සිතුවොත් උමතුවේවි!

නොවැම්බර් 2018 කතු වැකිය

සිතුවොත් උමතුවේවි!

සටහනේ අන්තර්ගතය

මේ ලෝකයේ යම් යම් කාරණා තියෙනවා හිතලා ඉවරයක් කරන්නට හෝ හිතුවාය කියලා පිලිතුරක් හරි හැටි ලබාගන්නට නොහැකි කාරණා. අපේ එදිනෙදා සරල ව්‍යවහාරයෙන් කියනවා නම් “පිස්සු හැදිලා නවතින ආකාරයේ විෂය කිහිපයක්”. ඒත් හැබැයි සමහර කෙනෙක් සිටින්නට පුළුවන් මේ දේවල් ගැන සොයන්නම තමයි කැමැත්ත. අන්න ඒ නිසා මේ සිතුවොත් උමතු වෙන විෂය මොනවද කියලා කෙටියෙන් දැනගන්නට මෙවර කතු වැකිය වෙන් කරන්නෙමි.

සූත්‍ර පිටකය > අංගුත්තර නිකාය 2 > චතුක්ක නිපාතය > දුතිය පණ්ණාසකය > 3. අපණ්ණක වග්ගය > 7. අචින්තෙය්‍ය සූත්‍රය > පිටුව 151 (පී.ඩී.ෆ් පිටුව 171)

  

  1. බුදුවරුන් පිළිබඳ බුද්ධ විෂය
  2. ධ්‍යාන ලැබූවන් සහ ධ්‍යාන විෂය
  3. කර්ම විපාකයන් සම්බන්ධ කර්ම විෂය
  4. ලෝකය ගැන සිතීමක් සම්බන්ධ ලෝක විෂය

හිතුවාය කියලා ලැබෙන දේකුත් නැතිනම්... හිතන්න හිතන්න මනසත් අවුල් වෙනවා නම්... අවුල් වෙන්න වෙන්න අවුල් වෙච්ච තීන්දු තීරණත් ගන්නවා නම්... මේ දේවල් ගැන අනවශ්‍ය විදියට සිතන්නට යෑම ඵලක් තියේදැයි ඔබම සිතා බලන්නකෝ.

මේ සෑම දෙයක් ගැනම අවබෝධයක් ලැබිය හැකි සත්ධර්මයක් බුදු හිමියන් විසින් ලෝකයට ප්‍රකට කලා.  ඒ ධර්මය දුටු විට බුදුන් දැකගත හැකියි.  ඒ ධර්මය තුලින් ආයාසයකින් තොරවම ධ්‍යානයන් අත්දැකිය හැකියි.  ඒ ධර්මය තුලින් කර්මයට හේතුද ඇතිවම පැහැදිලි කරගන්නට හැකියි... ලෝකයත්, ලෝකයට හේතුවත්, ලෝකය නිරුද්ධ කිරීමත් දැනගත හැකියි. 

ඒ කියන්නේ බුදු හිමියන් කිවූ දේ වැරදියිද?  නැත නැත... එය වරදවා නොගත යුතුයි.  බුදු හිමියන් පෙන්වූ මේ සියලු විෂයන් වලට සීමාවක් නෑ.  ඒවා සම්බන්ධයෙන් හිතුවාය කියලා කෙලවරක් නෑ.  අන්න ඒ කාරණය හේතු ඇතිව පැහැදිලි කරගන්නට හැකිවෙන්නේ සත්ධර්මය තුලිනුයි.  මෙන්න  මේ අදහස නිවැරදිව අවබෝධ කරගන්නට ඕන.  නැතිනම් එතැනත් පැටලෙන්නට පුළුවන්. 

ඉතින් එහෙනම් ඒ ආශ්චර්යමත් සත්ධර්මය අවබෝධ කරගන්නට කාලය වැය කලා නම් ප්‍රශ්ණ සියල්ලම විසඳෙනවානේ නේද?  හැබැයි ඉතින් මේ විෂය සම්බන්ධයෙන් හදාරනවා වගේ සත්ධර්මයත් විෂයක් ලෙසින් හදාරා සොයන්නට ගියොත් නම් ඉතින් මේ කියන යහපත් ඵල නෙලාගන්නට නොහැකි වේවි.    සත්ධර්මය තියෙන්නේ අවබෝධ කරගන්නට.  ප්‍රඥාවන්තව නුවණින් දකින්නට.  ඒ සඳහා කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් සත්ධර්මය ශ්‍රවණය කරන්නට සීමා රහිතව යොමුවීම තමයි විය යුත්තේ. 

ඒ කටයුත්ත සාර්ථකව කරගන්නට ඔබට තෙරුවනේ උපරිම රැකවරණය ලැබේවායි මෙත් සිතින් සෙත් පතමි!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා