අන්ධ සිත දුටු ඇතෙක්!

සැප්තැම්බර් 2019 කතු වැකිය

අන්ධ සිත දුටු ඇතෙක්!

සටහනේ අන්තර්ගතය

බුදු හිමියන්ගේ කාලයේදී විවිධ මත දරන... විවිධ දෘෂ්ඨි සහිත වු... විවිධ අදහස් දරන බමුණු පිරිසක් ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව තමන් තමයි නිවැරදිම ලෙසින් තර්ක වාද කරගන්නට යෙදුන අවස්ථාවක් තිබුණා. වචන කියන්නේ පුදුමාකාර ආයුධ නේ. ඉතින් මේ වචන නමැති තියුණු ආයුධ වලින් එකිනෙකාට හානි කරගන්නට යෙදුනා. “ධර්මය කියන්නේ මෙයයි... මේ තමයි නිවැරදිම ධර්මය... ඔය කියන්නේ ධර්මය නෙවේ... ධර්මය මෙහෙමයි... ධර්මය අරහෙමයි...” මේ අවස්ථාවේ බුදු හිමියන්ගේ ප්‍රතිචාරය කොහොම එකක්ද කියලා අදාල සූත්‍ර දේශනාවෙන්ම විමසා බලන්නට උත්සාහයක් ගනිමු.

“මහණෙනි, ඔය වාද විවාද කරගන්නේ ධර්මය නොදත් අන්‍ය ආගමිකයන්... ඒ අය අන්‍ධයෝ ය, පැණැස නැත්තෝ ය. වැඩ නො දනිත්. අවැඩ නො දනිත්. දහම නො දනිත්. නොදහම් නො දනිත්. ඔහු වැඩ නො දන්නාහු, අවැඩ නොදන්නාහු, දහම නොදන්නාහු, නොදහම නොදන්නාහු, ‘දහම මෙ බඳුය ය, දහම එ බඳුය නො වේ. දහම එ බඳුය නො වේ, දහම මෙ බඳු යැ’යි හටගත් භණ්ඩන ඇත්තෝ, හටගත් කලහ ඇත්තෝ, විවාදයට බටුවෝ, උනුන් මුඛ අඩයටිවලින් විදුනාහු වෙසෙත්.”

ඔන්න දැන් ඉතින් මහා මාන්නයකින් ඉපිලෙන්න එපා මේ බුදු හිමියන් අන්‍ය ආගමිකයන් කියන්නේ වෙනත් ආගම් වලට බුදු දහම සරණ ගිය අපි තමයි ධර්මය දන්නේ. මේ අන්ධයි කියන්නේ වෙනත් ආගමිකයන්ටය කියලා.  මෙතැන නුවණින් අවබෝධ කරගත යුතු කාරණය තමයි සත්ධර්මය අවබෝධ කරගෙන සෝතාපන්න ඵලයෝ නොපිහිටියාවූ... අඩුම තරමින් ධර්මය මෙය යැයි අනුමාන නුවණින් අවබෝධ කරගෙන සෝතාපන්න මාර්ග අනුගාමිකත්වයටවත් පත් නොවූවාවූ... සියලුම පිරිස් මේ කියන අන්‍ය ආගමික තත්වයේ සිටින්නෝ තමයි.  බුදු දහම කියන්නේ වචන පද පෙලක් දැනුවත් වීම නොවෙන බව නුවණින් දුටු ඇත්තෝ මේ කියන කාරණය පහසුවෙන්ම අවබෝධ කරගනීවි.

ඉතින් මේ ආයුධ වලින් පහර ගහගෙන විනාශ වනවා වගේ තමන් නිවැරදියි යැයි සිතාගෙන විවාද කරගන්නා පිරිසගේ සැබෑ තත්වය තේරුම් ගැනීම උදෙසා බුදු හිමියන් විසින් අප බොහෝ දෙනෙක් දැනටමත් අසා ඇති කතාවක් පවසනවා.

සැවැත් නුවර එක්තරා රජෙක් එක දවසක් උපතින්ම අන්ධ වූ පුද්ගලයන් කිහිප දෙනෙකු රැස් කරවන්න කියලා අණ කරනවා. ඉන්පසුව පැමිණි අන්ධ පුද්ගලයන් හට ඇතෙකු ලබා දුන්නා.  ඉන්පසුව ඒ උපතින්ම අන්ධ පුද්ගලයින් හට, රාජ පුරුෂයන් ලවා මේ ඇතාව අතගාමින් පරික්ෂා කරන්නට අවස්ථාව සලසා දුන්නා.

එක් අන්ධ පුද්ගලයෙකුට හිස අතගාන්නට ලබා දුන්නා... තවත් කෙනෙකුට කණ... තවත් අයෙකුට ඇත් දළය... තවත් කෙනෙකුට සොඬ... තවත් අන්ධ අයකෙුට කඳ... පය... කළවා... නඟුට... ආදී ලෙසින් අතගාන්නට ලබා දුන්නා... රාජ පුරුෂයන් රජතුමාට කිව්වා දැන් නම් අන්ධ පිරිස ඇතාව විමර්ශණය කලා... ප්‍රශ්ණ අහනවා නම් ඔවුන් දැන් සූදානම් කියලා... ඔන්න ඉතින් රජතුමාත් අන්ධ අයව ගෙන්නලා... ඔබලා හිතන විදියට ඇතා කුමන ආකාරයක් ගනීදැයි විමසා සිටියා...

හිස අතගෑව අන්ධ පුද්ගලයා කිව්වා ඇතා කළයක් වගේ... කන් ඇල්ලූ කෙනා කිව්වා කුල්ලක් වගේ කියලා... දළ ඇල්ලූ කෙනාට සීවැලක් වගේ කිව්වා... හොඬ අතගෑව කෙනාට අනුව නගුලිස වගේ වුණා... අටුවක් වගේ... කණුවක් වගේ... වංගෙඩියක් වගේ... මේ විදියට ඔවුන් මින් පෙර මේ ලෙසින් අත පත ගා උගෙන ගත් යමක් වී නම් අන්න ඒ දේවල් වලට සමාන කරලා ඇතා මෙන්න මෙහෙමයි කියලා දැක්වූවා. 

අන්තිමට තමන් තමයි නිවැරදිම කියලා ඔප්පු කරගන්න මේ අන්ධ පිරිස මහා විවාදයකට පැටලුනා... අතින් පයින් පහර ගසා ගන්න තරම් විවාදය ප්‍රබලත් වුණා.  මේක බලාගෙන රජතුමා නම් බොහෝම සතුටක් වින්දා... මේ විදියට ඉතින් දිගටම මේ කතාවට සම්බන්ධ කරලා බුදු හිමියන් වාද විවාද කරගැනීම ගැන මේ සූත්‍රයේ දිගට තියෙනවා.  කියවලා බලන්න.  මේ සටහන ඔස්සේ ඇත්තටම මට නම් අවශ්‍යය වෙනමම කරුණක් මතු කර දෙන්නටයි. 

අපගේ එදිනෙදා ජීවන කටයුතු වලදී වුවත් සසර පැවැත්ම අවසන් කරන නිවන් මාර්ගයේදී වුනත් ඉතාමත් වැදගත් වන කාරණයක් බුදු හිමියන් පෙන්වූ මේ කතාවෙන් අපට තෝරාගන්න තියෙනවා.  කතාව කියන්නම මෙවර කතු වැකිය වෙන්වූ නිසා මීලඟ කතුවැකියෙන් මතු කර දෙන්නට අවශ්‍ය කල කාරණය පෙන්වා දෙන්නට උත්සාහ කරන්නම්!

එතෙක් මේක කියවන පින්වත් මිතුරන් විසින් හැකිනම් ඇතාව දැකගන්නට උත්සාහ කරන්නකෝ...

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා