මිත්‍යාව පරදන බුදු වදන

අප්‍රේල් 2017 කතු වැකිය

මිත්‍යාව පරදන බුදු වදන

සටහනේ අන්තර්ගතය

දහම් මඟ විවර කරන්නට අසීරුකම් බොහෝමයි... විවිධාකාර මත දරමින් උරණ වන පිරිස බොහෝමයි... එහෙත් බුදු වදන කොතරම් ප්‍රබලද... ඒ බුදු වදන තුල ගැබ් වන ශක්තිය කොතරම් අසිරිමත්දැයි අත්දකින විට නිවෙමින් සැනසෙමින් තවත් සිත් සනසාලන්නටැයි බුදු හිමියන් මඟ පාදනවා... ඒ තෙරුවණෙන් නිසි බලය... නිසි ශක්තිය... නිසි මඟ පෙන්වීම අසිරිමත්ව ලැබෙනවා... ඒ අත්දැකීම වදන් වලට පෙරලුන මොහොතක්...

රූපය අසූචි වලට සම කල කල්හි

ද්වේශයෙන් දැවෙන මාගන්ධියන් බහුලව වෙසෙන කාලයක...

නිර්මාංශ වීමෙන් නැඟෙන සීලයක් නැතැයි කිවු කල්හි

පරල වන නිගණ්ඨයන් බහුලව වෙසෙන රටක...

එර්දියෙන් තොරවූ නිවීමේ සමාධියක් ගැන කිවූ කල්හි

තරහෙන් දැවෙන දේවදත්තයන් බහුලව වෙසෙන කාලයක...

කර්මයට විපාක නැතැයි සිතමින්

සිතු සේ කර්ම රැස් කරන පූර්ණ කස්සපයින් බහුල වන කලක...

මක්ඛලී ගෝසාලයින්... අජිත කේසකම්බලයින්...

පකුධ කච්චායනයින්... සංජය බෙල්ලට්ටිපුත්තයින්...

තම තම මත රැගෙන නැවතත් තර්ක වාද කරනා කාලයක...

සරල වූ දහම වැළඳගෙන...

ගැඹුරුවූ සත්දහම ඉවතලන මෙවන්වූ කාලයක...

රාගයන් ද්වේශයන් මෝහයන් ක්ෂය කරන

ඒ උතුම් ලොව්තුරු බුදු වදන...

කෙසේ නම් විවර කර බබළවන්නද බුදු හිමියනේ...

සත්පුරුෂ දහමෙහි අදක්ෂ... කළණ දහමෙහි අදක්ෂ...

අශ්‍රැතවත් පෘතග්ජන මතයම රජයන මෙවන්වූ කාලයක...

රාගයන් ද්වේශයන් මෝහයන් ක්ෂය කරන

ඒ උතුම් ලොව්තුරු බුදු වදන...

කෙසේ නම් විවර කර බබළවන්නද බුදු හිමියනේ...

කියන කියන වදනක් පාසා... අඩුවක්ම සොයනා...

දොසක්ම සොයනා... නිවීමක් වෙනුවට දැවිමක්ම ලබනා...

සත්දහම අසනවා යැයි සිතා තම සිතටම සවන් දෙන්නාවූවන්...

බුදු නෙතින් පෙරදීම දැක දැන අනතුරු ඇඟවූවේ...

අවසන් වන ශාසනයේ පෙර නිමිති දැක දැන

නුවණක් වෙතොත් අප්‍රමාදීව නිවෙන්නට බව...

මොහොතක් මොහොතක් පාසා...

හොඳින්ම වටහාගන්නෙමි බුදු හිමියනේ!

මේ සියලු දෑ අතර ඒ උතුම් බුදුවදනම ප්‍රබල බව...

උතුම් බුදු ශක්තිය අදටද ජීවමාන බව...

නන් අයුරු මිසදිටුවන් දමනය කරන්නට නොඅඩුවම හැකි බව...

මොහොතක් පාසා පෙන්වා දෙන...

උතුම් බුදු පියාණෙනි ඔබවහන්සේට, මාගේ නමස්කාරයම වේවා!

නිවෙමින් නිවෙන්නට මඟ පෙන්වන්නට...

තථාගත දම් විවර කරමින් බබළවන්නට...

තෙරුවණෙන් ලැබෙන ආශිර්වාදය  අනන්ත අප්‍රමාණ බව

මොහොතක් පාසා පෙන්වා දෙන...

උතුම් තෙරුවණට මාගේ නමස්කාරයම වේවා!!!

සියලු සත නිවනින්ම සැනසෙත්වා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා