නොවැරදුන දිවි පිදුම
සැප්තැම්බර් 2024 කතු වැකිය
සටහනේ අන්තර්ගතය
මෙයින් කල්ප ගණනාවකට පෙර තුන් ලොවට පහල වූ මංගල සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බුද්ධ අපදානයක් තියෙනවා... ඒ උන්වහන්සේ මහ බෝසත් අවධියේ දී ඉන් පෙර පහල ව සිටි සම්මා සම්බුද්ධ රත්නයක ගේ පිරිනිවන් ස්ථූපයක් ඉදිරියේ දිවි දෙවැනි කොට තෙරුවන් වන්දනා කල ආකාරය ගැනයි. ඉතින්, මෙවර කතු වැකිය වෙන් වන්නේ දිවි දෙවැනි කරමින් උතුම් තුනුරුවන පුදන කිසිවෙකුට වැරදුණේ නෑ... වරදින්නෙත් නෑ... වරදින්නට හේතුත් නෑ... කියන කාරණය සිහිපත් කරන්නටයි!
උත්තම මංගල මහ බෝසතාණන් වහන්සේ සම්බුද්ධ රත්නයක පිරිනිවන් ස්ථූපයක් අබියස “මම මෙයට ජීවිත පරිත්‍යාග කළ යුතු යැයි“ අදිටන් ගෙන දඬු වැට පහනක් වෙළන පරිද්දෙන් මුළු සිරුර ම රෙදි කඩකින් වෙළා ගෙන රන් බඳුනක් සුවඳ ගිතෙල් වලින් පුරවා එහි දහසක් වැටි දල්වා එය හිස තබා ගෙන... මුළු සිරුර දල්වා පසුවදා එළිය වැටෙන තෙක් ම බුදු ගුණ මෙනෙහි කරමින් පැදකුණු කල බවට. ඒ උත්තම කුසල ශක්තියේ අතුරු ඵලයක් ලෙසින් ඒ මංගල සම්මා සම්බුද්ධ රත්නය ගේ බුද්ධ රශ්මි කදම්බය සක්වළ සිසාරා පැතිරුණු බව ධර්මයේ පෙන්වා දෙනවා.
තුනුරුවන කියන්නේ මොකක්ද? කව්ද? මේ ගැන ගැඹුරින් නැණවත්ව විමසන්න. මේ තුන් ලෝකයේ ම සැරිසරන්නට ඇති සියලු හේතු, තතු සේ අවබෝධයෙන් ඒ සියල්ලෙන් නිදහස් වූ උතුමන්... ඒ සඳහා මඟ පෙන්වූ උතුමන්! ඒ සැරිසැරීම් සියල්ල නවතා දැමූ උතුමන්... මේ රෝන්ද ගැහිල්ලේ සැබෑම යථාර්ථය... මේ සියල්ල වචනයෙන් කියා නිම කරන්නට නොහැකි එකතුව තුන් රුවන යි. සම්මා සම්බුද්ධ රත්නය... තථාගත ශ්‍රී සත්ධර්ම රත්නය... ආර්ය මහා සංඝ රත්නය... කියන්නා වූ මේ තුන් රුවන යි. මේ මැණික් වල සැබෑ වටිනාකම දැනෙන්නේ ඇත්තක් හොයන්න වුවමනාවක් සිතට නැඟුණු දවසටයි.
එතකම් ඉතින් මේ මැණික් සම්බන්ධ සියලු කටයුතු අපට විහිළුවක්! හරියට අපි මැණික් හඳුනා ගන්නට නොදන්නා කල... ඔබ මට්ටම් නොවූ මැණික් නිකම්ම නිකම් ගල් කැබලි වගේ නේ පේන්නේ නේද? හඳුනා ගන්නට දක්ෂ නැත්නම්... හඳුනා ගන්නට ක්‍රමය දන්නේ නැත්නම් “මේවා වටිනවා“ කියලා කියන්නෝ පවා විහිළුවක් වෙනවා අපට නේද? “මේ මනුස්සයාට පිස්සු ද කොහෙද ගල් කෑල්ලක් පෙන්වමින් වටිනවා කියනවා“ කියලා උපහාස කරයි... අපවාද කරයි!
අන්න ඒ වගේ තමයි බහුතරයක් පිරිස. තවමත් අසා ගත යුත්ත අසා ගෙන නෑ... ඒ නිකම්ම එහෙම වුණා නෙවේ නේ... අසා ගත යුත්තක් ඇති බවට හොයන්නටවත් වුවමනාවක් නැති නිසා තමයි ශ්‍රැතවත් නො වුනේ... අශ්‍රැතවත්! නිරන්තරයෙන් අර්ථයක් නැති... හිස් වැඩ උපද්දමින් කටයුතු කරන්නේ... නමුත් හිතන්නේ ම තමන් “ඇත්ත“ වටහා ගත් හරිම අර්ථවත් වැඩ පිළිවෙලක් කරන්නෙක් කියලයි. පෘතග්ජනයි! මේ අශ්‍රැතවත් පෘතග්ජන බව ඉක්මවන්නට හැකි මැණික් තුන ඇසුරු කරන්නට හිතක් පහල වෙන්නෙත් තමන්ගේ වැඩපිළිවෙල තුල තමන් හිතුවාට වඩා අවුලක් තියෙනවා කියලා දැනුණ දවසටයි. අංශු මාත්‍රයකින් හෝ “මම දන්නවාට වඩා දෙයක් තියෙනවා ද“ කියලා හොයන්න විමසන්න සිතක් පහල වන දිනට මෙන්න මේ තුනුරුවන හමු වෙන්නට පටන් ගන්නවා. ක්‍රම ක්‍රමයෙන් ඒ තුනුරුවන වෙනුවෙන් තමන්ගේ ජීවිතය ම පූජා කරන්නට හැකි තත්වයට පත් වෙන්නේ ඒ ගුණ කඳ... ඒ උතුම් බව හදවතට ම දැනෙන්න පටන් ගන්න නිසයි. සත්‍යාවබෝධය පිණිස ජීවිතය පූජා කරන්නට යොමු වෙන්නේ අන්න එතකොටයි.
එතකම් අශ්‍රැතවත් පෘතග්ජන මානසිකත්වය තුල දිවි පූජා කිරීම තමන්ට අහිමි වූ... නො ලැබූ දේවල්... බලාපොරොත්තු සුන් වීම මුල් කර ගෙනයි සිද්ධ වෙන්නේ. පුංචි, පුංචි ආශ්වාද නො ලැබූ කල... පුංචි, පුංචි බලාපොරොත්තු මහා බලාපොරොත්තු වෙලා හරයක් නැති තත්වයන්ට මහා හරයක් ලැබිලා... සාරවත් දෙයක් ලෙසින් ම දැනිලා... ඒවා ලොකු කර ගෙන සිය දිවි හානි කර ගන්න බහුතරයක් තමයි මේ ලෝකයේ වැඩි වශයෙන්ම ඉන්නේ. ඒක හරියට මේ පැවැත්ම තුල දැක ගන්නට ලැබෙන සාමාන්‍ය දෙයක් වෙලා.
ඒ අතරේ කව්රුන් හෝ ස්ථූපයක් ලඟ මහා වැස්සේ තෙමී ගෙන භාවනා කරනවා නම්... අධික ශීතල හිම කඳු මැද සිත ගැන විමසනවා නම්... පහනක් හිස මත දල්වා ගෙන බෝධියක් වටා යනවා නම්... දණ්ඩ නමස්කාර කරමින් උතුමන් වන්දනා කරමින් කිලෝමීටර් ගණන් වැඳ වැටෙමින් යනවා නම්... වේලක් දෙකක් ආහාරයක් නො ගෙන කුස ගින්නේ භාවනා කරනවා නම්... රෝගයක් හැදුණු කල බෙහෙතක් නොබී ඒ රෝගය ඔස්සේ භාවනාවක් කරන්නට උත්සාහ දරනවා නම්... අව්ව වැස්ස නො බලා තමන්ගේ ශාස්තෘන් වහන්සේ වෙනුවෙන් කියලා හෝ... සත්‍ය සෙවීම පිණිස කියලා හෝ... තෙරුවනට උපහාර පිණිස කියලා හෝ යමක් කරනවා නම්... නොකා නොබී පුංචි හෝ මුදලක් එකතු කරලා හෝ තමන්ගේ සේසත ම හෝ තෙරුවන සිහි කර ගෙන යම් උපහාර පූජාවක් කරන්නට වැය කරනවා නම්...
පුංචි, පුංචි සීනිබෝල රැස් කර ගන්නට ජීවිතය ම කැප කරන ඒ වෙනුවෙන් දිවි තොර කර ගන්නට හෝ තවත් කෙනෙකුගේ ජීවිතයක් නැති කරන්නට වුණත් හැකියාවක් සූදානමක් ඇති බහුතරය කියන්නේ මේ දේවල් “මෝඩ වැඩ“ කියලා. තුනුරුවන නිසාම අසා ගත් පද පේලි අමුණමින් කියනවා “ඕවා අත්ථ කිලමතානුයෝගය, ශරීරයට දැඩි සේ දුක් දීම බුදු වරුන් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ...“ කියලා. අවංකවම දැන් බලන්න ඔබගේ ඇතුලාන්තය දිහා... ඔබත් එවැන්නෙක් ද? ඔබටත් ඒ වගේ “ප්‍රඥාවන්ත, දාර්ශනික අදහස්“ ලෙසින් ඔබ සිතා ගෙන සිටින බොහෝම පටු මානසිකත්වයකින් යුතු අදහස් පහල වෙනවා ද?
ඉතින්, තමන්ගේ කම් සැප විඳීමට ලැදි මානසිකත්වය ගැන මොහොතකටවත් විමසන්නේ නැතිව මඳ පමණින් සියල්ල විඳ ගෙන කටයුතු කලාම ඇති... ඒ තමයි සර්වඥ වූ බුදු වදන යැයි කියමින්... තමන්ටත් නොතේරෙන... තමන් නොදන්නා විෂයයක් දන්නවා යැයි කියවමින් කටයුතු කිරීම අශ්‍රැතවත් පෘතග්ජන මානසිකත්වයක් ඔබටත් තියෙනවද? ඒ මානසිකත්වයේ ස්වභාවය එය බවවත් මේ බහුතරයට අදහසක් නෑ. අදහසක් ගන්න විදියකුත් නැත්තේ, ශ්‍රැතවත් වන්නට... අසා නොගත් යථාර්ථය අසා ගන්නට, තමන් නොදන්නා ගැඹුරක් ඇති බව විමසා දැන ගන්නට... තමන්ට වඩා දන්නා උතුමන් මේ ලෝකයේ ඉන්නා බව පිළිගන්නට... මාන්නයෙන් මොට්ටකමින් වැසුණු සිත් නැවෙන්නට අකමැති නිසයි. ඔබත් එහෙම ද?
ඉතින්, එවැනි අදහස් දරන්නෙකුට මේ ගැන කොතරම් විග්‍රහ කරලා දීලා කතා කලත් ඵලක් නැත්තේ තමන්ට අසා ගත යුතු දේ ඇති බව දැන කන් යොමු කරන තාක්... හදවතට ම මේ විෂයයේ වටිනාකමක් දැනී තුනුරුවන ගැන දැන දැක තමන්ගේ දිවි දෙවැනි කරන්නට සිත් දෙන්නේ නැති නිසාමයි.
ඉතින්, මේ සංසාර චක්‍රයෙන් නිදහස් වීමේ අරමුණින් දිවි දෙවැනි කර කැප වෙන චරිත දුලභයි!!! ඒ වගේ අය දුටු විට, අපහාස උපහාස කරන්නට හෝ ඒ “මෝඩකම්“ යැයි පවසමින් ඒ ජීවිත බේරා ගත යුතු යැයි සිතා කෙසේ හෝ කුමක් හෝ සිදු කර ඒ වැඩපිළිවෙලට බාධා කරමින් කටයුතු කරන්නට හෝ පෙලඹෙනවා නම් ප්‍රවේශමෙන්!!! මේ වගේ බාධා ඇති කරන මානසිකත්වයකට වඩා “මට ඕවා අදාලම නැත... මගේ වැඩක් මම බලාගෙන ඉන්නවා“ කියලා හිතෙන මානසිකත්වය ටිකක් අනතුර අවම කරනවා!
ඉතින් බාධා කරමින් ඇත්ත පෙන්නලා දෙන්න හිතෙනවා නම්... තමන්ගේ වැඩක් බලා ගන්න හිතෙනවා නම් හෝ ඔබට ඔබගේ ගැලවීම පිණිස... විමුක්තිය පිණිස කල හැකි දෙයක් තියේ ද? තියෙනවා!!! ඒ අය කුමන අර්ථයකින් ඒ දේවල් කරනවා දැයි අසා දැන ගන්නට... ඒ අදහස් වටහා ගන්නට මාන්නය පැත්තක තියලා නැවෙන්නට උත්සාහ කරන්න!!!
බොහෝ අවස්ථා වල දී බණ අහන බහුතරයක් තුල පවා මේ තියෙන “අශ්‍රැතවත් පෘතග්ජන“ මානසිකත්වය සැබෑවටම මඟ වඩන්නට... තුනුරුවනට දිවි පුදමින් කටයුතු කරන පිරිසට මහත් බාධාවන් වෙන්නේ මේ ගැඹුර විමසන්නට නැවෙන්නේ නැති නිසාමයි! තෙරුවන උදෙසා දිවි දෙවැනි කරමින් කැප වෙනවා යැයි හැඟෙන යමෙක් දුටු විට පිස්සුවෙන් වගේ ඒ වැඩපිළිවෙල වළක්වන්නට උත්සාහ දරනවා! නොයෙක් ආකාරයෙන් බාධා ඇති කරනවා!
ඉතින්, ඒ වගේ බාධා කරන්නට හිතෙන විට අඩුම තරමේ සිහියේ තබා ගන්න ඔබ මේ වළක්වන්නේ බෝසත් චරිතයක බෝසත් ගමන් මඟ විය හැකි බව. ඔබ ඔය සිනා වෙන්නේ... වළක්වන්නේ... ඔබේ සුළු මාත්‍ර දැනුමෙන් බාධා ඇති කරන්නේ... සම්මා සම්බුද්ධත්වයට පත්වීමට පෙරුම් පුරන මහ බෝසත් චරිතයකට වෙන්න පුළුවන් බව... පසේ බුද්ධත්වය පිණිස පෙරුම් පුරන බෝසත් උතුමෙකුට වෙන්නට පුළුවන් බව... රහත් ඵලය පිණිස... ශ්‍රාවක රත්නයක් වීම පිණිස අප්‍රමාදී විහරණයෙන් යුතු ශ්‍රාවක බෝසතාණන් වහන්සේ කෙනෙකුට වෙන්නට පුළුවන් බව.
අපි දන්නේ බොහෝම ටිකයි මිත්‍රයා... දන්නේ බොහෝම ටිකයි කියලා හදවතට දැනුණ දවසට ඇති වන සැබෑම සත්‍ය ගවේෂණය ආරම්භ වෙනවා! එවැනි සැබෑ අවංක කැප කිරීම් සහිත විමුක්තිකාමි හදවත් ඇති පිරිස අති දුර්ලභයි! ඔබත් එවැනි දුර්ලභ ජීවිතයක් බවට ඔබේ ජීවිතය පත් කර ගන්නට කැප වීම තමයි වැදගත්!!! පින්වත් මිනිසුනේ! ඔය ජීවිතයට සැබෑම වටිනාකමක් දෙන්න! සිතේ වහලෙක් වෙලා පිස්සු නටන උමතු පුද්ගලයෙක් නොවී මේ කිවූ ආකාරයේ දුර්ලභ ජීවිතයක් වෙන්නට කැප වෙන්න උත්සාහ කරන්න!!! ඔබට ජය!!!!
පෙර පිටුවට
නොදකින තුන් බිය
මීළඟ පිටුවට
පාරමිතාව තුල කැපවීම