැලපෙන යම් දෙයක් සිදුවූයේ නම් එය නැවත නොවෙන තත්වයට පත්කරගැනීම පිණිස ලැබෙන සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගෙන සත්ධර්මයේ ඇසුර ලැබිය යුතු වේ.

ඒ සඳහා දේශනයක් තුල තිබෙන 99%ක් නිවැරදිව සිද්ධ වූණාවූ දේශනයක් තුලින් ඔබට ඇතිකරගන්නට නොහැකිවූවා යහපත් වූ වෙනසක් සමහරවිට 1% සත්ධර්මය තිබූ දේශනය තුලින් එක් ක්ෂණයකින් ලබාදෙන්නට පුළුවන් විය හැකියි. ඒ නිසා පුද්ගලත්වය අමතක කර දමන්න. ඔබ දේශනයකින් ලැබූ යම් අංශු මාත්‍ර හෝ යහපතක් වේ නම් එයට කෘතගුණ සැළකීම පිණිසම පමණක් පුද්ගලත්වය යන සම්මතය ප්‍රඥාවන්තව නොඇලීමෙන් නොගැටීමෙන් යුතුව භාවිතා කරන්න. ශ්‍රවණය කරන දේශනය තුල කියවන්නාවූ දහම් ලිපිය තුල නිවීම දැකීම එය මතුකරගැනීම එය තමන් තුලින් අත්දැකගැනීම ප්‍රඥාවන්තව කරගන්න.

මෙසේ නොවුනහොත් සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු දෘෂ්ඨීන්ගේ මිදී මමත්වය ප්‍රහාණය කරන්නාවූ නිවීමද ඔබට බොහෝ දුරවනු ඇත. ප්‍රඥාවන්තව සිහියෙන් වීර්යෙන් යුතුව සසර පුරාවට පුහුණු කල කැත පුරුදු අතහැරගැනීමට ඔබ සැමටත් මටත් තෙරුවණේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා!!! ප්‍රඥාවන්තව කටයුතු කරගන්නට උපරිමයෙන් උත්සාහවන්ත වීම සුදුසුය. එය අපහසුය... බාධකද බොහෝමය... ඒත් කරන්නට බැරි දෙයක් නොවන්නේමය!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා