මුලාශ්‍රය කවරක්ද?

සැප්තැම්බර් 2016 කතු වැකිය

මුලාශ්‍රය කවරක්ද?

සටහනේ අන්තර්ගතය

අප අතර සත්දහම සොයන බොහෝ පිරිසකට මෙකල වැරදී ඇති නිවනක් නොලැබෙන්නට හේතු වී ඇති කරුණක් පෙන්වා දෙන්නට මෙවර කතු වැකිය වෙන් වෙනවා.

මෙකල බොහෝ දෙනෙක් අඩු නැතිව මුලාශ්‍රයන් සොයනවා...

විශේෂයෙන්ම සත්ධර්මය ගත් කල "මුලාශ්‍රය" අනිවාර්යෙන්ම සොයනවා...

එය බොහෝම හොඳ දෙයක් නම් තමයි...

ඒත් මට සමහර වෙලාවට හිතෙනවා...

බුදු හිමියන් වැඩ වාසය කරන කල සියලු දුක් කෙලවර කරගැනීමට වුවමනාවූ පිරිස මෙසේ මූලාශ්‍රයයන් සෙව්වේ නම් ඔවුනට කුමක් වේවිදැයි කියා...

ඔවුන් සම්මා සම්බුදු හිමියන්ගෙන් "මුලාශ්‍රය" විමසුවේ නම් කුමක් වෙයිද?

උතුම් අරිහතුන්වහන්සේලාගෙන් මග ඵල ලැබූ අරිය ශ්‍රාවකයන්ගෙන් ඔවුන් පෙන්වා දෙන දේට "මූලාශ්‍රයන්" විමසුවේ නම් කුමක් වේවිද?

එකම වෙනස එදා දහම අසන්නට යෙදුන පිරිස බොහෝම සරල කරුණක් ඉතා හොඳින්ම අවබෝධ කරගෙන සිටියා... ඒ තමයි "මුලාශ්‍රය" යනු යමෙක් විසින් අත්දැකීමෙන් අවබෝධයෙන් පෙන්වා දෙන දේම මිස අන් කවරක්වත් නොවන බව... ඒ තුලින්ම තමනුත් එය අත්දැකීමට අවබෝධයට පත්වන්නට තරම් දක්ෂ වුණා...

ඒත් අද? "මුලාශ්‍රය" යනු මෙකී අදහසින් තොර අනෙකුත් සෑම දෙයක්ම බවට පත්වී තිබෙනවා.

එකල බමුණන්ටද පොත පත තිබුණා... ඉපැරණි වේදයේ බුදු දහමේ පද නොඅඩුව ලියා තිබුණා. එහෙත් ඔවුන් එය විමසන කල බුදු හිමියන් ලෝකෝත්තර අර්ථයක් එයින් මතු කර දෙන විට බුදු හිමියන් සමඟින් ගැටෙනු විනා ඒ අදහස විමසා බලා නිසි ඵල නෙලා ගන්නට තරම් දක්ෂ වූවා. එසේ කලේ ඔවුන් බණ අහන්නේ බුදු හිමියන්ගෙන් බව දැනගෙනද නොවේ... ඔවුන් බණ අසන්නේ මග ඵල ලැබුවන්ගෙන්ද යන බව දැනගෙනද නොවේ...

එහෙත් අද?

නැණවත්ව විමසන්නට දක්ෂ වන්න... එවිට ඔබේම මනස නම් සිරගෙයින් විමුක්තිය ලබන්නට ඔබට හැකිවනු නොඅනුමානයි!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා