කැමති සේ නොලැබීමේ දුක

ජූනි 2016 කතු වැකිය

කැමති සේ නොලැබීමේ දුක

සටහනේ අන්තර්ගතය

සත්ධර්මය තුල පවතින “යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං - යමක් කැමති සේ නොලැබීමද දුකකි” යන්න බොහෝ දෙනෙකුට අසා නුහුරු දෙයක් නොවේ. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තුල චතුරාර්ය සත්‍ය විග්‍රහය තුල පවතින මේ කැමති සේ නොලැබීමේ දුක පිළිබඳව බෞද්ධ යැයි පවසන බොහෝ දෙනෙක් කරුණක් වශයෙන් දන්නවා නොඅනුමානයි. මෙවර කතු වැකිය වෙන් වන්නේ ඉතාමත් ගැඹුරින් විමසා බැලිය යුතු මේ ගැඹුරු දහම් කොටසෙ තමන් තුල ක්‍රියාත්මක වන ආකාරය විමසා දැනගැනීම උදෙසායි.

“යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං - යමක් කැමති සේ නොලැබීමද දුකකි”

පෙර නොඇසූ විරූ ලෝකය නොදන්නා තාක්...

පෙර නොඇසූ විරූ දුක නොදක්නා තාක්...

පෙර නොඇසූ විරූ දහමෙන් පෝෂණය නොවන තාක්...

කැමති සේ නොපවතින ලෝකයක්, තමන්ට කැමති සේ පවත්වා ගැනීමේ හිස් වෑයමක යෙදෙන්නේ...

කෙසෙල් කඳක් පතුරු ගසමින් හරයක් සොයන්නා සේමයි... 

කෙනෙක් අපට රිසි සේ කටයුතු නොකරයි... එන්න අප ඔවුන් සකසමු... 

යමෙක් දහමක් නොදරයි... එන්න අප ඔවුනට බලහත්කාරයෙන් දහමක් දෙමු...

කෙනෙක් අඳිනා ඇඳුම නොගැලපෙයි...  එන්න අප එය අපට රිසි ගැලපෙන විදියට හඳමු...

ඔහු අප කියනා දෙය පිළිනොගනී...එන්න අප කෙසේ හෝ පිළිගන්නවමු... 

අපට රිසි සේ නොවේ නම් අපට ඒ ඇසුර නොවේවා! එන්න අප එකතුවී පතමු...

අපේ සිත් පිරිසිදුයි... එන්න අප තදින් අධිටන් කරමු...

පූජා තබමු... සෙත් පතමු... පහනක් දල්වමු... ඉටි පන්දමක් දල්වමු...

මේ ලෝකය අපට රිසි සේ සකස් වේවා... අඳුර නැතිවී ආලෝකය වේවා...

අපට රිසි දෑ ලොව ප්‍රකට වේවා... අපට රිසි ලොවක් නැඟේවා...

මෙවන් වූ කොතරම් නම් බලාපොරොත්තු ඔබ සිත තුල වේද?

මෙවන් වූ කොතරම් නම් අධිටන් ඔබ තුල වේද?

මොහොතකටවත් බුදු වදන සිහි වූයේ නම් ඔබට...

මොහොතකටවත් දහම නිසි සේ වැටහුණි නම් ඔබට...

මොහොතකටවත් නිසි සිහිය පැවතුනේ නම් ඔබට...

මේ කෙසෙල් කඳ ඔබ පතුරු ගසනේද?

අවිද්‍යාසහගත සිත වංචාවන්මයි කරන්නේ... අනිසිවූ පැතුමන්මයි පතන්නේ...

ඒ උතුම් බුදු වදන... ඒ උතුම් සත්දහම... ලෝකය තන්නන්ට නොව ලෝකයෙන් මිදෙන්නට බව

මොහොතකට හෝ වැටහුණේ නම් ඔබට... 

මිරිඟුවක් වැනි මෙවැනි සංඥා පසු පස දුවන්නේද? 

තවමත් ප්‍රමාද නැත...

නිසි ලෝකයක් පතමින් අධිටන් පූජා කරනු වෙනුවට... 

ලෝකයේ තතු දැන ලෝ නිරෝධය පිණිස අප්‍රමාදී වන්නේ නම් ඔබ...

එයම භාග්‍යයකි... එයම වාසනාවකි... 

විදසුන් නුවණින් විමසා... මේ සියලු අනිසි දෑ මාර දහමේ උඟුලම බව...

හැඳින ගන්නේ නම් ඔබ... එයම භාග්‍යයකි... එයම වාසනාවකි...

රූපයක, වේදනාවක, සංඥාවක... සංකාරයක, විඤ්ඤාණයක නිසි තතු නොදැන...

කැමති සේ ඉටු වේවායි පැතුවා මිස... රැවටුණා පමණක් යැයි දැනගත්තේ නම් ඔබ...

එයම භාග්‍යයකි... එයම වාසනාවකි...

පහනක් දල්වා අනිසි පැතුමන් පතනු වෙනුවට, පහන් දැල්ලෙන් යතාර්ථය නුවණින් විමසුවේ නම් ඔබ...

එයම භාග්‍යයකි... එයම වාසනාවකි...  

කයේ රෝ සුව කරගනු පිණිස සෙත් පැතුම් පතන ඔබ භව රෝගයේ තරම

පිළිකාවක් සේ පැතිර ඇති තරම... නුවණැසින් දක්නේ නම් ඔබ...

එයම භාග්‍යයකි... එයම වාසනාවකි... 

පෙර නොඇසූ විරූ දහම් ඇති සිතක නැඟෙන මෛත්‍රී චිත්තයකත්...

මාර දහමෙන් වැසුනාවූ  බලාපොරොත්තු පොදි බැඳ කටයුතු කරන්නාවූ...

වංචනික සිතකත් සියුම් වෙනස... නුවණින්ම දකියි නම් ඔබ...

එයම භාග්‍යයකි... එයම වාසනාවකි... 

තවමත් ප්‍රමාද නැත...

පියාගේ භූමියට රැස් වන්න... සතර සතිපට්ඨානයේ රැඳුන සිත...

තෙරුවණේ රැකවරණය ලැබෙන සිත... මාර දම් හමුවේ පරාජය නොවන්නේමය...

මඟ නොමඟ වී ඇති බව නුවණින් දැකගන්න...

ප්‍රඥාවන්තව සැඟවුණු අදහස නුවණින් දැක ගනිත්වා...

කැමැත්තෝ කළණ මිතු ඇසුර ලැබ... සත්දහම මතුකරගනිත්වා! 

අවබෝධ වූ දෑම කියන... කියන දේ තමන් තුල පවතින... අවබෝධයෙන් යුතුවම කටයුතු කරන... නුවණින් විමසන විදසුන් වඩන සත්පුරුෂයෙක් වන්නට තෙරුවණේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා! 

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා