කැපවීම අවංක ද?

අගෝස්තු 2023 කතු වැකිය

කැපවීම අවංක ද?

සටහනේ අන්තර්ගතය

නිවන් මඟ ගමන් කරන්න උත්සාහ කරන පිරිස අතරේ ඉක්මනින්ම පසු බසින... “ප්‍රතිඵල නෑ!” කියලා ඉක්මනින්ම කලකිරීමට පත් වෙලා නිවන් මඟ කටයුතු අඩාල කර ගන්න හදන පිරිසකුත් ඉන්නවා. ඉතින්, එවැනි සිතිවිලි ඔබටත් පහළ වෙනවා නම් මෙන්න මේ කාරණා ගැනත් සිහියෙන් නුවණින් යුතුව විමසා බැලීම සුදුසු යැයි සිහිපත් කිරීමට මෙවර කතු වැකිය වෙන් කරන්නට සිත් විය.

අපේ ජීවිත වල අපි පාසල් යන්න අවුරුදු 13ක් විතර ගත කලා... අඩුම තරමේ දවස් 365න් දවස් 200ක්වත් අපි පාසල් ගියා නේ නේද?  දවසකට පැය 5ක් 6ක් විතර අදාළ විෂයයන් ඉගෙන ගන්න ගත කලා... අවුරුදු 13 අවසානයේ යම් විෂයයක් කෙරෙහි අපි දුර්වල වුණා නම්... විභාග සමත් වුනේ නැත්නම්... අපි පාසලට හෝ ගුරුවරුන්ට දොස් කියන්න... පැමිණිලි කරන්න කටයුතු කලේ නෑනේ නේද?  මොකද සිහියක් නුවණක් තියෙන පුද්ගලයෙක් නම් දැන ගෙන හිටියා තමන් එසේ අසාර්ථක වුණේ ගුරුවරුන් පෙන්වා දුන්න ආකාරයට කටයුතු කරමින් කැප වුණේ නැති නිසා කියලා.  අපි දැන ගෙන හිටියා අපි කැප වූ තරමට තමයි අපට ප්‍රතිඵල ලැබෙන්නේ කියලා.

මේ විදියට ඔබගේ ජීවිත වල ලෝකයේ යම්, යම් කාරණා සාර්ථක කර ගැනීම පිණිස ඔබ කොතරම් කාලයක් ශ්‍රමයක් යොදවමින් ඒ අදාළ කටයුතු කරමින් කැප වෙනවා ද කියලා බලන්න. 

නමුත් ඉතින්, බණ දහම් අහන... නිවන් මඟ ගමන් කරනවා යැයි පවසන ඔබගෙන් සමහරක් නිතරම පැමිණිලි කරනවා නේ, “කෝ තාම මාර්ග ඵල නැහැනේ... කෝ තාම කිසිවක් ලැබුණේ නැහැනේ... උගන්වනවා හරි නැද්ද කොහෙද... දේශකයා හරි නැද්ද කොහෙද... පින් මදි ද කොහෙද... වැඩක් නෑ... ප්‍රඥාවක් නෑ... අතෑරලා දානවා...” මේ වගේ පැමිණිලි... අඳෝනා ගොඩයි.

දැන් ඔබටත් මෙසේ හිතෙනවා නම් බලන්න ඕන දවසකට කොතරම් අවංකව ම බණ දහම් අහනවා ද කියලා...  සිහියෙන් නුවණින් යුතුව තම තමන්ගේ කටයුතු වලට ඒ අසා ගන්නා බණ දහම් එකතු කරගන්නවා ද කියලා. 

මෙහෙමයි ඉතින්, අවකංවම බණ දහම් අහනවා ද කියලා බලන්න කිව්වාම ඔය වෙන වැඩ කර, කර බණ දහම් වල පටි ගත කිරීමක් අහ ගන්න ඒවයි... නිදා ගන්න යන කොට අහන ඒවයි ලැයිස්තුවට එකතු කර ගන්න එපා.  පාඩමක් කරන කොට වෙන වැඩ කර, කර පසුබිම් කටයුත්තක් වගේ පාඩම් කලේ නෑනේ නේද?  ඒ කියන්නේ හරියට අර පසුබිම් සංගීතයක් දාගෙන වැඩක් කරනවා වගේ.  පිරිත් දාගෙන පිරිත් සජ්ඣායනාවන් නැළවිලි ගීතයක් බවට පත් කර ගෙන නිදා ගන්න යනවා වගේ... මේ වගේ හොර වැඩ කරලා නම් ඉතින් සාර්ථක ප්‍රතිඵල ගන්න බැහැනේ. 

දවසකට හෝ අඩුම තරමේ සතියකට වත් කොතරම් ඔබ සජීවී ව කල්‍යාණ මිත්‍රයෙක් මුහුණට මුහුණ මුණ ගැහිලා ඇසුරු කරන්නට කටයුතු කර ගන්නවද? එසේ මුණ ගැහෙන්නේ මාසයකට සැරයක් නම් ඒ මුණ ගැසෙන වෙලාව තුල කොතරම් කැපවීමෙන් ඒ අදාළ දේවල් වලට සිහියෙන් නුවණින් යුතුව ඇහුම්කන් දෙනවා ද?  ඒ වෙලාවෙත් ගෙදර ගැනයි... කර ගන්න බැරි වූ වැඩ ගැනයි හිත හිතා නම් ඉන්නේ ඒ මාසයකට සැරයක් මුණ ගැහිලා බණ ඇහුවා කියන කාරණයත් හොර ට කරපු වැඩක් ම තමයි.

මේ වගේ තමයි පින් කරනවා කියලා කියනවා.  පින්කමට ගිහින් එතැනට සම්බන්ධ වූ අනෙක් පිරිස ගැන අවධානයෙන් ඉන්නවා... නැත්නම් එතැන තියෙන කෑමක් බීමක් හෝ වෙනත් තමන් ආසා කරන ද්‍රව්‍ය වස්තුවක් හෝ යම් තත්වයක් ගැන අවධානයෙන් ඉන්නවා... පින්කම කලබලයෙන් කරලා ඉක්මනට යන්න බලා ගෙන ඉන්නවා... මේ වගේ එතැනත් හොර වැඩ ම තමයි. 

භාවනා කරන්න ගියත් එච්චර තමයි... එක්කෝ නිදි භාවනාව... එහෙමත් නැත්නම් වෙනත් අතීත හෝ අනාගත කටයුතු සිහි කරමින් ඉන්නවා... නැත්නම් වෙනම හීන ලෝක වල හිර වෙලා වගේ තම තමන්ගේ සිතිවිලි සමුදායක අතරමං වෙලා ඉන්නවා... ඉතින් කියනවා දවසකට මෙතරම් වෙලා භාවනා කලා කියලා. 

ඉතින්, දැන් තේරෙනවා ද මේ විදියට හොර වැඩ කරමින් ඒ ගැන සිහියෙන් නුවණින් වටහා ගන්නවා වෙනුවට අපි මොකද කරන්නේ?  මේ සියලු කටයුතු තමන්ගේ කැපවීමෙන් යුතුව නිවන් මඟට යොමු වූ කාලය ලෙසින් එකතු කර ගෙන “කෝ ප්‍රතිඵල නෑනේ!” කියනවා.  ප්‍රතිඵල ලැබුනොත් තමයි ඉතින් පුදුමේ!

ඒ නිසා පින්වත් ඔබට කියන්නේ කැප වෙන්න.  අවංකව ම තම තමන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කර ගන්නට කැප වෙන්න.  බුදු හිමියන්ගේ කාලයේ ගිහි පැවිදි දෙපාර්ශවයම මාර්ග ඵල ලබා ගත් බහුතරයක් බවට පත් වුණේ ඒ අයගේ කැප වීම අවංකව ම සිදු වූ නිසයි.  ගිහි පාර්ශවයේ බහුතරයක් පිරිස තම තමන්ගේ ලෞකික වැඩ වලට ප්‍රධාන තැන දුන්නේ නෑ.  කල්‍යාණ මිත්‍ර ආශ්‍රයේ දවස වැඩිපුර ගත කර ගන්නට තමයි කැප වුනේ.  පින්කම් කලේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මුදුන් පත් වන ආකාරයටමයි.  මේ දේවල් වටහා ගෙන කැප වෙන්න.... අවංකව කැප වෙන්න!  වරදින්නේ නෑ!!! එහෙම වරදින ශාසනයක් නෙවේ සම්මා සම්බුද්ධ ශාසනයක කියන්නේ!  නමුත් ඔබ සම්බුද්ධ ශාසනයක විය යුතු දේ වෙනුවට තම තමන්ට රිසි දේ අනුව යමින්, තම තමන්ට පහසු දේ අනුව යමින් වෙනත්, වෙනත් වූ දෑ කරනවා නම් ඔබට වරදින්නේ ඔබගේ කැප වීම වරදවා ගත් නිසාමයි කියන දේ සිහියෙන් නුවණින් යුතුව වටහා ගැනීම ඔබට භාරයි!!!

මහ අන්ධකාරයේ පාරේ යන කොට අඳුර ඇති තැනක ඔබගේ වටිනා යමක් වැටෙනවා.  ආලෝකයක් සොයා ගෙන වැටුණ තැන ඒ වටිනා දේ සොයනවා වෙනුවට ඔබට එතැනින් ටිකක් එහායින් පෙනෙන පහන් කණුවක් යට වැටුණ දේ සොයනවා නම් ඔබට එය කවදාවත් ලැබේවි ද?  නමුත්, ඔබට තර්ක කරන්න පුළුවන්... “මම හෙව්වා... මම කැප වුණා... මම කාලය යෙදෙව්වා... මම ශ්‍රමය වැය කලා...” කියලා.  ඉතින්, ප්‍රඥාවන්ත ඔබට මේ උපමාවත් ඇති ඔබගේ කටයුතු විනිවිද දකිමින් නිවැරදිව නිවන් මඟ කළ එළි කර ගන්නට!  තෙරුවන් සරණ ලැබ නිවී සැනසෙත්වා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා