දිනිය යුතු දිනුම් තුනක්

ජූනි 2024 කතු වැකිය

දිනිය යුතු දිනුම් තුනක්

සටහනේ අන්තර්ගතය

ගෞතම සම්මා සම්බුදු රඳුන් පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේලා සමඟ යව වළඳමින් ගත කරන්නට සිද්ධ වූ වේරංජාවේ වස් කාලය ගැන ඔබ බොහෝ දෙනෙක් අහලා ඇතිනේ නේද? මේ කතාව... මේ සිද්ධිය සිහිපත් වන සෑම අවස්ථාවක ම අපගේ උත්තම ශාස්තෘන් වහන්සේගේ සහ ඒ ශාස්තෘන් වහන්සේ අනුව හික්මීමක් ඇති කර ගත් ඒ උත්තම ශ්‍රාවක පරපුර කෙරෙහි මහත් වූ ගෞරවයක්... ආදරයක් වගේම ඒ අනුව තමන්ගේ ජීවිතය සකස් කර ගන්නට ඇති අවශ්‍යතාවය කැප වීම වඩාත් ප්‍රබල වෙනවා. ඔබටත් එසේම වෙත්වා යන අදහසින් මෙවර කතු වැකිය ඒ උත්තම ශාස්තෘන් රත්නයේ අනන්ත ගුණයන්ට උපහාරයක් සේ වෙන් කරමි!

මේ කියන සෑම කාරණයක් ඔස්සේ ම තම තමන්ගේ කෙලෙස් මට්ටම් විනිවිද දැක ගන්නට නුවණ මෙහෙයවන්න.  අවංකවම තම තමන්ගේ අසංවරකම් හඳුනා ගෙන හික්මීමක් ඇති කර ගන්නට අදිටන් කර ගන්න.  එයම තමයි මෙවැනි උත්තම ශාස්තෘන් වහන්සේ නමකට... ඒ අනුව හික්මීමක් ඇති කර ගත් ශ්‍රාවක පරපුරට අපට දිය හැකි උපහාරය.  ඒ ප්‍රතිපත්තියේ නිවැරදිව පිහිටීම පිණිස උපකාරයක් වීමට තමයි මේ ආකාරයට මේ සියලු දේ සිහිපත් කරන්නේ.  මේ ශාසනය ගිලිහී යනවා.  අපට තව කාලයක් නෑ!  මේ ගුණ දහම් හඳුනා ගන්න... ගිහි වේවා - පැවිදි වේවා... ඔබ කව්රුන් වුවත් ඔබට මේ උත්තම බුද්ධ ශාසනයක ගැඹුර වටහා ගන්නට හැකි වේවා!!! 

උත්තම සම්මා සම්බුද්ධ රත්නය ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයට වේරංජාවේ වස් වසන්නට ආරාධනා කල වේරංජ බමුණාට තමන්ගේ ඒ ආරාධනාව... ආරාධනාව භාර ගෙන වැඩ සිටි බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නය අමතක වුණා.  ඒ මදිවට ඒ වස් කාලයේ වේරංජාවේ ගොවිතැනට වසංගතයක් පැතිරිලා... ඒ නිසා කෑම බීම හිඟ කාලයක්.  පිඬු සිඟා වැඩියත් ප්‍රමාණවත් ලෙසින් පිණ්ඩපාතයක් ලබා ගන්නට හැකි කාලයක් නෙවේ.  මේ කාලයේ අශ්වයින් සමඟ වේරංජාවට පැමිණ සිටි අශ්ව වෙළඳුන් පිරිසක් තමයි අශ්වයින්ට කෑම පිණිස දෙන යව හාල් වලින් කොටසක් මේ බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නය වෙනුවෙන් වෙන කර මාස තුනක්ම ආහාර ලබා දුන්නේ.  උන්වහන්සේලා ඒ යව හාල් කොටා වළඳනවා.  ආනන්ද හිමියන් මී හකුරු එක්ක කලවම් කරලා බුදු හිමියන්ට සංග්‍රහ කලා කියලා විස්තර කතාවේ තියෙනවා. 

කෙලෙස් තුලින් මෙහෙයවන කෙලෙස් වලින් බරිත සිත් නම් වේරංජා බමුණාට දොස් තියයි නේද?  “සිදු කල ආරාධනාවක් එහෙමත් අමතක වෙනවද“ කියලා අහයි නේද?  “දවසක් දෙකක් නම් කමක් නෑ... මාස තුනක් ම?  අනිවාර්යයෙන්ම ගිහින් මතක් කරන්නට ඕනෑ“ කියලා හිතෙයි නේද?  නමුත් අපගේ උත්තම ශාස්තෘන් වහන්සේ එහෙම කලේ නෑ... ඒ විතරක් නෙවේ ආශ්චර්යමත් සිද්ධිය නම් උන්වහන්සේ ඇසුරේ සිටි 500ක් පමණ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලාගෙන් එක් අයෙක් වත් එහෙම කරන්නට හිතලා වත් නෑ...!  උන්වහන්සේලා ක්ලාන්ත වී වැටුනත් වෙනත් පැත්තකට වත් යන්න ඕනේ කියලා හිතක් ඇති වෙලාවත් නෑ...

මේ සම්පූර්ණ සිද්ධියේ දී ශ්‍රාවක භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම... උන්වහන්සේලාගේ ආධ්‍යාත්මයට කිඳා බැස්ස අපගේ ශාස්තෘන් වහන්සේ ඒ ගැන උත්තම ආර්ය ශ්‍රාවක ආනන්ද හිමියන්ට මෙන්න මෙහෙම පවසනවා...

“ආනන්‍ද! සත්පුරුෂ වූ නුඹ විසින් දුක සේ භික්‍ෂාව ලැබියයුතු කල්හි දුකසේ පිඬු ලැබිය යුතු කල්හි මේ සැහැල්ලු පැවැත්මෙන් මේ කෙලෙස් සිඳ ලන පැවැත්මෙන් දිනන ලද්දේය. කුමක් දිනන ලදද යත්: දුර්භික්‍ෂය දිනන ලද්දේය. ලෝභය දිනන ලද්දේය. ඉච්ඡාචාරය දිනන ලද්දේය.“

දුර්භික්‍ෂය දිනන ලද්දේය

මේ කාලයේ ඔවුන් සියලු දෙනාම ලැබූ ජයක් තියෙනවා.  ඒ මොනවද දුර්භික්ෂය ජය ගත්තා... ඒ කොහොමද? වේරංජාවට මේ වගේ දුර්භික්ෂයක් තිබුණාට අහල පහල ගම් වලට එහෙම නෑ... පිඬු සිඟා වැඩියා නම් දානය ලැබෙනවා.  සුවසේ සිව් පසය ලැබෙනවා.  “අපිවත් මේ දුක් සහිත දුර්භික්ෂයක් ඇති පැත්තක රඳවා ගෙන අපේ ශාස්තෘන් වහන්සේ මේ පැත්තේ ම ඉන්නවානේ... වෙන පැත්තකට යන්නේවත් නෑනේ“ කියලා වත් අසහනකාරී, දුක් සහිත තරහ සහිත සිතිවිලි මාත්‍රයක්වත් මේ කිසිම භික්ෂුවකට පහල වුනේ නෑ කියනවා. දුර්භික්ෂය මේ ආකාරයෙන් දිනන ලදී... මඩින ලදී... දුර්භික්ෂය වැනි බාහිර කාරණාවකට තමන්ව පාලනය කරන්නට නොදී මේ සිද්ධිය තමන්ගේ යටතට ගන්නා ලදී... ඒ අර්ථයෙන් දුර්භික්ෂය ජය ගත්තා කියලා පෙන්වා දෙනවා.

ලෝභය දිනන ලද්දේය

දුර්භික්ෂය නොමැති සුවසේ දන් ලැබිය හැකි අවස්ථාව ගැන සිතමින්... මොහොතකට හෝ ඒ පැත්තකට වත් පිඬු පිණිස යා යුතුයි... ඒ වෙනත් පැත්තක වස් සමාදන් විය යුතුයි... මේ ආකාරයෙන් තමන්ට දැන් නොලැබෙන නමුත් ලැබිය හැකි දේ ගැන සිතමින් ඒ අනුව කටයුතු නොකල නිසාවෙන් ඒ ශ්‍රාවක පරපුර ඒ මොහොතේ ලෝභය දිනන ලදී කියලා අප මහා ශාස්තෘන් වහන්සේ පෙන්වා දෙනවා.

ඉච්ඡාචාරය දිනන ලද්දේය

තවත් දිනුමක් ලබා තිබෙනවා... ඉච්ඡාචාරය දිනා තිබෙනවා... ඒ කියන්නේ... සම්බුදු හිමියන් ඒ ගැන මෙසේ පෙන්වා දෙනවා.  “මෙච්චර කාලයක් ඉන්නවා අපිව ගාණකටවත් ගන්නේ නෑ...  අපේ ගුණ දකින්නේ නෑ... මෙතැන ඉන්නවා ප්‍රථම දැහැන්, දෙවැනි දැහැන්... මේ විදියට ෂඩ් අභිඥා ලාභීන් පවා ඉන්නවා.... අපි ඒ ගුණ පවසා ගුණ වෙළඳාම් කරලා පිණ්ඩපාතය ලබා ගෙන කුස පිරුණාට පසුව සිල් අධිෂ්ඨාන කර ගන්න පුළුවන් නේ...“ කියලා කාටවත් හිතුණේ නෑ කියනවා.  තමන්ගේ ගුණ හුවා දක්වමින්, තමන් සිව් පසයට කොතරම් සුදුසුයි දැයි පෙන්වා දෙමින් සිව් පස ය ලබන්නට කටයුතු කිරීම ලාභ, කීර්ති, ප්‍රශංසා ලැබීම සතර පාරාජිකාවෙන් එකක් ලෙසින් පවා දක්වා තිබෙන්නේ එය ඉතාමත් පහත් වූ කෙලෙස් මට්ටමක් නිසාමයි.  අන්න ඒ මානය, ලෝභය මුසු වූ අධික වූ මුලා සහගත මානසික මට්ටම මේ උතුම් ශ්‍රාවක පරපුර ජය ගන්නා ලදී යැයි බුදු හිමියන් මෙතැන දී පෙන්වා දෙනවා.

ඔබත් බලන්න... ගිහි වේවා පැවිදි වේවා... ඔබ මේ උතුම් ආර්ය ශාසනය අනුව හික්මෙන්නට උත්සාහ දරන්නෙක් නම් මේ උතුම් ශ්‍රාවක රත්නයන් ලැබූ ජය ඔබ ලබනවා ද?  තමන්ගේ පැවැත්ම දෙවැනි කරලා... දිවි දෙවැනි කරලා... මේ වගේ උතුම් ශාස්තෘන් වහන්සේ නමක් අනුව... මේ වගේ උත්තම ශ්‍රාවක පරපුරක් අනුව හික්මීමක් ඇති කර ගන්නට වෙහෙස වෙනවද? 

බලන්න අපේ බුදු හිමියන් හෝ ඒ ශ්‍රාවක පිරිස ඒ අවස්ථාවේ දී මේ හිරිහැරකාරී, කායික පීඩාවන් ගෙන් මිදෙන්නට කොතරම් උපක්‍රම තිබුණත්... කොතරම් ක්‍රම වේද තිබුණත්... ඒ කිසිවක් යොදා ගන්නට සිතුවේ නෑ.  තමන්ට කොතරම් අවස්ථාව තිබුණත් ඒ කිසිම දෙයක් කෙරෙහි යොමු වුණේ නෑ... තමන් වහන්සේලාට ආරාධනා කල වේරංජා බමුණාගේ ආරාධනාව ගෞරවාන්විතව ආරාධනයක් බවට පත් කලේ ඒ උතුම් ගුණ සම්භාරයත් එක්කමයි.  ඒ විතරක් නෙවේ ඒ වස් තුන් මාසය අවසානයේ වේරංජා බමුණු හට වස් කාලය අවසන් බව සිහිපත් කර නික්ම යන්නටත් තීරණය කරනවා.  ඒ විතරක් නෙවේ ඒ බමුණා සමාව ගෙන නැවත දානයට ආරාධනා කරන විට ඉතාමත් ගෞරවයෙන් ඒ ආරාධනාව ද භාර ගන්නවා.  ඔහුට ඉඟියකින් වත් තමන් වහන්සේලා මුහුණ දුන් අපහසුව ගැන... ඒ බමුණා වරදක් කල බව... නැවත ඒ බමුණාගේ දානය වැදගත් නැති බව... මේ ආකාරයේ කිසිවකින් ඒ මිනිසා ව පෙලීමට ලක් කලේ නෑ! 

ඉතින්, ඔබ නිවන් මඟ යනවා යැයි කියන්නෙක් නම් ඔබ තුලත් මේ ගුණ දහම් වැඩෙනවා ද බලන්න... ඔබ තුල මේ ගුණ දහම් වැඩෙන්නේ නැතිව... සෑම විටම චෝදනා මුඛයෙන් අනුන් පෙලමින්... තමන්ට මුල් තැනට පත් කරගෙන නම් කටයුතු කරන්නේ මේ ශාසනයත් මඟ හැරේවි!  මේ උත්තම ශාස්තෘ ගුණ හදවතට දැනෙන්න ඕන... මේ උත්තම ශ්‍රාවක ගුණ හදවතේ වැඩෙන්න ඕන... එතකොට නම් නිවන දුර නෑ!  එසේ නැතිව ලබන නිවනක් ඇත... එය මා ලබා ඇත යැයි ඔබට සිතේ නම්... නම් ඔබ වරදවා ගත් නිවීමකට පත් වී ඇති බව ම වැටහේවා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා