අනතුරුදායක කලබලය

නොවැම්බර් 2024 කතු වැකිය

අනතුරුදායක කලබලය

සටහනේ අන්තර්ගතය

සම්මා සම්බුද්ධ ශාසනය ගිලිහෙන්නට මත්තෙන් අප්‍රමාදීව කටයුතු කර ගත යුතු යැයි පවසන විට, එය කොතරම් විස්තර විග්‍රහ කර දුන්නත්, බොහෝ දෙනෙක් ඒ වචන පද තුල ඇති අදහස උකහා ගන්නට දක්ෂ වෙන්නේ නැති බව දැක ගන්නට තිබෙනවා. අප්‍රමාදී වීම කියන්නේ කලබලයක් ඇති කර ගෙන ඉක්මනින් ඵලයක් බලාපොරොත්තුවෙන් කටයුතු කර ගැනීම කියලා තමයි බහුතරයක් පිරිසට දැනෙන්නේ. නිවන් මඟ කළ එළි කර ගන්නවා වෙනුවට අවුලෙන් අවුලකට පත් වෙමින් තමනුත් නොදැනීම මේ ශාසනය ද මඟ හැර ගනිමින් පවතිනවා!

මේ කියන කලබල කාරයෝ මොකද කරන්නේ?  බලන්න ඔබත් මේ ගොඩේ ද කියලා?  ත්‍රිපිටකයේත් තියෙන ගැඹුරුම බණ ටික අහ ගන්න උත්සාහවන්ත වෙනවා... භාවනා වලිනුත් ඇති ගැඹුරුතම භාවනාවන් කරන්නට උත්සාහ කරනවා... බුදු හිමියන් විසින් යමක් අග්‍ර යැයි දක්වා තිබෙනවා නම් අන්න ඒ අග්‍රතම කොටස මුලින්ම, ඉක්මනින්ම කර ගන්නට උත්සාහ කරනවා... මේ වගේ මහා කලබලයක් කර ගෙන අවසානයේ විය යුතු දේ වෙනුවට නොවිය යුතු දෙයක් ම සිද්ධ වෙනවා!!! බහුලව ම දැක ගන්නට තිබෙන වරදවා ගත් දහම් කොටසක් අනුසාරයෙන් මේ ගැන පැහැදිලි කරලා දෙන්නට උත්සාහයක් දරන්නම් කෝ!  ‍ත්‍රිපිටක ධර්මය තුල ඇති වේලාම සූත්‍රය, දක්ඛිණාවිභංග සූත්‍රය ආදී සූත්‍ර දේශනා කියවන විට ඔබට සිතට නැඟෙන අදහස මොකක්ද කියලා බලන්න!

දක්ඛිණාවිභංග සූත්‍රය තුල තිබෙනවා පුද්ගලිකව කෙනෙක් අරමුණු කරලා දෙන දාන වර්ග දහ හතරක් (14) ගැන.  ඒ තමයි;

  1. තිරිසන් සතුන් උදෙසා දෙන දාන
  2. පෘතග්ජන වූ දුශ්ශීල වූ පුද්ගලයන් උදෙසා දෙන දාන
  3. පෘතග්ජන වූ සිල්වත් වූ පුද්ගලයන් උදෙසා දෙන දාන
  4. දැහැන් ආදිය වඩන කාමයෙන් වෙන් වී භාවනා ආදිය කරන තාපසයන් උදෙසා දෙන දාන
  5. සෝවාන් මාර්ග අනුගාමිකත්වයට පත් වූ ආර්ය පුද්ගලයන් උදෙසා දෙන දාන
  6. සෝවාන් ඵලයට පත් වූ ආර්ය පුද්ගලයන් උදෙසා දෙන දාන
  7. සකෘදාගාමී මාර්ග අනුගාමිකත්වයට පත් වූ ආර්ය පුද්ගලයන් උදෙසා දෙන දාන
  8. සකෘදාගාමී ඵලයට පත් වූ ආර්ය පුද්ගලයන් උදෙසා දෙන දාන
  9. අනාගාමී මාර්ග අනුගාමිකත්වයට පත් වූ ආර්ය පුද්ගලයන් උදෙසා දෙන දාන
  10. අනාගාමී ඵලයට පත් වූ ආර්ය පුද්ගලයන් උදෙසා දෙන දාන
  11. රහත් මාර්ග අනුගාමිකත්වයට පත් වූ ආර්ය පුද්ගලයන් උදෙසා දෙන දාන
  12. රහත් ඵලයට පත් වූ ආර්ය පුද්ගලයන් උදෙසා දෙන දාන
  13. පසේ බුදු රජාණන් වහන්සේලා උදෙසා දෙන දාන
  14. සම්මා සම්බුදු රජාණන් වහන්සේලා උදෙසා දෙන දාන.

ඉතින් අපගේ සම්බුදු පිය රජුන් මේ දාන 14 ගැන දක්වා පවසනවා, තිරිසන් සතුන්ට දෙන දානයට වඩා පෘතග්ජන දුශ්ශීල වූ පුද්ගලයන්ට දෙන දානය අග්‍රයි කියලා.  ඒ වගේ එකින් එක පෙන්වා දෙමින් මේ සියල්ලට ම වඩා සම්මා සම්බුදු රජාණන් වහන්සේලා අරමුණු කර ගෙන දෙන දානය පුද්ගලිකව කෙනෙක් අරමුණු කරලා දෙන දාන වර්ග අතුරින් අග්‍රයි කියලා පෙන්නලා දෙනවා.  ඒ කියන්නේ පුද්ගලත්වයක් අරමුණු කරනවා නම් ඉන්න උත්කෘෂ්ඨම අග්‍රතම පුද්ගලත්වය තමයි සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ.   ඉතින්, “ආර්ය සංඝ රත්නය“ ලෙසින් අතීතයේ, වර්තමානයේ, අනාගතයේ වැඩ සිටින උත්තම සංඝ රත්නය අරමුණු කර ගෙන දානයක් දෙනවා නම්  පෙර කිවූ දහ හතර ආකාරයෙන් පුද්ගලිකව කෙනෙක් අරමුණු කරලා දානයක් දෙනවාට වඩා උත්කෘෂ්ඨයි... අග්‍රයි... ආනිශංස වැඩියි කියලා පෙන්නලා දුන්නා.  ආර්ය සංඝ රත්නය කිව්වාම අර පෙර කිවූ සම්මා සම්බුද්ධ රත්නය කියන අග්‍රතම පුද්ගලත්වයත් ඒ තුලට එකතු වෙනවා. 

ඉතින්, මේ කියන කාරණයේ ගැඹුර දැක ගන්නට අප අදක්ෂ වූ විට අපට මේ දේවල් පේන්නේ ක්‍රියාකාරකම් ටිකක් වගේ විතරයි.  අපිට හිතෙන්න පුළුවන් දන් දෙන ක්‍රියාකාරකම් 14ක් පෙන්නලා තියෙනවා.  ඒවා තුලින් ලැබිය හැකි ඵලය පෙන්නලා තියෙනවා.  ඒවායෙන් වැඩිම ඵලය ලැබෙන එක අපට තෝරා ගන්න පුළුවන් කියලා වගේ අදහසක්.  නමුත් තථාගතයන් වහන්සේ නමක් පෙන්නලා දෙන්නේ ඉතාමත් ගැඹුරු වූ ධර්මයක්.  ඒ අදහස උකහා ගන්නට අප ප්‍රඥාවන්ත විය යුතුයි. 

මේ පුද්ගලිකව අරමුණු කරලා දෙන දාන වර්ග 14 ඔස්සේ අපගේ සර්වඥයන් වහන්සේ පෙන්වා දෙන්නේ අපගේ පටු කෙලෙස් සහගත වූ මානසිකත්වයේ ස්වභාවය ගැනයි.  ඒ, ඒ මට්ටම් වල දී ඒ කෙලෙස් සහගත මානසිකත්වය දක්ෂ වෙන්නේ මේ කිවූ ආකාරයෙන් පුද්ගලිකව අරමුණු කරන්නට විතරයි!

ටිකක් හිතන්න, යමක් අතහැර ගන්න බැරි ම කිසිවක් නොදෙන දස වස්තුක වූ මිත්‍යා දෘෂ්ටික මානසිකත්වයට වඩා යමෙකුට යමක් දුන්නා ම එය යහපත් ය, යහපත් ඵලයක් තියෙනවා ය කියලා දැන අවබෝධයෙන් දීම තුල ඒ මානසිකත්වයේ වැඩීමක් තියෙනවා.  නමුත් තවමත් එය මූලික මට්ටමේ වර්ධනයක් පමණයි.  ඒ වර්ධන මට්ටම් දියුණු වන ආකාරය තමයි පුද්ගලික දාන අවස්ථා 14කින් පෙන්වා දෙන්නේ.  තිරිසන් සත්වයා පුද්ගලිකව අරමුණු වෙන තැන මිනිසුන් අරමුණු වෙන්න තරම් දක්ෂ නෑ.  මිනිසුන් අතරත් යාචකයාට දීම වඩා හොඳයි තාපසයාට වඩා කියලා හිතෙන තැන ඒ තියෙන්නේ මානසිකත්වයේ ඇති අදක්ෂකම.  මේ වගේ තමයි ඒ කාරණා 14 ඔස්සේ මානසිකත්වයේ දියුණුව හඳුනා ගන්නට ඕන.  මේ පුද්ගලිකත්වයක් පමණක් අරමුණු වෙන පටු මානසිකත්වයෙන් මිදී පුළුල් වූ මානසික මට්ටමක් ලැබීම තමයි “ආර්ය සංඝ රත්නය“ අරමුණු කර ගෙන දෙන දානයක් දීමට හැකි මානසිකත්වය තුලින් පෙන්වා දෙන්නේ. 

ඉතාමත් දුශ්ශීල චීවරයක් වෙනුවට කහ නූලක් දරන තැනට ම සීලය පිරිහුණා වූ තමන් භික්ෂුවක් ලෙසින් පවසන්නෙකුට පවා, මේ ආකාරයෙන් බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නය අරමුණු කර යමක් දෙන්නට හැකි නම් ඒ තුලින් ද ඒ කිවූ අග්‍ර වූ උත්කෘෂ්ඨ ඵල ලැබෙනවා කියලා පෙන්වා දුන්නේ අන්න ඒ නිසයි! මොකද මානසිකත්වය ඉතාමත් පුළුල් වෙලා.  තමන් ඉදිරියේ ලැබෙන අරමුණ තුල පුද්ගලිකව යැපෙමින්, බාහිර වූ කාරණා රැසක් මත යැපෙන ස්වභාවයක් නෙවේ ඒ තුල තිබෙන්නේ.  භෞතික තත්වය ඉක්මවා ගොස් මහත් වූ වපසරියක් විනිවිද යෑමට තරම් කුසලතාවයක් දියුණු වෙලා!  

ඉතින්, වේලාම සූත්‍රය ආදී සූත්‍ර දේශනා තුල මේ ගැඹුරු අදහස සහ එහි වපසරිය, ගැබ් වන අර්ථය තවත් විග්‍රහ කර දී පෙන්වා දෙනවා.  ඒ පුද්ගලිකත්වයක් හා බැඳුණු පටු මානසිකත්වය විවර වී... විවෘත වූ මනසකින් යුතු කුසලතාවයක් සකස් වූ මානසිකත්වයක ස්වභාවය ඒ තුල තව දුරටත් පෙන්වා දෙනවා.  ඇයි දන්නවද? මේ “දානය...“ “දීම...“ ආදී කියන මේ කියන කාරණය තුල ගැබ් වෙලා තියෙන්නේ යමෙක් තුල අවබෝධයෙන් සකස් වන අරමුණක් ඔස්සේ  නො ඇලීමේ... අතහැරීමේ... මිදීමේ ස්වභාවයයි!  ඒ ස්වභාවය ක්‍රම ක්‍රමයෙන් දියුණු වෙන ආකාරය තමයි තවත් ආකාරයකින් මේ කාරණා 14කින් පෙන්වා දෙන්නේ.  නමුත් එහි දී අනවබෝධය නිසා පුද්ගලිකත්වයක් මූලික වන ආකාරයත්, ඒ තුල නැවත පෙරලා තමන් වෙත ඵලයක් බලාපොරොත්තු වන ස්වභාවයත්, ඉන් පසු ඒ තත්ව ඉක්මවා යෑම තුල ලැබෙන අග්‍ර ඵලය ගැනත් තමයි මේ පෙන්වා දෙන්නේ. 

එතැනත් ඉක්මවා ගොස් මේ මානසිකත්වය තුන් කල් වැඩ වසන සංඝයා උදෙසා වෙහෙර විහාර කරවන තැනට පත් වෙනවා, මේ නො ඇලීමේ ස්වභාවය... අතහැරීමේ ස්වභාවය... මිදීමේ ස්වභාවය අර පෙර කිවූ සියල්ලට වඩා අග්‍රයි කියනවා.  බලන්න එතැන තුන් කල් වැඩ වසන සංඝයා කියන විට දැක්ම පුළුල් වෙලා... පුද්ගලිකත්වයට හෝ තමන්ගේ ඉදිරියේ ඉන්න සීමාවෙන් නතර වෙලා නෑ!

මේ ආකාරයෙන් ගුණ වැඩෙන පුද්ගලයා තුල මේ අතහැරීම දැන් ප්‍රගුණ වෙලා පැවැත්මෙන් ඉවත් වීමේ තැනට ම.  අන්න ඒ අනුව ඇහුම්කන් දීම උපරිම වෙලා තෙරුවන් සරණ යනවා.  අන්න, යමෙක් මේ පැවැත්මම අවබෝධයෙන් තෙරුවන් සරණ යනවා නම් මේ හැම කාරණයකට වඩා අග්‍රයි කියලා ඒ අර්ථයෙන් පෙන්නුවා.  මේ කියන්නේ සෝතාපන්න ආදී ආර්ය භූමියට පත් වීම ගැනයි.  විමුක්තිය මුල් කර ගත්ත මානසිකත්වයක් සකස් වුණේ අර තමන් තුල ප්‍රගුණ වූ කුසලතාවය තුලින්මයි!  කව්රුවත් කිව්ව නිසා අග්‍ර දේ සොයා ගෙන කලා නොවේ. ගුණ දහම් සහිත කුසලතාවයක් ඇති දියුණු මානසිකත්වයක් ගැනයි මේ කියන්නේ.

පැවැත්මෙන් ඉවත් වීම පිණිස ශික්ෂාවක් ඇති කර ගන්නේ දැන් මෙන්න මේ ආර්ය ශ්‍රාවකයායි.  ඒ අයට ඒවා නිකම්ම නිකම් ශික්ෂා පද ටිකක් නෙවේ.  සිත, කය, වචනය සංවරත්වයට පත් කර ගන්නේ මේ පැවැත්ම අවසන් කර ගැනීම පිණිසමයි!  අන්න ඒ නිසා යමෙක් නො ඇලීම - අතහැරීම - මිදීම මුල් කර ගෙන ශික්ෂාවකට පත් වෙමින් ශික්ෂා පද සමාදන් ව රකිනවා නම් පෙර කිවූ සියල්ලටම වඩා අග්‍රයි කියලා පෙන්නුවා.  තිරිසන් සතෙකුටවත් කන්න ටිකක් දෙන්න හිතක් පහල වෙන්නේ නැතුව කෙනෙකුට හිතෙනවා නම් “මම හොඳට ශික්ෂා පද රැක ගෙන ඉන්නවා... පන්සිල් රැක ගෙන ඉන්න කාටවත් කරදරයක් නැති කෙනෙක් ය“ කියලා ඒ තැනැත්තාට වැරදිලා.  “මම“ කියන තත්වය ගැන කිසිම අවබෝධයක් නැතිව වරදවා ගත් අදහසකට කොටු වෙලා. ඒ අර්ථයෙන් ඒ තැනැත්තා මිත්‍යා දෘෂ්ඨියක ඉන්නවා කියලා තමයි කියන්න වෙන්නේ. 

දැන් මේ ආර්ය ශ්‍රාවකයා කියන්නේ සියලු ආකාරයෙන් දෘෂ්ඨි විනිවිද දැක්ක... අනිච්ච දුක්ඛ අනත්ත කියන්නා වූ යථා ආකාරය විනිවිද දැක්ක දර්ශන භූමියට පත් වූ භාවනා භූමියේ ප්‍රගුණ වෙන සැබෑම ආර්ය ශ්‍රාවකයෙක්.  ඒ තැනැත්තා තුල නැඟෙන්නේ දුක්ඛ සංඥාව විනිවිද දැකීමෙන් නැඟෙන ප්‍රමාණ කල නොහැකි මෛත්‍රී සහගත වූ කරුණා සහගත වූ මුදිතාව සකස් වූ උපේක්ෂා සහගත වූ සිතක්.  ආර්ය මෛත්‍රිය කියලාත් කියනවා.  අප්පණිහිත සමාධිය කියලත් කියනවා.  යමක සුවඳ බලන මොහොතක් තරම් හෝ කාලයක් මෙන්න මේ ආකාරයේ මෙත් සිත යමෙක් තුල වැඩෙනවා නම් එය ඔය පෙර කිවූ අවස්ථා සියල්ලටම වඩා අග්‍රයි කියලා කියනවා.  සම්මා සම්බුදු කෙනෙක් බුද්ධ ශාසනයක දී මතු කර පෙන්වා දෙන මේ මෛත්‍රිය දන්නේ නැති බහුතරයක් පිරිස හිතන්නේ බුදු හිමියන් මෙත් සිත වැඩීම අග්‍රයි කියලා පෙන්නුවේ තමන් දන්න පෘතග්ජන මෙත් සිත ගැනයි කියලයි.
දැන් ඉතින්, මේ කිවූ අප්පණිහිත සමාධිය තනිවම එන සමාධියක් නෙවේ.  අනිච්ච, දුක්ඛ අනත්ථ සංඥා අවබෝධය තුලින් ම නැඟෙන සමාධියක්.  ලෝකය ලෙසින් අවිද්‍යාව ම මුල් වී සකස් වෙමින් පහල වන කිසිවක් තුල යැපෙන්නට නොහැකියි කියන ඥානය ඔස්සේ සංඛත වූ පටිච්ච සමුප්පන්න වූ යථා ආකාරය විනිවිද දකිමින් දකින අනිච්ච සංඥාව තුල අනිමිත්ත සමාධිය සකස් වෙනවා.  ඇසුරක් ගහන මොහොතක් හෝ අනිච්ච සංඥාව සකස් වෙන මොහොතක් කියන්නේ ඒ තුල දුක්ඛ සංඥාව දැකීමෙන් ඇති වන අප්පණිහිත සමාධියත් අනත්ත සංඥාව දැකීමෙන් ඇතිවන සුඤ්ඤත සමාධියත් යන සමාධි සකස් වෙනවා.  සරලවම මුළු සසර පැවැත්ම ම නවතා දැමූ මොහොතක්!  මේ ආකාරයෙන් මේ සමාධි මට්ටම් ප්‍රගුණ වෙමින් පූර්ණය වීම කියන්නේ රහත් ඵලය පූර්ණය වීමටයි.  ඉතින් යමෙක් ඇසුරක් ගහන මොහොතක කාලයක් හෝ වේවා මේ උත්කෘෂ්ඨ ආර්ය සමාධි සකස් වෙනවා කියන්නේ ඒ තැනැත්තාට විමුක්තිය බොහෝ දුර නෑ කියන එකයි!  අප්‍රමාදී ශ්‍රාවකයෙක් කියන එකයි! නො ඇලීමෙන්, අතහැරීමෙන් සසරෙන්ම මිදුණ මොහොතක් ස්පර්ශ කරන අවස්ථාව හැම දේකටම වඩා අග්‍රයිනේන්නම්!

ඉතින්, තිරිසන් සතෙකුට කන්න ටිකක් දීලා ආරම්භ වුනේ දස වස්තුක වූ ලෞකික සම්මා දිට්ඨික මාර්ගය නම්... ඒ තුල ක්‍රම ක්‍රමයෙන් ප්‍රගුණ වූ කුසල සිත නතර වෙන්නේ ලෝකෝත්තර වූ සම්මා දිට්ඨිය ලබා ඒ තුලින් විමුක්තිය හෙවත් නිවන් අවබෝධය පූර්ණය කරල යි!  නමුත්, අප්‍රමාදී වෙනවා වෙනුවට හදිසි වුනොත් මොකද වෙන්නේ?  මේ කියන දහම් කාරණා කිසිවක ගැඹුර වැටහෙන්නේ නෑ! ඇයි? හෙව්වේම වැරදි අර්ථයකින් නේ.  එතකොට සියල්ලට ම වඩා අග්‍රයි කියලා තියෙන එකනේ කර ගන්න ඕන කියලා තමන් හිතා ගත්ත අනිච්ච සංඥාවකින් වාසය කරන්නට උත්සාහ කරනවා. 

අනිච්ච සංඥාවෙන් වාසය කරන පෘතග්ජන පුද්ගලයාට අනිච්ච සංඥාව සහිත විමුක්ති ඤාණය හෙවත් “සසරින් ම මිදුණ ඒ මොහොත ස්පර්ශ වීමක්“ ලැබෙන්නේ නැති බව බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන් දහම් කොටස මේ කලබලය නිසාම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වෙනවා. මඟ හැරෙනවා.  අනිච්ච සංඥාව නිවැරදිව විමුක්තිය පිණිස වූ ඥාන සහිතව වැඩෙන්නේ ආර්ය භූමියට පත් සෝතාපන්න ආදී මාර්ග ඵල ලාභීන්ටයි.  මොකද සසර නොඇලීමෙන්, අතහැරීමෙන් මිදීමට පත් වන ආකාරයේ දර්ශනය ඒ අයට ලැබිලා තියෙන නිසයි ඒ අයට ඒ විමුක්ති ඤාණ දර්ශනය සහ විමුක්තිය ලැබෙන්නේ.  ඒ බුද්ධ දේශනාව විමසන්නට එක්කෝ කලබලය නිසා බැරි වෙනවා.  නැත්නම් මාන්නය නිසා විශ්වාස කර ගෙන ඉන්නවා තමන් දැනටමත් ඒ ආර්ය භූමියට පත් වූ උත්තමයන් වහන්සේලා කියලා.  අදහස් දෙකෙන් ම සිද්ධ වෙන්නේ කර ගත යුත්ත මඟ හැරීම විතරයි කියලා වැටහෙනවද? විමුක්තිය උදෙසා කල යුත්ත පැත්තක තියලා ඒ සඳහා වර්ධනය කර ගත යුතු කුසලතාවයන් පැත්තක තියලා කලබල කාරයෙක් වුණා කියලා නම් ඵලක් වෙන්නේ නෑ! 

කලබලකාරී මානසිකත්වයක් කියන්නේ නීවරණ ධර්ම වලින් වැසුණු මානසිකත්වයක්.  ඒ මානසිකත්වය තුල කෙලෙස් දහම් විමසන්නට අවශ්‍ය කුසලතාවය වර්ධනය වෙන්නේ නෑ!  ඉතින්, මායා ගති... වංචනික ගති... උඩඟු මාන්නාධික ගති... සටකපට වීම්, චපල විසිරුණු සිත් ඇති පුද්ගලයින් වෙලා නවතිනවා. 

අපගේ ශාස්තෘන් වහන්සේ පෙන්වා දෙන්නේ නිවැරදි අවසානයක් ලැබීම පිණිස මාර්ගය මග සලකුණුත් එක්කම නිසි සේ පෙන්වා දුන්නත් හරි හැටි අසා ගන්නේ නැතිව තමන්ට ඕනෑ මාර්ගයක යන පුද්ගලයාට ඒ නිවැරදි අවසානය ලබා ගන්නට නොහැකි වෙනවා සේම තමන් වහන්සේ කොතරම් නිවැරදිව මුල මැද අග කළණව දහම් පෙන්වා දුන්නත් සමහර පිරිස නිවීමට පත් වෙන්නේ නෑ කියලයි! ඉතින් ඒ විහින් පත් වන අවුලට නම් සර්වඥයන් වහන්සේට පවා කරන්නට දෙයක් නැති බව තමයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ!

ඉතින්, මේ ඉතාමත් දීර්ඝව විස්තර විය යුතු දහම් කොටස් පුළුවන් උපරිමයෙන් කෙටියෙන් පෙන්වා දුන්නේ ඉතාමත් ගැඹුරින් විමසන්නට ඕන දහම් කොටසක් නිසාමයි. මේ සම්බන්ධයෙන් ප්‍රායෝගිකව තමන් ව විමසා බලන්නට ඉදිරි කතු වැකිය ඔස්සේ පෙන්වා දෙන්නට උත්සාහ කරන්නම්!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා