කිසිවක් නොකරයිද?

පෙබරවාරි 2019 කතු වැකිය

කිසිවක් නොකරයිද?

සටහනේ අන්තර්ගතය

සිතෙන් හෝ වේවා කයෙන් හෝ වේවා වචනයෙන් හෝ වේවා කිසිවක් නොකර සිටීම තුල නිවීමක් ඇති බව සමහර කෙනෙක් විශ්වාස කරනවා. ඒ නිසාම නොයෙක් සමාධි ප්‍රගුණ කරමින් සිතට සිතිවිල්ලකින් පවා බාධා නොවන තත්වයකට පත්කරගෙන කිසිවක් නොකිරීමේ නිවන් සුවය ලබන්නට උත්සාහවන්ත වෙනවා. ඒ නිසා ඉතාමත් කෙටියෙන් මේ සම්බන්ධයෙන් යමක් සටහන් තබන්නට මෙවර කතු වැකිය යොදාගනිමි.

නිවන් අත්දැකීම යනු සැබැවින්ම කිසිවක් නොකිරීමට වඩා ‘‘කිසිවක් නොවීම’’ කිවහොත් ආසන්න වශයෙන් වඩාත් නිවැරදි අරුතක් ලබා දෙන්නට හැකි බව මගේ විශ්වාසයයි.  නිවීම පිණිස දැකිය යුතු ගැඹුරු දහම් තමා තුලින් නොදැක්ක සිතකට මෙසේ සිතන, කියන, කරන දේ තුල අඩුවීමක් ලැබීම...  කිසිවක් නොකිරීම තුලින් ලැබෙන්නා වූ කායික මානසික සුවය ආදිය ගෙන දෙන සමාධිය ඉතාමත් ගැඹුරු වූත් නිවැරදි නිවන් අත්දැකීම යැයි සිතට දැනීම පුදුමයක් නොවේ. 

සාමාන්‍යයෙන් තම එදිනෙදා වැඩකටයුතු අතහැර මුහුද දෙස බලාගෙන සිටීම... අහස දෙස බලාගෙන සිටීම... ඇස් දෙක වසාගෙන කිසිවක් නොසිතා සිටීම වගේ දෑ සිදුකිරීම කිසිවක් නොකිරීම ලෙසින් බොහෝ දෙනෙක් හඳුනාගන්නවා.  ඒ තුලින් ලැබෙන විවේකය කායික මානසික සුවය තමයි බුදු හිමියන් පවා පෙන්වා දෙන්නට ඇති නිවන යැයි අදහස් ගන්නවා.  ඒත් මේ දේවල් කියන විට ප්‍රඥාවන්ත ඔබ විසින් දැකිය යුතු කරුණක් තියෙනවා. 

ඒ තමයි ඉහත අවස්ථාවලදී එනම්; මුහුදු දෙස බලා සිටීම... අහස දෙස බලා සිටීම වගේ කිසිවක් නොකර විවේකීව සිටින අවස්ථාවකදී සැබැවින්ම යමක් දෙස බලාගෙන සිටීමේ අවිවේකී බව සිදුවෙනවා.  ඇස් දෙක වසාගෙන සිතිවිලි නොඑන්නට වග බලාගැනීමේදී සිතිවිලි එන්නට නොදීමේ ක්‍රියාව සිදුවෙනවා.  ඒ කියන්නේ මේ අවස්ථාවලදී එදිනෙදා අවිවේකී වැඩපිලිවෙලට සාපෙක්ෂව විවේකයක් සුවයක් දැනුනත්... සමාධියක් දැනුනත්... කිසිවක් නොකරන බව දැනුනත්... සැබැවින්ම එය එසේ නොවේ.  එසේ නම් මෙවැනි අවස්ථා නිවීම ලෙසින් තෝරාගැනීම ඔබව අවුලෙන් අවුලකට පත්කරන්නට හේතුවෙනවා.

පෙරදීත් පැවසූ පරිදි පිරිසිදු නිවීමේ දහම හෙවත් සත්ධර්මයේ අවබෝධ කල යුතු ගැඹුර දුටු කල යමෙක්ගේ දැක්ම නිවැරදි වෙනවා.  එතෙක් කාලයක් පෙනීම, ඇසීම, දැනීම, විඳීම කියන කාරනා තුල පෙර නොඇසූ විරූ ඇත්තක් අවබෝධ වෙනවා.  එතෙක් කාලයක් පෙනීම සහ බැලීම අතරත්, ඇසීම සහ අසනවා අතරත්, දැනෙනවා සහ දැනගන්නවා අතරත් විඳීම කියන කාරණය සම්බන්ධවත් නොදැන සිටි ඇත්තක් අවබෝධ වෙනවා. ඒ ක්‍රියාවලීන් තුල එතෙක් අවබෝධ නොවූ කාරණායක් නුවණින් දකිනවා. 

කෙටියෙන් කියනවා නම් එතෙක් පෙනීම වුනේ ඔහේ බලාගෙන සිටීමයි.  බැලීම වුනේ හිස හරවා හෝ වුවමනාවෙන් යමක් දෙස ඇස් යොමු කිරීමයි.  එහෙත් මෙතෙක් කාලයක් පෙනීම යැයි සිතාගෙන සිටි අවස්ථාව තුලදීම බැලීමක් සිදුවෙලා ඇති බව, ඇසෙනවා යැයි සිතාගෙන සිටි තැන ඇසීමට ඔබ්බෙන් ගියාවූ ඇසීමක්ද, දැනීමට ඔබ්බෙන් ගියාවූ දනවා ගැනීමක්ද සිදුවන බව සත්ධර්මය දැක දැක්ම නිවැරදි වන ආර්ය ශ්‍රාවකයාට අවබෝධවෙනවා. මෙන්න මේ අවබෝධය ලබන්නාට පමණක් සතිය පිහිටුවීම තුලින් යමක් ඇසින් බලන කලද පෙනීම කියන කාරණයේ පමණක් රැඳෙන්නටත, යමක් කණින් අසන කලද ඇසීම කියන කාරණයේ පමණක් රැඳෙන්නටත්, නාසය, දිව, කය හැසිරවීමේදී කිසිවක් කරන බව බැලූ බැල්මට තිබුණද “කිසිවක් නොවන” අවස්ථාව අත්දැකීමටත්... සිතිවිලි කොතරම් පැමිණියද “කිසිවක් නොවන” සැබෑම ශුන්‍යතාවය අත්දැකීමටත් හැකියාවක් ලැබෙනවා. 

ඉතින් මේ කියන දේ තුලම කොතරම් ගැඹුරක් ඇතිදැයි ප්‍රඥාවන්ත ඔබට වැටහිය යුතුයි.  එහෙත් එය අත්දැකගන්නට නොහැක්කක් නොවේ.  සිතන කියන කරන වැඩපිලිවෙල තුලම කිසිවක් නොවන... කිසිවක් නොකෙරෙන... සැබෑවටම සමථයට පත්වූ සැබෑම නිවැරදි සමාධියේ පිහිටියාවූ... කායික මානසික සැබෑම විවේකය ගෙනදෙන්නාවූ... බුදු රඳුන් පෙන්වා දුන්නා වූ නිවනේ අත්දැකීම ලැබිය හැකියි!

එසේ නම් කිසිවක් කරන ගමන් කිසිවක් නොකරන්නාවූ ශුන්‍යත සමාධියක සිටිනවා යැයි ඔබත් රැවටී සිටින්නේ නම් ඒ වැරදුණු තැන් නිවැරදි කරගන්නට මේ සටහන මඟ පෙන්වීමක්ම වෙත්වා!!!

තෙරුවන් සරණින් සැබෑ විවේකයම ලබත්වා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා