කෑම වට්ටෝරු විවිධ ඇයි?

ඔක්තෝබර් 2011 කතු වැකිය

කෑම වට්ටෝරු විවිධ ඇයි?

සටහනේ අන්තර්ගතය

පෙර කතු වැකිය තුලින් නොයෙක් ආකාරයේ වට්ටෝරු ලැබුවද එයින් නිසි කෑම වේලක් සකසාගන්නේ තමන්ගේ දක්ෂකම මතමයි යන්න පැහැදිලි කරගන්නට යෙදුනා. මෙවර කතු වැකිය තුලින් විවිධාකාර කෑම වට්ටෝරු ලැබුනේ ඇයිදැයි කෙටියෙන් විමසා බලමු.

ඔබ පොහොසත්ව සිටි වාර ගණන් අනන්තයි.  ඒත් ඒ පොහොසත්කම නැමැති වට්ටෝරුව ලැබුණු පසු ඔබ ඒ වට්ටෝරුවෙන් හදපු “ජීවිතය“ නැමැති කෑම නම් අන්තිමයි.  කාටවත් කාලා රසවිඳින්නට හැකියාවක් තිබුණ දෙයක් නොවේ.  ඒ සකස් කල කෑම වේල හරිම නීරසයි.  කිසිවෙකුටත් යහපතක්ම නම් ගෙන දුන්නේ නෑ.  එහෙනම් ඔබට එවැනි සාර්ථක කෑම වට්ටෝරුවක් නැවත ලැබුණාය කියලා ඔබ එයින් නිසි ලෙසින් ජීවිතය සකසා ගන්නට අදක්ෂයෙක්.  ඒ නිසා නැවත එවැනි වට්ටෝරුවක් ලැබීමෙන් ඵලයක් නෑ. 

හේතුවට අනුවමයි ඵලය.  ඔන්න ඔබට මෙවර වට්ටෝරුව ලැබෙන්නේ අවමයෙන්.  ඒ වට්ටෝරුවට අපි කියන්නේ දුප්පත් කියලා.  ඉතින් දැන් දුප්පත් වෙලා විපාක ගෙවන්න වෙලා තියෙන්නේ අදක්ෂයෙක් මෙන් කටයුතු කල නිසාමයි.  දැනුත් ඔබට ලැබී ඇති වට්ටෝරුවට දෙස් දෙවොල් තබමින් ගරහමින් කාලය කා දැමුවොත් වෙන්නේ ඔය ලැබුන ටිකත් නැතිවෙන සේ නැවත ඵලය සකස් වීම පමණයි.

“මට මේක නෑ, මට අරක නෑ, අරයට මේක තියෙනවා අරක තියෙනවා“ ආදී ලෙසින් කම්පාවට පත්වෙමින් හැමතිස්සේම අනුන්ට වරද පටවන්නට උත්සාහ ගනිමින් කාලය ගත කලොත් ලැබිලා තියෙන මිනිස් ජීවිතයත් නැති වෙලා සතර අපායටම පත්වෙන්නට හේතු ගොඩනැගේවි.

පෙනෙන්නට දකින්නට අසාධාරණකම් ලෙසින් කොටසක් විද්‍යාමාන වුනත් එයින් ඔබ්බට එවන් වූ අසාධාරණකම් වලට ලක්වෙන්නට ඔබ දැනටමත් හේතු හදා තිබෙන නිසයි ඒ පරිසරය ඔබට ලැබෙන්නේ. ඒ නිසයි හැමෝම දුප්පත් හෝ පොහොසත් හෝ මධ්‍යම පාන්තික හෝ නොවී විවිධ මට්ටම් වලින් යුක්ත පිරිස අප අතර සිටින්නේ. මන්ද ඔබ බෙදා තිබුනේ යම් හැන්දකින්ද ඒ ඒ පරිදි එවන්වූ හැන්දකින්ම ඔබටත් දැන් බෙදීම සිදුවෙනවාමයි.

ඒ නිසා බෙදන අයට පරිභව කරමින් ගරහමින් විවේඡන කරමින් කාලය නාස්ති නොකොට දැන් බෙදී තිබෙන කොටසින් දැන් ලැබී තිබෙන වට්ටෝරුවෙන් උපරිම ලෙසින් යහපත් ප්‍රයෝජන ගෙන නැවත ලැබෙන වට්ටෝරුව කුමන පරිදි විය යුතුදැයි සකසා ගැනීමට කටයුතු කීරිම තමන්ටම කල හැක්කක්.

ඔය අතරෙන් පිරිසක් ඔය කුමන වට්ටෝරුවක් ලැබුණත් ඔය කුමන හැන්දකින් බෙදුනත් ඒ සඳහා වෙන්නට ඕන මහන්සිය දුක අපමනයි කියා දැනගෙන ඒ වට්ටෝරු හදාගන්න එක නතර කරන්නට කටයුතු කරගන්නවා.

ඒ අනුව නරක හෝ හොඳ හෝ මොනම ආකාරයකවත් වට්ටෝරුවක් නොලැබී ගොස් ජීවිතය නැමැති කෑම හදන එකත් නතර වෙනවා. අන්න එවැනි සැනසීමට පත්විය හැකි නැණවතෙක් වෙන්නට තමයි “නිර්වාණ ධර්ම“ දහම් සත්කාරයෙන් උපකාරයක් වන්නේ. 

ඉතින් තම තම නැණ පමණින් විමසා තමන්ට ලැබී ඇති වට්ටෝරුව නිසි සේ භාවිතා කර ලැබී ඇති දෙයින් සතුටට පත්ව යහපත් ලෙසින් ජීවිතය සකසා ගැනීමට දක්ෂයෙක් වන්න!  ඔබට ඒ වෙනුවෙන් ලැබිය යුතු සියලු යහපත් ආශිර්වාදයන් ලැබේවා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා