තීරණාත්මක වසරක්!
ජනවාරි 2025 කතු වැකිය
සටහනේ අන්තර්ගතය
අවුරුද්ද 2025! ජීවිතය ලෙසින් ගත කල අවුරුදු අතරේ ගත කල තවත් වසරකට “ආයුබෝවන්” කියලා ජීවිතයට තවත් එක් වසරක් “ජය වේවා” කියලා එකතු කර ගන්නයි හදන්නේ නේද? ඉතින්, කොහොමද දැනෙන්නේ? සතුටුයි ද? බලාපොරොත්තු ගොඩයි ද? ඉතින්, මොහොත ගානේ... දවස ගානේ... සති, මාස ගානේ අවුරුද්ද පුරා ඔහේ දිව්වා මිසක් අවුරුද්දක් පුරා මොකද ඇත්තටම කලේ කියලා විමසීමක් කලා ද?
හරි ඔන්න ඉතින් දැන් අවංක වෙන්න ඕනේ හොඳේ! ඔව් ඔබටම අවංක වෙන්න! මා වෙනුවෙන් නොවේ... ඔබේ ආදරණීයයන් වෙනුවෙන් නොවේ... වෙන කිසිවෙකු වෙනුවෙන් නොවේ... නමුත් මොහොතකට ඔබ, ඔබ වෙනුවෙන් පමණක් අවංක වන්න! කරුණා කරලා, ඔබ වෙනුවෙන් මොහොතක් වෙන් කරන්න! මොහොතකට ලෝකයේ අනෙක් සියල්ල අමතක කරන්න! ඔව්... ඔබ වෙනුවෙන් මොහොතක් අවංක වෙලා කාලයක් ලබා දෙන්න!
දැන් බලන්න... නුවණින් බලන්න... ඔබ ඇත්තටම සතුටින් ද? ඔබේ ජීවිතයෙන් මෙතෙක් ලැබුණු දේ ගැන ඔබ ඇත්තටම සෑහීමකට පත් වෙනවා ද? ජීවිතය යහපත්ව සතුටින් ගත කිරීමට ඔබ දරන අරගලය ගැන... ඔබේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම ගැන... ඔබේ කායික හා මානසික තත්වයන් ගැන... කෙටියෙන් කියනවා නම් ඔබ ඔබේ ජීවිතය ලෙස ඔබ හඳුනා ගන්නා සෑම දෙයක් ගැනම... ඔබ ඇත්තටම තෘප්තිමත් ද?
අපි හිතමු ඔබ යහපත් පුද්ගලයෙක් ලෙස ආගමික ජීවිතයක් තෝරා ගත්තා කියලා... එහෙමත් නැත්නම් ඔබ නිරාගමිකයෙක් වීමට තෝරා ගත්තා කියලා හිතමු... එහෙමත් නැත්නම් ඔබ දාර්ශනිකයෙකු වීමට තීරණයක් ගත්තා කියලා හිතමු... ඔබ කුමන තේරීමක් කළත්... ඔබ, ඔබ ගැන කුමන තීරණයක් ගත්තත්, ඔබ ඒ ආකාරයෙන් මෙතෙක් ගත් ඔබේ ඔය තීන්දු, තීරණ, තේරීම් හරහා ඔබ ලබා ගත් දේ ගැන ඇත්තටම සතුටු ද? මේ කියන කාරණය ගැන ඔබට තවමත් පැහැදිලි නැතිනම්, මම එය මෙන්න මෙහෙම අහන්නම් කෝ!
යමෙක් යමක් තෝරා ගන්නේ එය වඩාත් හොඳ නිසානේ... ඒ තුලින් මොහොතකට හරි නිත්‍ය වශයෙන්ම ස්ථිර වශයෙන්ම සුවයක් සැපයක් ලැබෙන නිසානේ... කව්රුවත් දුක... අසහනකාරී හැඟීම්... නොපිරුණු හිස් වූ සෑහීමකට පත් විය නොහැකි හැඟීම් වලට කැමති නෑනේ නේද? ඔබේ ජීවිතයේ ඔබ ගත් තීන්දු තීරණ කුමක් වුවත්... ඔබ ඒ දේවල් එසේ තෝරා ගත්තේ පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින ක්‍රියාවලිය තුලින් ඔබට ඒ තමයි ඇත්ත... ඒ තමයි නිවැරදි දේ කියලා හැඟුන අත්දැකීම් මත නේ නේද?
ඔබ සියලු තීන්දු තීරණ ගත්තේ ඔබට ඒවා තුලින් සතුටක් ලැබුණ නිසානේ... සෑහීමකට පත් විය හැකි වූ නිසානේ නේද? ඔබ ජීවිතය ලෙසින් අත්විඳින අත්දැකීම් සියල්ල ගැන ඔබට දැඩි විශ්වාසයක් ඇති වූ නිසා, තෘප්තියක් ගෙන දෙන නිසා, ඔබේ බලාපොරොත්තු සියල්ල සැබෑවක් බව දැනුණ නිසා නේද ඔබ ඔය විදියට ඔබගේ ජීවිතය ගත කරන්නට තීරණයක් ගත්තේ? ඔබට ඇත්තටම ඔබ දන්න ඔය ඇත්තට වඩා ඇත්තක් අවශ්‍ය වුනේ නෑ නේද? ඔබ තෝරා ගත් ඇත්ත ගැන ඔබට දැඩි විශ්වාසයක් තියෙනවා කියලා ඔබට පේනවද? පහුගිය අවුරුදු ගණනාව පුරාම ඔබ ගත්ත තීරණය ඕක නේද? ඔබගේ තේරීම ඔය ගත කරන ජීවිතය නේද?
ඉතින්, එය ඔබට සත්‍යය නම්... ඒ සත්‍ය තුල ඔබට දැනෙන සතුට, සැනසීම, තෘප්තිමත් බව සත්‍යයක් නම්, ස්ථිර වශයෙන්ම එහි ගැටලුවක් නැත්නම්, නිත්‍ය වශයෙන්ම ඔබ ලබන අත්දැකීම සැබෑවක් නම්, සැනසිලි දායක නම්, අර්ථවත් නම්...
ඇයි ඔබේ මේ මැසිවිලි? ඇයි ඔබේ මේ අසතුටුදායක හැඟීම්? ඔබ මේ විවිධාකාර ඉල්ලීම් ඇයි? ඇයි ඔබ පිරිලා නැත්තේ? ඇයි ඔබට තව තවත් අවශ්‍යතා ඇති වෙන්නේ? ඇයි ඔබට වඩාත් හොඳ වූ සුව වූ තවත් තත්වයක් ගැන බලාපොරොත්තු ඇති වෙන්නේ? ඇයි ඔබ මෙතරම් නොසන්සුන්? ඇයි ඔබ නිතරම තවත් දෙයක්, වඩාත් හොඳ තත්වයක් සොයන්නේ? ඇයි ඔබට හැම තිස්සේ ම වෙනසක් ඕනේ?
ඔබට යමක් වැරදුණු විට ඔබ මෙතරම් දෙස් දෙවොල් තබමින් අඳෝනා ගසමින් පැමිණිලි කරන්නේ ඇයි? ඔබට සැම විටම දොස් පැවරීම පිණිස බාහිරයෙන් යමෙක් හෝ යමක් ලැබෙන්නේ කොහොමද? වෙලාවකට ආගමකට දහමකට චෝදනා කරනවා, වෙලාවකට ඔබේ ආදරණීයයන්ට දොස් තබනවා, වෙලාවකට සමාජය, දේශපාලනය, එක්කෝ දිව්‍යමය හෝ අපාගත ජීවීන්ට චෝදනා කරනවා, වෙලාවකට සියල්ලට වගකිව යුත්තේ නොපෙනන බලවේග කියනවා, පුංචි දේශගුණික විපර්යාසයක් පවා ඇති ඉතින් කාට හරි දොස් කියන්න... චෝදනා කරන්න... මොන විහිළුවක් ද?
ඔබේම තේරීම..., ඔබේම තීරණය..., කොහොමද අනේ ඉතින් ඒ දේවල් වලට මේ බාහිර වූ දෙයක් හේතුවක් වෙන්නේ? හිතලා බලන්නේ නැත්ද පොඩ්ඩක්!
ඔබම ඇත්ත කියලා, ස්ථිර වශයෙන්ම සැනසිලි දායකයි කියලා, ඔබේ සතුට තියෙන්නේ මේ තුලයි කියලා කාගෙවත් බලපෑමක් නැතිව ඔබ විසින්ම තීන්දු කරලා තීරණය කරලා තෝරා ගත්ත ඔබේම තේරීම තුලින් ඔබට අවශ්‍ය සතුට, සැනසීම, ඔබ යම් සත්‍යයක් තුලින් බලාපොරොත්තු වන දේ ඔබට නොලැබෙනවා නම්, ඔබව තෘප්තිමත් කරන්නට ඔබේ ඔය ඇත්තට නොහැකි නම්, මොකක්ද ඔබේ ඔය තෝරා ගැනීමෙන් ඇති ඵලේ?
පේනවද අවුල? ඔබ ඉක්මන් වෙනවා... හරි ඉක්මනට තීන්දු තීරණ ගන්නවා... ඔබට පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින තත්වයන්ට හරි ඉක්මනටම ඔබ අහු වෙලා “ඒ තමයි ඇත්ත“ කියලා ඉක්මන් තීන්දු තීරණ ගන්නවා. මේ තමයි ජීවිතය, මේ තමයි ජීවත් විය යුතු ක්‍රමය කියලා හරි ඉක්මනටම ඔබ තෝරා ගැනීමක් කරනවා. ඊට පස්සේ “අනේ මට මේ ප්‍රශ්නේ විසඳා ගන්න උදව් කරන්න... අනේ මට මෙහෙම ගියොත් පිස්සු හැදෙයි... අනේ මට දැන් ඇති වෙලා... අනේ මේවට විසඳුමක් නැත්ද?...“ කියමින් අඳෝනා ගසමින්, වටේටම චෝදනා කරමින්, කාලය ශ්‍රමය සියල්ල විනාශ කර ගන්නවා!
මතක තියා ගන්න ඔබ ඔය තෝරා ගත් ජීවිතය ගත කලේ නැත්නම්... ඔය තෝරා ගැනීම කලේ නැත්නම්, ඔබව මරනවා කියලා කව්රු හරි ඔබට තර්ජනය කලේ නෑනේ! ඔබට සතුටු වෙන්න කියලා හෝ දුක් වෙන්න කියලා කව්රුවත් ඔබට බල කලේ නෑ! ඔබ ඔය උගුලේ වැටුණේ ඔබ විමසීමක් නැතුව ඉක්මන් තීන්දු තීරණ ගත්ත නිසයි කියලා දැනෙනවද? තමන් වැටුණ වලෙන් ගොඩ එන්න ඕන තමන් විසින්මයි කියලා වැටහෙනවද?
පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින ක්‍රියාවලිය ඔස්සේ ලැබෙන සියල්ල තමයි ස්ථිර වශයෙන්ම නිත්‍ය වශයෙන්ම ඇත්ත කියලා ඔබ තීන්දුවක් ගත්තේ, තීරණය කලේ... එය පහසු නිසානේ. ඔබේ ඔය කම්මැලිකම, නොසැලකිලිමත්කම, නිවහල් වීමට ඇති අකමැත්ත ඔබව සෑම මොහොතකම... සෑම වසරකම එකම තීන්දු තීරණ ගන්නට යොමු කරවනවා! ඔබව ඔබේම සිර කූඩුවක සිරකාරයෙක් කරනවා! ඔබට විමුක්තියක් ගැන සිතන්නට වත් අවස්ථාවක් ලැබෙන්නේ නෑ! ඔබේ හිතුවක්කාර කම, වහල්භාවය කොතරම් ද කියනවා නම් ඔබට විමුක්තිය ගැන සිහිපත් කරන්නවුන් පවා ඔබෙන් දුරස් කර පලවා හරින්නට ඔබ තීරණය කරනවා!
ඉතින්, ඔබ ඔය වගේ සෑම වසරකම තීරණ ගන්න අතරේ මේ ලෝකයේ අදටත්... හෙටටත්... කවදත් සැබෑවටම නිදහස් වීමට තීරණ ගත් පිරිසක් හිටියා... ඉන්නවා... මතුත් ඉන්නවා. ඒ ගොඩට එකතු වෙලා සඳහටම ප්‍රශ්ණය විසඳා ගන්නවා ද නැත්ද... නැත්නම් දිගටම අඳෝනා ගසමින් ඉන්නවා ද කියන තීරණය ඔබ ගත යුත්තක්! ඒ තීරණය තමන් වෙනුවෙන් තමන් විසින් ගත යුත්තක් මිස අන් කිසිවෙක් ඔබට බල කර ඔබගේ සිත වෙනස් කර බලහත්කාරයෙන් ඔබව ඒ තැනට පත් කිරීමෙන් ගත යුතු තීරණයක් නොවේ!
ඉතින්, එහෙනම් පින්වත් මිනිසුනේ මේ විදියට 2025 කියලා නමක් දීලා ලබා ගත්ත ඊනියා අවුරුද්ද ඔබට තීරණාත්මක වනු ඇත! නිවැරදි ප්‍රඥාවන්ත තීරණයක් ගැනීමට ඔබට තවත් අවස්ථාවක් ලැබුණා හා සමානයි!
අමතක කරන්න එපා තමන් ගැන අවංක වෙලා විමසන්නට, තමන් ගැන අවංකවම තීන්දු තීරණ ගන්නට වෙන් කර ගත්ත මේ මොහොත වගේ මොහොතවල් එකතු වෙලා තමයි 2025 වසර ඉවර වෙන්නේ... ඒ නිසා ප්‍රඥාවන්ත තීරණ ගන්න... ප්‍රඥාවන්ත තෝරා ගැනීම් සිදු කරන... සැබෑම අර්ථය ලබා ගත හැකි මොහොතක් බවට මේ සෑම මොහොතක්ම පත් කර ගන්න! ඔබට අතිශයින්ම තීරණාත්මක වසරක් බවට මේ වසර පත් වේවා!!!
ආ... තව දෙයක්... විමුක්තිය දැක්ක... විමුක්තිය දන්න සැබෑවටම නිදහස් වූවන්ගේ වචන නොසලකා හැරීමට තරම් මුරණ්ඩු නොවෙන්නට වග බලා ගන්න හොඳේ! ඒ වගේම තමයි විමුක්තිය නාමයෙන් ප්‍රතිරූපක ලබා දෙමින් ව්‍යාජ වූ සත්‍යයක් සත්‍යයේ නාමයෙන් ඔබ හමුවේ තබමින් ඔබේ මනස විකෘති කරන්නටත් කිසිවෙකුට ඉඩ නොදීමට වග බලා ගන්න හොඳේ!
පෙර පිටුවට
අනර්ථකාරී කලබලය