හිසේ ගිනි ඇවිලෙතේ...

මැයි 2013 කතු වැකිය

හිසේ ගිනි ඇවිලෙතේ...

සටහනේ අන්තර්ගතය

මෙවර කතු වැකිය තුලින් ධර්මය තුල තිබෙන අපූරු උපමාවක් තුලින් ගැඹුරු අර්ථයක් මතුකරගෙන තම තමන්ගේ යහපත පිණිස විශේෂයෙන්ම අප්‍රමාදීබව පිණිස යොදාගන්නට හැකිවන ආකාරයට කෙටියෙන් විග්‍රහ කරන්නට සිතුණා.

අප මහා සම්මා සම්බුදු හිමියන් විසින් විටෙක මෙන්න මෙසේ පවසනවා... "මහණෙනි, ගිනි ඇවිළ ගත් පිළි ඇතියේ වේවයි, ගිනි ඇවිළ ගත් හිස ඇතියේ වේවයි, ඒ පිළි හෝ ඒ හිස නිවීම සඳහා ඡන්දයත් ව්‍යායාමයත් උත්සාහයත් මහත් උත්සාහයත් පසුනොබැසීමත් සිහියත් නුවණත් යම් පරිදි කෙරේ නම්, මහණෙනි ඒ පරිදිම මහණහු විසින් එ ලමු අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්දයත් ව්‍යායාමයත් උත්සාහයත් මහත් උත්සාහයත් පසුනොබැසීමත් සිහියත් නුවණත් හා කටයුතුය"

තවත් අවස්ථාව බුදු පියාණන්වහන්සේ මෙන්න මේ ආකාරයේ අවවාදයක් දෙනවා...

"මිනිසුන්ගේ ආයුෂ ස්වල්පය.  යහපත් පුරුෂ තෙම එය පිළිකුල් කරන්නේය.  හිස ගිනි ගත්තහු මෙන් හැසිරෙන්නේය"

යම් පුද්ගලයෙක් හිතන්නකෝ ඔබ කියලා... ඔබේ ඇඳුම් හෝ වේවා හිස හෝ වේවා ගිනි ගත් විට ඒ ගිනි නිවන්නට අප්‍රමාණ උත්සාහයක් දරනවා එහෙම නේද?  ඇයි ඒ?  මම නම් එහෙම කරන්නේ මට තවමත් ජීවත් වෙන්නට පවතින්නට ආශාවක් තියෙන නිසාමයි.

මෙන්න මේ පවතින්නට තිබෙන ආශාව නිසාම කැමැත්ත නිසාම ඇඳුම් හෝ වේවා හිස හෝ වේවා ගිනිගත් පුද්ගලයා ඒ ගිනි නිවාගන්නට බොහෝම කැමැත්තෙන් වෑයම් කරමින් උත්සාහ කරමින් මහත් සේ උත්සාහ කරමින් මොහොතක්වත් පසු බසින්නේ නැතිව සිහියෙන් නුවණින් යුක්තව කටයුතු වහ වහා කටයුතු කරනවා එහෙම නේද? 

සිහියෙන් නුවණින් යුක්තව කියලා කියන්නේ ගින්න කුමකින් ඇවිලුණාද කියලා තමන් එය නිවන්නට ඒ අනුවනේ නිවීමේ ද්‍රව්‍ය යොදන්නේ... ඉතින් සිහියත් නුවණත් යොදවා තමයි ගින්න නිවාගන්නට උපරිම උත්සාහ දරන්නේ එහෙම නේද?

අපි එදිනෙදා ජීවිතයේදී බොහෝම හදිසි අවස්ථාවකදී කව්රු හරි අනවශ්‍ය විදියට ඒ වෙලාවට අදාල නැති දෙයක් එහෙම කතා කලොත් එහෙමත් නැතිනම් වෙන වැඩක් එහෙම කිව්වොත්  සමහර විට කියනවා "අනේ!!! මගේ මේ ඔළුව ගිනි අරගෙන ඉන්නවා...මෙයා මෙහෙම කියනවා... " කියලා ඒ පුද්ගලයාට බැන වදින්නට උනත් පුළුවන් එහෙමනේද?

ඉතින් ඇයි මේ පැවැත්ම නැවැත්ම උදෙසා මෙච්චර හදිස්සියක් නැත්තේ?  පැවැත්ම හොඳයි වගේ වටිනවා වගේ සාරයි වගේ හිතනවා ඇතිනේ එහෙම නේද? 

හිස ගිනි ගන්නා උදාහරණයෙන්ම සිතා බලන්නකෝ.  හිසක් තිබෙන නිසානේ මේ ගිනි ගැනීමට ලක්වෙන්නේ... ඒ ගින්න බාහිර ගින්නක් වෙන්නත් පුළුවන් එහෙමත් නැතිනම් අර මම කිව්වා වගේ බොහෝම වැඩ රාජකාරි නිසාවෙන් වෙනත් ගැටලුවක් නිසාවෙන් මානසිකව ඇතිවෙච්ච ගින්දරක් වෙන්නත් පුළුවන්.  දැන් මේ පැවැත්මට ඇති ආශාව නිසාම නැවත නැවත ඒ ආශ්වාදයන් ලබන්නට හැකි හිසක් ඒ කියන්නේ ඇස, කණ, දිව, නාසය, කය සහ මනකින් යුක්ත එකතුවක් ප්‍රාර්ථනා කරනවාද නැත්ද? 

එසේ පැතුවත් නැතත් රූප බලන්න, ශබ්ද අහන්න, ගන්ධයන් රස ස්පර්ශ විඳින්න තියෙන කැමැත්ත ආශාව තියෙන තාක් ඒවා ලැබගන්නට අවශ්‍ය කරන ඉන්ද්‍රියයන් වන ඇස, කණ, දිව, නාසය, කය කියන එකතුව ලැබෙනවා.  ඒ එකතුව තියෙන තාක් ඒ එකතුව නිසාවෙන් මන තුල ඇතිවන ගිනිත් තියෙනවා. 

දැන් ඉතින් ගිනි පතමින් ගිනි නිවාගන්නට බාහිරව උත්සාහ දැරුවාය කියලා ඵලක් වෙන්නේ නෑ.  එයිට වඩා හොඳයි ඇවිලෙන හිසේ ගින්න නිවාගන්න එක පැත්තක තියලා මේ ගිනි සියල්ලම නිවාගන්නා ස්ථිර පිළියම හෙවත් නිර්වාණය පිණිස වෙහෙස මහන්සි වී වීර්ය සිහිය නුවණ පාවිච්චි කරලා අප්‍රමාදී වෙන එක.  එවිට නැවත නැවත සසරේ ගිනි ගන්නට හිසක් නැතිවෙනවා.  මේ පැවැත්ම අවසන් කරගන්නට හැකිවෙනවා.  ඒ කියන්නෙ අනන්ත දුක් රැසක් අවසානයි කියන එකයි.

ඉතින් ඔබ ඔබගැනම සිතා බලන්න.  විමසා බලන්න.  හිස ගිනි ගන්නා විට එය නිවාගන්න දරන තරම් අප්‍රමාදයක් උත්සාහයක් ඔබට මේ සසර දුක් කෙලවර කරගන්නට තිබෙනවාද? කියලා... තව ටිකක්... තව ටිකක්... කියමින් ආශ්වාද මාත්‍රයක් පසුපස යන්නට තරම් සුදුසු පැවැත්මකද ඔබ ඉන්නේ කියලා ඔබ දන්නා ඇසුරු කරන ධර්මයක් භාවිතා කරලා සොයාගන්නට උත්සාහ කරන්න... නිවිමේ ධර්මය ඔබතුල මතු කරගන්නට උත්සාහ ගන්න... එවිට මේ අප්‍රමාදී බව ඔබතුලට ලංකරගන්නට ඔබට හැකිවේවි.

"මේ සසර මෙතරම් භයංකරයි... මේ පැවැත්ම බොහෝ දුක් අසහනයන්ගෙන් යුක්තයි... මගේ මේ හිස ගිනි අරගෙන ඉන්නවා මෙයා මට ඇලෙන්න බැදෙන්න ගැටෙන්න කියනවා මේ පැවැත්ම හොඳයි හොඳයි කියලා භාරගන්න කියනවා" කියලා මොහොතකටවත් ඇලෙන බැදෙන සිතට ඔබ විසින් කියන්නට තරවටු කරන්නට අප්‍රමාදීව ඒ සිත ශුද්ධ කරගන්නට ඔබ උනන්දු වෙලා යොමුවෙලා තියෙනවාද?

නිරන්තරයෙන් මේ හිස ගිනි ගෙන ඇතිබව බුද්ධිමත් ඔබ විසින් තෝරාගත යුතුයි.  රාග ගින්නෙන් ද්වේශ ගින්නෙන් මෝහ ගින්නෙන් ඇවිලෙමින් තියෙන මේ හිසේ ගින්න නිවාගන්නට ඔබ ඒ ගිනි දැකිය යුතුයි.  වහ වහා ඔබේ ඇවිලී ඇති හිස නිවාගන්නට මේ දහම දමන්නට උත්සූක වන්න!!! 

සැබෑවටම ඔබේ හිස ගිනි ගෙන ඇති බැවින් ඒ බව වටහාගෙන ඒ හිස ගිනි ගත්තෙකු මෙන් හැසිරී වහ වහ ඒ රාග ගිනි නිවාගැනීමට ද්වේශ ගිනි නිවාගැනීමට මෝහ ගිනි නිවාගැනීමට අප්‍රමාදීවෙන්නට උත්සාහ දරන්න!!!  නැතිනම් විනාශ වෙන්නේ තමන්ම නොවේදැයි බුද්ධිමත්ව විමර්ශනය කොට දැනගන්න!!!  තම තමන්ගේ ගිනි නිවන්නට කව්රුවත් නැත!  ඒ ගිනි නිවාගත යුත්තේ තමන්මය!!

ඉතින් දැන් අප්‍රමාදීවන්නට කාලය නොවේදැයි තමන්ගෙන්ම විමසා දැනගන්න!!! තෙරුවණේ ආශිර්වාදය ලැබ සියලු ගිනි නිවේවායි මෙත් සිතින් නිති පතමි!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා