ධර්ම දේශනයක නිවීම සොයාගනිමු!

ඔක්තෝබර් 2014 කතු වැකිය

ධර්ම දේශනයක නිවීම සොයාගනිමු!

සටහනේ අන්තර්ගතය

මෙකල සත්ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට යෙදෙන බොහෝ දෙනෙක් තුල දැකගන්නට තිබෙන්නාවූ මට වැටහෙන අයුරින් නිවීම පිණිස මෙය බොහෝ බාධාවක් වී තිබෙන නිසාම මේ පිළිබඳව සටහන් තබන්නෙමි. විවිධාකාරයෙන් මේ මාතෘකාව නිතරම පාහේ සටහන් තබන්නේ මෙහි ඇති වැදගත්කම නුවණැත්තන් විසින් විමර්ශයෙන් යුතුව තෝරාගෙන යහපත පිණිස දමාගැනීම වඩාත් සුදුසු වන බැවිනි.

සත්ධර්මය දේශනාවක් ලෙසින් ශ්‍රවණයට කරන්නට ලැබෙන දේශනාවක් තුල හෝ වේවා කියවන්න ලැබෙන පොතක් පතක් තුල හෝ වේවා ගැලපෙන සහ නොගැලපෙන කරුණු බොහෝ තිබෙන්නට හැකියි. විශේෂයෙන්ම අන්තරාභවය තියෙනවද නැතිද, නිර්මාංශ ප්‍රශ්ණය, පින සහ කුසලය එකක්ද නැත්ද, පුද්ගලික මාර්ග ඵල ලාභී තත්වයන් පිළිබඳව ආදී දිගින් දිගටම වාද විවාද තර්ක කරන්නාවූ මාතෘකා සම්බන්ධයෙන් පුද්ගල මතයන් විවිධාකාරයෙන් ඕනෑතරම් තිබෙන්නට හැකියි.

මට වැටහෙන දේ නම් යමෙක් එසේ නිවීම ලැබීම පිණිස සෘජුවම සම්බන්ධතාවයක් නැති කිසිසේත්ම අදාල නොවන මෙවැනි කරුණු මුල්කරගෙන වාද විවාද කරන්නේ නම් ඔවුනට නිවීම යනු මූලික අවශ්‍යතාවයක් නොවේ. 

නිවීම පිණිස උපකාර වන්නාවූ සතර සම්‍යක්ප්‍රධානයන් වන උපන් අකුසලයන් ප්‍රහාණය පිණිස, උපන් කුසලයන් වැඩීම පිණිස, නූපන් කුසලයන් උපදීම පිණිස, නූපන් අකුසලයන් නොනැගීම පිණිස හේතුවන්නාවූ දහම් කරුණු බැහැර කර අනවශ්‍ය දේ ධර්මය නාමයෙන් කතා කරන්නේ නම් විමසන්නේ නම් අපට එයින් ලැබෙන ඵලය කුමක්දැයි නුවණින් විමසා බැලීම මනාය. 

99%ක් නොගැලපෙන ධර්මයක් පවසන්නෙකු තුලත් 1%ක් හෝ නිවීම පිණිස උපකාර වන සත්දර්මයක් කියැවෙන්නට හැකිය. අන්න ඒ 1% ඉස්මතුකරගෙන එයම වර්ණනා කරමින් එයටම මුල්තැනදීමට මෙවන් වූ කාලයක ඔබට හැකියාවක් තියෙනවා නම් ඔබට නිවීම දුර නොවෙනු ඇත.  සත්ධර්ම දේශනයක් ශ්‍රවණය කොට අවසානයේ දැවීමක් ඔබට නොලැබෙනු ඇත. සත්ධර්මය විවර කරමින් බැබළවීම යන කාරණයද ඒ තුලම තිබෙනවා ඇත.

ඔබ 100% සුපිරිසිදු සත්ධර්ම දේශනයකට සවන් දෙන්නට බලාපොරොත්තුවෙන් සිටියහොත් ඔබට මෛත්‍රී බුදු හිමියන් හමුවන තුරු සිටීමට සිදුවනවා නිසකැයි. මන්ද අරිහතුන්වහන්සේගේ දේශනයක් තුල පවා විවිධ වූ අඩුපාඩු සහිත විය හැකියි. මන්ද උන්වහන්සේගේ ප්‍රඥා මට්ටමෙන් තමන්වහන්සේ අරිහත්වයට පත්වූ ක්‍රමය පෙන්වා දීමක් සිදුවන අතර උන්වහන්සේගේ දේශනා ශක්තිය මත 100%ක් නිවැරදි ක්‍රමයක් පවා අඩුපාඩු සහිතව දේශනා වීමක් සිද්ධ විය හැකියි. ඒ දේශනාව ශ්‍රවණය කර යම් කෙනෙක් අඩුපාඩු සඳහා මුල්තැන දී අදාල කොටස් බැහැර කරනවා නම් පාඩුව ඒ පුද්ගලයාට මිස දේශකයාණන්වහන්සේට නොවේ.

ඒ වගේම ඒ ක්‍රමය ඔබගේ චරිත ස්වභාවයට නොගැලපේ නම් උන්වහන්සේ අරිහත්වයට පත්වීම පිණිස භාවිතා කල ක්‍රමය වුවත් එය කොතරම් ආකර්ශණීය ක්‍රමයක් වුණත් ඔබට ලැබෙන ප්‍රතිඵලයක්ද නැත. එසේ නම් ඔබ විසින් ඔබට ගැලපෙන ක්‍රමය සොයාගැනීම පිණිස විමර්ශණශීලිව බුද්ධිමත්ව සත්ධර්මය ශ්‍රවණයට මුල්තැන දෙමින් ඒවා ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට ලංකර ගනිමින් ප්‍රතිඵල ලැබෙන ආකාරය අධ්‍යනය කල යුතුය.

සත්ධර්ම දේශනයක පුංචි පුංචි හෝ මේ අඩුපාඩු කිසිවක් නැත්තේ සම්මා සම්බුදුරජාණන්වහන්සේ කෙනෙකුගේ දේශනයක් තුල පමණි. මෙවැනි වූ කරුණු ඔබ සිහිතබාගැනීමත් ඔබට සත්ධර්ම දේශනයකින් උපරිම ඵල නෙලාගැනීමට උපකාර වනු ඇත. නැතිනම් හැමදාමත් නොගැලපෙන කරුණු නිසාවෙන් පුද්ගලික මතයන් නිසාවෙන් ගැටී ගැටී වාද විවාද තර්ක කරමින් අවසන ආර්ය උපවාදයන්ට පවා යොමුවෙමින් අවිද්‍යාවේ මුලාවටම හසුව සංසාර සැඩ පහරට හසුව අනන්ත සංසාරය පුරාවටම සිද්ධ වුවා සේ නැවතත් ඒ විනාශයම කරගන්නට ඔබ යොමුව ඇතිබව නුවණින්ම දැකගත යුතුව ඇත.

ඉතින් මේ සටහන ලියන්නට හේතු කාරණා වුනේ යහපතක් සිද්ධ කරගනිත්වා යන අරමුණ ඇතිව මා විසින් බෙදාගන්නා බොහෝ සත්ධර්ම දේශනා වල දේශකයාණන්වහන්සේලාගේ අඩුපාඩුකම් හෝ නොගැලපෙන මතයන් ආදී දෑම ඉස්මතුකරගෙන ඒවා ඔස්සේ දැවීමක් ඇතිකරගන්නට යමෙක් පෙළඹෙනවා නම් බුද්ධිමත්ව විමර්ශණය කොට තම තම නැණ පමණින් තෝරාගෙන තමන්ටත් අනුන්ටත් යහපත උදාකරගැනීම පිණිස කටයුතු කරගැනීමටයි. මෙතැනදී දැවීම කියන විට ඔබ මහා පරිමාණයෙන් ද්වේශ සහගත තත්වයක් උදාකර නොගත්තා විය හැකියි. ඇතිවන මට්ටම තෝරාගැනීම තම තමන්ට අයත් කාර්යයකි.

සත්ධර්මය නිවීම පිණිස මිස දැවීම පිණිස භාවිතා නොකරන්නට ප්‍රඥාවන්තව කටයුතු කරගන්නට ඔබ සැමට හැකිවෙත්වා!  තෙරුවන් සරණ නොඅඩුව ලැබේවා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා