කතාවට යෝග්‍යයද?

ඔක්තෝබර් 2018 කතු වැකිය

කතාවට යෝග්‍යයද?

සටහනේ අන්තර්ගතය

කතා කතා... කතා ඉතින් ඉවරයක් නෑනේ නේද? සමාජ ජාලා තුලින් හෝ වේවා පිරිසක් එකතු වූ විට හෝ වේවා කතාම තමයි ඉතින් නේද? මේ කතා නිසාම විටෙක මහා ඇලීමකින්ද... විටෙක මහා ගැටීමකින්ද කටයුතු සිදුවෙනවා. කතාවට යෝග්‍ය පුද්ගලයන් සොයාගැනීමටත්... යෝග්‍ය අයුරින් කතා බස් කරන්නටත් උපකාර වන අපූරු කරුණු කිහිපයක් මෙවර කතු වැකියෙන් විග්‍රහ කරගන්නට බලමු.

සම්මා සම්බුදු පියාණන්වහන්සේ විටෙක කතාවට මුල් කරගන්නේ අතීත, අනාගත හෝ වර්ථමානයට සම්බන්ධ කතා වස්තූන් බව පෙන්වා මේ දේවල් කතා කරන විට කතාවක් කිරීමට යෝග්‍ය පුද්ගලා සහ කතාව කිරීම යෝග්‍ය ආකාරය පෙන්වා දෙනවා.

සූත්‍ර පිටකය > අංගුත්තර නිකාය 1 > තික නිපාතය > දුතිය පණ්ණාසකය > 2. මහා වග්ගය > 7. සත්තම සූත්‍රය > පිටුව 352 (පී.ඩී.ෆ් පිටුව 389)

කතාවට යෝග්‍ය නැති පුද්ගලයා;

  1. යම් ඒකාන්තයෙන්ම විසඳිය යුතු ප්‍රශ්ණයක් ඒකාන්තයෙන්ම නොවිසඳනවා නම්... (විසඳිය යුතු ප්‍රශ්ණය විසඳන්නේ නැතිව වෙන වෙන ප්‍රශ්ණ දාගන්න පුද්ගලයින්...)
  2. විභාග කොට විමර්ශණය කොට විසඳිය ප්‍රශ්ණය විභාග කොට විමර්ශණය නොකර විසඳා නම්... (කැකිල්ලේ රජතුමාගේ තීන්දුව වගේ කතා කරමින් ප්‍රශ්ණ විසඳන්න හදන පුද්ගලයින් ඉන්නේ... අන්න ඒ අය ගැන තමයි මේ කියන්නේ...)
  3. ප්‍රශ්ණ කොට පිළිවිසීමෙන් විසඳිය යුතු ප්‍රශ්ණය පිළිවසීමෙන් නොවිසඳා නම්... (ඇසිය යුත්තන්ගෙන් ප්‍රශ්ණ කරන්නේ නැතිව ප්‍රශ්ණ විසඳන්න හදන පුද්ගලයින්...)
  4. පැත්තකින් තැබිය යුතු ප්‍රශ්ණය නොතබා නම්... (සමහර ප්‍රශ්ණ තිබෙනවා ඒවා කතා කරලා හෝ විසඳන්නට හෝ අවශ්‍ය කරන ප්‍රශ්ණ හෝ එසේ කරන්නට හැකියාවක් තිබෙන ප්‍රශ්ණ නෙවේ. අන්න ඒවා හඳුනාගෙන පැත්තකට කරන්නට හැකියාවක් නොමැති පුද්ගලයින්...)
  5. ප්‍රශ්ණ කරන කාරණාවේ සිටින්නේ නැතිනම්... (අදාල මාතෘකාවට අනුව කතා නොකර පුද්ගලයින් හමුවෙලා ඇතිනේ නේද?)
  6. ඒ කාරණාව ගැන සිහියක් නැතිනම්... (තමන් කතා කරන්නේ මොකක්ද කියලාවත් සිහියක් නැති පුද්ගලයින්...)
  7. පටන්ගත් අනෙකාගේ වාදය තුල නොසිටින්නේ නම්... (මාතෘකාව පටන්ගත්තට අනෙක් කෙනා කියන්නේ මොකක්ද කියලාවත් අදහසක් නැති පුද්ගලයින්...)
  8. ප්‍රතිපත්තියක් නැතිනම්...(ඒ මනුස්සයාට කිසි ප්‍රතිපත්තියක් නෑ... කතා කරලා වැඩක් නෑ කියලා අපි කියනවා නේද? අන්න ඒ වගේ)
  9. කුමක් හෝ ප්‍රශ්ණයක් නැඟූ කල අදාල ප්‍රශ්ණයට පිලිතුරු නොදී මඟ හරිනවා නම්... අදාලම නැති වෙනත් කතාවකින් අදාල ප්‍රශ්ණය වසනවා නම්... (අපි කියන්නේ ලෙස්සලා යනවා කියලා... අන්න එවැනි පුද්ගලයින්...)
  10. ඒ මාතෘකාවෙන් බැහැරට කතාව ඇදගෙන යනවා නම්...(කතාව වෙනත්ම පැත්තකට හරවන පුද්ගලයින්...)
  11. කෝපය හා ද්වේශයත් නොසතුටටත් පහළ කෙරේ නම්... (කතා කරන්නට පටන්ගත්ත ගමන් තරහා ගිහින් බැනලා නොසතුට ප්‍රකාශ කරලා කතාව මඟ හරින පුද්ගලයින්...)
  12. මාතෘකාවට අදාල නොවන බාහිර කරුණු ගෙන හැරපාමින් කතාවට බාධා කරනවා නම්... කතාව නවතා දමන තෙක් බාධා කරනවා නම්... (කතා කරන්න ඉඩ දෙන්නේ නැති පුද්ගලයින්...)
  13. අත් පැහැර මහා හාස්‍යකෙරේ නම්... (හිනා වෙලා... කියන දේ කියලා ඉවර කරන්නත් කලින්ම එයට සවුත්තුව දාලා බාධා කරන පුද්ගලයින් හමු වෙලා ඇතිනේ නේද?)
  14. කතා කරන්නට පටන්ගත් දෙයහි දෝසයක් ඇදලා ගන්නවා නම්.... පරාජය කිරීම පිණිස කරුණක් ඇදලා ගන්නවා නම්... (කියන්නත් කලින්ම එහි වරදක් මතු කරන පුද්ගලයින්...)

කතාව උපනිශ්‍රය සම්පන්නද නැත්ද යන්න දැනගත යුතුයි.  උපනිශ්‍රය සම්පන්න නම් ඒ කතාව යෝග්‍යයයි.  ඒ කියන්නේ උපකාර පිණිසද නැත්ද යන්න පැහැදිලි කරගන්න ඕන.  මොකටද මේ උපකාර?  නිවීම පිණිස... විමුක්තිය පිණිස උපකාරයක්ද නැත්ද යන්න පැහැදිලි කරගන්න ඕන.

උපකාර වූ කුසල් සහිත අරිමඟ දනී නම්... චතුරාර්ය සත්‍ය දනී නම්... සියලු අකුසල් ප්‍රහාණය පිණිස කිව යුත්ත දනී නම්... අරිහත්ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස... විමුක්තිය පිණිස යෝග්‍ය කතාව දනී නම්, අන්න ඒ කතාව අර්ථය පිණිස වේ... උපකාර පිණිස වේ.... කන් යොමු කිරීමට යෝග්‍ය වේ.... චිත්තයාගේ විමුක්තිය පිණිස වේ...

  1. යම් කෙනෙක් කෝපයෙන් විරුද්ධ වෙමින් එහිම බැසගෙන මානයෙන් යුතුව අනුන්ගේ වැරදි සොයමින් ගුණ මකා දමමින් අනාර්ය වූ කතා සල්ලාපයේ යෙදෙනවා.
  2. එවන් පුද්ගලයින් අනුන්ගේ වචනයක පවා වැරදි සොයමින් දුර්භාෂිතයක් ලෙසින් කියමින් දොස් නගමින් පරාජය කරමින් මුලාවී කටයුතු කරනවා...

මෙවන් පුද්ගලයන් කතාවට යෝග්‍ය පුද්ගලයන් නොවේ! (කෙටියෙන් කියනවා නම් කතා කරලා වැඩක් නෑ! කියලා අපි කියන්නේ... මෙන්න මේ වගේ පුද්ගලයින් සමඟයි)

මේ දේවල් වල විරුද්ධ අදහස දරන පුද්ගලයා කතාවට යෝග්‍ය පුද්ගලයා බව හඳුනාගන්නට අදහස තේරුම් ගන්නට ඔබට හැකියිනේ නේද? ඉතින් උතුම් නිවෙන දහමින් සැනසුන ආර්ය පුද්ගලයින් ඉහත පෙන්වූ ආකාරයෙන් කතාවට යොමු වෙන්නේම නෑ. 

යම් අවස්ථාවක කතාවක් කල යුතු නම්... නිසි කාලය හඳුනාගෙන කෝපයෙන් තොරව, විරුද්ධ වීමෙන් තොරව, නොගැටීමෙන් යුතුව... මානයෙන් තොරව... ධර්මයෙන් යුතු යෝග්‍ය කතාවක්ම සිදුකරන්නට තමයි ආර්ය පුද්ගලයන් කටයුතු කරන්නේ.  ඒ පුද්ගලයන් ඉරිසියාවෙන් තොරයි.  අවබෝධයෙන් යුතුවමයි කතාවට බැසගන්නේ.  සුභාෂිතයක්මයි පවසන්නේ.  කිලිටි වූ දුර්භාෂිතයක් නොකියයි.  කාරණයෙන් බැහැරවූ කරුණු ගෙන හැර පාමින් හෝ අන්‍ය පුද්ගලයා එසේ කරන විට හෝ ඒවා අනුව ගොස් ගැටීමට පත් නොවේ.  ප්‍රමාද දෝසයන් නොසලකයි.  කතාවට පැමිණි අන් පුද්ගලයාගේ කතාව නොවලක්වයි.  බාධා නොකර අසා සත්‍යවූ කරුණින්ම ප්‍රතිඋත්තර ලබා දෙයි.  මානයෙන් තොරව මානයම මුල්කරගෙන කතාවන් නොකරයි!  මේ ලෝකයේ නිවී සැනසෙන පුද්ගලයාගේ ස්වභාවයයි!  

ඒ නිසා ඒවා හඳුනාගෙන එවන් වූ පුද්ගලයින් සමඟින්ම කතා කරමින් තම තමන්ගේ නිවීම මතු කරගන්නා ගමන් තමනුත් ඒ තත්වයට පත්කරගන්නට අප්‍රමාදීව කටයුතු කරගන්නට ඔබටද හැකියි!    

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා