ඔහේ පාවෙන ජීවිත!!!

සැප්තැම්බර් 2020 කතු වැකිය

ඔහේ පාවෙන ජීවිත!!!

සටහනේ අන්තර්ගතය

වාසනාවකට ලැබුණ විමසිලිමත් බවක් නිසාවෙන් මගේ ජීවිත කාලය තුල බොහෝ දේ විමසන්නට පෙළඹුනා. අන්න ඒ විමසිලිමත් බව නිසා ම, අනන්තවත් වැටී වැටී නැවතත් නැඟිටිමින් නැවතත් වැටෙමින් පා තැබූ මහා අගාධයකින් ගොඩ යන්නට ලැබිය හැකි විසඳුම ලබා ගන්නට මට හැකි වූ බවට මා විශ්වාස කරනවා. අනතුරු ඇඟවීම් හඳුනා ගන්නට තරම් නුවණක්... ශක්තියක් මෙන්ම ඒ අනුව කටයුතු කරන්නට ධෛර්යයක් තිබීම ගැනත් මා සතුටු වෙනවා.

බාහිර ලෝකයෙන් වීරයන් සොයන... බාහිර ලෝකයෙන් ගැලවුම් කාරයන් සොයන... බාහිර ලෝකයෙන් විසඳුම් සොයන අප තුල ඒ වීරත්වය... ඒ ශක්තිය... ඒ තමන්වම ගලවා ගැනීම පිණිස ඇති හැකියාව ඇති බව නැවත වරක් සිහි පත් කරන්නට මෙවර කතු වැකිය සටහන් තබන්නෙමි!

අපේ මේ ජීවිතය තුල...

විටෙක හිනා වෙනවා...

විටෙක හඬා වැටෙනවා...

මහා පැතුම් ගොඩාක් තියා ගෙන...

රැයක් දවාලක් නැතිව හීන දකිනවා...

ඒ හීන වෙනුවෙන් සුසුමක් සුසුමක් පාසා නැහෙනවා...

මොහොතකින් ක්ෂණයකින්...

ඒ දැකපු හීන බොඳ වෙලා යන්නට කඳුළු එන තරමට ම....

හැම දෙයක් ම කඩා ගෙන වැටෙනවා...

භූමි කම්පාවක්... සුළි සුළඟක්... හිරු කුණාටුවක්...

පුංචි පුංචි ඇහැටවත් නො පෙනෙන තරමේ වෛරසයක්...

මේ නොයෙක් හීන පෙන්වමින් නැහෙමින් හති දමමින් දුවනා...

ඇඟ ඇතුළේ තමන්ටත් නො දැනීම වැඩෙනා රෝගයක්...

මොහොතයි... ක්ෂණයයි...

ජීවිතය ම නැති‌ වෙන්නට ගත වෙන්නේ මොහොතයි...

ඒත් අපි හීන දකිනවා... ඒ හීන වෙනුවෙන් නැහෙනවා...

ඒ නැහිල්ලට අපි ජීවිතය කියනවා...

ඒ ජීවිතයට අපි පුදුමාකාර ආදරෙයි...

මේ ජීවිතයේ අඩුපාඩු දකින්නට අපි හරිම අකමැතියි...

අපි කැමති හීන වලට...

මේ හීන ලෝකේ පාවෙන අපට...

සිහිය ලබන්නට තරම් දරුණු හීන අපට පේනවා...

විටෙක සොබා දහමින්...

විටෙක නො දන්නා එවුන්ගෙන්...

විටෙක තමන්ගෙ ම එවුන්ගෙන්...

අනේ විටෙක තමන්ගෙ ම සරීරෙන්...

මොහොතකින් ක්ෂණයකින්...

නැසෙන... වැනසෙන අයුරු පෙන්වා දෙමින්...

කැමති සේ නොවන බව පෙන්වා දෙමින්...

අනතුරු අඟවනවා...

ඔව්! අපිත් මොහොතකට බය වෙනවා...

කම්පා වෙනවා... ශෝක කරමින්... දෙස් දෙවොල් තබමින්...

අනතුරු අඟවන හැම දේකටම දොස් පවරමින්...

වරද එහි මිස නැත මෙතැන බව කෑ ගසා කියමින්...

අපි අපේ හීන ලෝක වලටම ඇඳෙනවා...

අනේ! ඔව්! අපි හීන දකිනවා...

අපි හීන වලට ආසයි... ඒක අපේ ජීවිතය...

අපි ජීවත් වෙන්න ආසයි...

මාරයත් එක්ක කඹ ඇඳලා ඇඳලා ඇඳලා...

බැරි ම තැන ජීවිතයෙන් සමු ගන්නවා...

ඒත් අවාසනාව ද වාසනාව ද ???

ජය අපට ද? මාරයාට ද?

නැවතත් පෙනුම මාරු වෙලා ජීවිතයක් ලැබෙනවා...

ඔව්! අපි පිළිගත්තත් නැතත්...

මෙලොව පරලොව පිළිගත්තත් ප්‍රතික්ෂේප කලත්...

ඇත්ත මේකයි!!!

එකම දේ කර කර... විවිධාකාර විදියටැයි සිතා ගෙන...

එකම තැන දුවමින්... දැන් ලැබෙයි දැන් ලැබෙයි යැයි සිතමින්...

මොනවදෝ සොයනා අසරණ ජීවිත තමයි මේ...  

හපොයි!!! කරුමයක මහත නම් විසඳුමක් තිබියදිත්...

මේ දේ ම සැමදා කරන්නට අපට සිත් දීමමයි!   

මේ අනතුරු ඇඟවීම වත් කණ වැකේවා!!! යැයි පතන්නෙමි මෙත් සිතින්!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා