පදය පරම කරගත්තෝ...

මාර්තු 2013 කතු වැකිය

පදය පරම කරගත්තෝ...

සටහනේ අන්තර්ගතය

මේ වෙනකොට අත්දැකීමෙන් දුටු දෙයක් තමයි එකම ධර්මයට එක හාමුදුරුකෙනෙක් කියන කොට බනිනවා වෙනත් හාමුදුරුකෙනෙක් කියන කොට මහා ශ්‍රද්ධාවෙන් යුතුව වන්දනා මාන කරමින් පිලිගන්නවා... අන්තිමට හොදින් විමසා බලනකොට අවස්ථා දෙකේම ලැබුණු ධර්මය තුල තිබෙන අන්තර්ගතය ගැඹුරු බව සිද්ධාන්තය එකම එකයි... අවුල සිද්ධ වුනේ පදය පරම වූ නිසාමයි. මේ ගැන විමසා බලන්නට මෙවර කතු වැකිය වෙන් කරමු.

ඉතින් මුලින්ම සිද්ධාන්තය තමන් තුල ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් මෙවන් වූ අවුල් වෙන්න යනකොටම නවත්තගන්න තරම් බුද්ධිමත්භාවයක් වර්ධනය වෙනවා කියලායි මගේ අදහස.

මා දැක තිබෙනවා තමන් ඇලුම් කරන ස්වාමීන්වහන්සේලා දේශනා කරන ධර්මයේ පද ඒ ආකාරයෙන්ම  වෙනත් තැනකින් මතු නොවුනොත් අහන්නේවත් නැතිව ප්‍රතික්ෂේප කරන පිරිස් අප අතර ඉන්නවා. 

හදිසියේවත් හේතු ඵල දහමට ගැලපෙන ධර්මයක් ඒ ස්වාමීන්වහන්සේ කෙනෙක් දේශනා කලොත් "ආ අපේ හාමුදුරුවන්ව කොපි කරලාද කොහෙද අපේ හාමුදුරුවන්ගේ දේශනයක් අහලා වෙන්න ඇති" කියලා කියන බොහෝම අඩු බුද්ධිමට්ටමකටම පත්වෙච්ච අයත් මා දැක තිබෙනවා. 

ඒ විතරක් නෙවේ අරිහත්වයට පත්වෙච්ච උතුමන් පිළිබදව පවා සැක සංකා උපදවාගන්න මට්ටම යම් යම් අවස්ථා වල කටයුතු කල පිරිස් දැක තිබෙනවා...

ඇයි මේ?  සරලව කියනවා නම්  ගලපන්න කිව්ව සූත්‍රය ධර්මය විනය පැත්තක තියලා ඒවා මතු කරලා දුන්න වචන පදයන්ට ඒ ඒ ධර්මය ගලපන්න ගිහින් තමයි ඒ වගේ නොගැලපෙන අදහස් වලින් සිත් සතන් පිරිලා ගිහින් තියෙන්නේ. 

ඉතින් මෙවැනි ගෝල බාලයන් දැකලා ඒ ඒ ස්වාමීන්වහන්සේලාට පවා අගෞරව කරන්නට අපහාස උපහාස කරන්නට අහන දකින බාහිර පිරිස් යොමුවෙනවා. 

ඉතින් නිවැරදි සත්ධර්මයක් ඒ ගරු කටයුතු ස්වාමීන්වහන්සේලාගෙන් පිටවුණත් දේවදත්ත වැනි ගෝලයන්ගෙන් බුදු හිමියන් ගැන නිගමනයට පත්වෙනවා වගේ කටයුතු කරන නිසාවෙන් ඒ ඒ හිමිවරුන්ට අපහාස කරන්නට උපහාස කරන්නට උපවාද කරගන්නට බොහෝ පිරිස් යොමුවෙනවා. 

ඉතින් ඇත්තටම ඒ ගරු කටයුතු ස්වාමීන්වහන්සේලා විසින් නිවැරදිව නිරවුල්ව සත්ධර්මය පෙන්වා දී තිබුනත් ගෝල බාලයන් ඒවා ග්‍රහණය කරගෙන තිබෙන මට්ටම අනුව ඒ ඒ අයගෙන් දැනගන්න පිරිස ඒ ඒ අයගේ හැසිරීම අනුව මැනගන්න පිරිස් බොහෝ අවුල් වලට පත්වෙනවා.  අකටයුත්තක්ම සිදු කරගන්නවා. 

ඉතින් තම තමන්ගේ නිවන කැමැත්තෝ තම තමන්ගේ හිත සුව කැමැත්තෝ මේ කරුණු බොහෝම නුවණැතිව විමසා බලා ලැබෙන සෑම සියලු අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්නට උත්සාහ කිරීම වඩාත් සුදුසු යැයි මා විශ්වාස කරනවා. 

තමන් පිලිගන්නේ දේහිම එල්ලී නොසිට බුදු හිමියන් තෙරුවන කෙරෙහි විශ්වාසය ඇතිකරගෙන තමාගේ හිත සුව පිණිස තමාගේ නිවීම පිණිස තමා තුල ප්‍රඥාව වර්ධනය කරගැනීම පිණිසම මේ ධර්මය ගවේෂණය කරන්නේ නම් මේ අපූරු ආශ්චර්යමත් සත්ධර්මය තමන්ව සුරකින ආකාරය තමන්ට යහපත ලබාදෙන ආකාරය උපරිමයෙන්ම අත්දැකගන්නට හැකිවෙනවා ඒකාන්තයි නිසැකයි!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා