ඇත්ත වෙනස් වෙන්නේ නැහැ

නොවැම්බර් 2011 කතු වැකිය

ඇත්ත වෙනස් වෙන්නේ නැහැ

සටහනේ අන්තර්ගතය

පුංචි උපමා කථාවක් අනුසාරයෙන් නිවීම සැනසීම ලැබීම පිණිස ජීවිතය සකස් විය යුතු අන්දම විමසා බලන්නට මෙවර කතු වැකියෙන් උත්සාහ කරමු.

ඔන්න එකමත් එක කලෙක රජතුමෙක් සිටියා. ඔහු දැනගත්තා පසුදින ඔහුගේ රාජ්‍යයට වර්ෂාවක් ඇද වැටෙන්නට නියමිත බව. ඒ වර්ෂාවේ විශේෂත්වය තමයි එයට තෙමෙන කව්රුන් හෝ පිස්සන් බවට පත්වෙන එක. ඒ කියන්නේ මානසික අමාරු හැදෙනවා. 

ඒත් රජතුමා මේ ගැන රට වැසියන්ට දන්වන්නේ නැතුව පසුදින වැස්ස වසින වෙලාවේ ඔහුත් ඔහුගේ පිරිසත් සමග රාජ මාලිගයට වෙලා නොතෙමී හිටියා.

වර්ෂාව නිමාවූ පසු රජ ඔහුගේ රටවැසියන් අමතන්න සදලුතලයට පැමිණියා. රැස්වෙලා සිටි රටවැසියන් "අන්න පිස්සෙක්... අන්න පිස්සෙක්" කියලා කෑගහන්න ගත්තා. අන්දමන්ද වූ රජතුමා ඇත්තටම මොකද වුණේ කියලා කිව්වා.  කව්ද සැබෑම පිස්සෝ කියලා කිව්වා. 

ඔබ මොකද හිතන්නේ? රටවැසියන් පිලිගත්තාද රජතුමා කිව්ව දේ? නැහැ!!

ඒ අය තවත් හයියෙන් කෑගහන්න ගත්තා "අන්න පිස්සෙක් අන්න පිස්සෙක්" කියලා. රජතුමා එක්ක තව නොතෙමී හිටිය සේවක පිරිසත් කියන්න ගත්තා ඇත්තටම මොකද වුණේ කියලා. ඒත් පිස්සා කවදාවත් පිස්සු කියලා පිලිගන්නේ නැහැ කියනවානේ. ඒ අය දිගටම "අන්න පිස්සෙක් අන්න පිස්සෙක්" කියලා කෑගසමින් හිටියා.  රජතුමා ඇතුලු පිරිස ඒ අයට පහදලා ඵලක් නැති බව දැනගත්තා. 

ඉතින් සමහර වෙලාවට සමහර අයට ඇත්ත මොකක්ද කියලා පෙන්නලා දෙන්න හරිම අමාරුයි. ඒ අය පිලිගන්න කැමතිම නැහැ. ඒ අය හිතනවා ඒ අය හරිම තමයි කියලා. ඉතින් එහෙම වුණා කියලා ඇත්ත වෙනස් වෙනවාද? නැහැනේ. වැඩි පිරිසක් කිව්වාය පිලිගත්තාය කියලත් එය ඇත්තක් වෙන්නේ නෑ.   

අන්න ඒ නිසා ධර්මය ඇසුරු කරන විටදීත් මේ උපමා කතාව සිහියේ තබාගන්න.  වැඩිදෙනෙක් කියනවා වෙන්නට පුළුවන්... වැඩි දෙනෙක් පිලිගන්නවා වෙන්නට පුළුවන්... ඒත් එයින් අදහස් වෙන්නේ නෑ ඒ දේ ඇත්තක්ය කියලා.  නැණවත්ව විමර්ශණය කොට විවෘත මනසකින් යුතුව සෑම දෙයක්ම ඇසුරු කරන්නේ නම් ඔබට යහපත සැලසෙනවා නොඅනුමානයි! 

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා