සක්වළ විස්තර

සැප්තැම්බර් 2018 කතු වැකිය

සක්වළ විස්තර

සටහනේ අන්තර්ගතය

සිඛී බුදු හිමියන්ගේ කාලයේ සිටි අභිභු ශ්‍රාවකයා බඹලොව සිට දහසක් සක්වළට ඇසෙන්නට තම හඬ පතුරවන්නට හැකි යැයි අසා තිබෙනවා, එසේ නම් සම්මා සම්බුදු පියාණන්වහන්සේට කොතරම් නම් ප්‍රමාණයකට තමන්වහන්සේගේ හඬ විහිදුවන්නට හැකිදැයි? විටෙක ආනන්ද හිමියන් බුදු හිමියන්ගෙන් අසනවා. එවිට බුදු හිමියන් පවසන්නේ ඒ ශ්‍රාවකයන්ට හැකි පමණයි... සම්මා සම්බුදුරජාණන්වහන්සේලාට අපරිමිතව හඬ පැතිරිය හැකි ලෙසටයි.

එහෙත් ආනන්ද හිමියන්ට ඒ අපිරිමිතය කොතරම්දැයි අසාගන්නටම ඕන වුණා.  එවිට මෙන්න මෙහෙම පිළිතුරක් බුදු හිමියන්ගෙන් ලැබෙනවා.

සූත්‍ර පිටකය > අංගුත්තර නිකාය 1 > තික නිපාතය > දුතිය පණ්ණාසකය > 3. ආනන්ද වග්ගය > 10. දසම සූත්‍රය (චූළ නිකා සූත්‍රය / සහස්සී ලෝකුධාතු විඤ්ඤාපන සූත්‍රය) > පිටුව 402 (පී.ඩී.ෆ් පිටුව 439)

සඳ හිරු බබළන, දිශා ඇති යම්තාක් තැනක් වේද එයට දහසක් සක්වළ යැයි කියයි.  ඒ දහසක් සක්වළෙහි සඳ 1000ක්, හිරු 1000ක්, මහමෙරු පර්වත 1000ක්, ජම්බුදීප 1000ක්, අපරගොයාන 1000ක්, උතුරුකුරු දිවයින් 1000ක්, පූර්වවිදේහ 1000ක්, සතර මහාසමුද්‍රයෝ 1000ක්, සතර මහා රාජයෝ 1000ක්, චාතුර්මහාරාජික දෙව් ලෝ 1000ක්, තාවතිංස දෙව්ලෝ 1000ක්, යාම දෙව් ලෝ 1000ක්, තුසිත දෙව් ලෝ 1000ක්,  නිම්මාණරතී දෙව් ලෝ 1000ක්, පරනිම්මිතවසවත්ති දෙව් ලෝ 1000ක්, බ්‍රහ්මලෝක 1000ක්.  මෙයට සහස්‍රී චුලනිකා ලෝක ධාතුව යැයි කියනු ලැබේ.

මෙසේ ද්විසහස්‍රී මධ්‍යම ලෝක ධාතුවක්ද, ත්‍රිසහස්‍රී මහා ලෝක ධාතුවක්ද ලෙසින් මේ ආකාරයේ දහසක් සක්වළ එකතුවූ කල ඇති සක්වළ විග්‍රහයක් පෙන්වා දී ඒතරම් හෝ කැමැත්තේ නම් ඉන් එපිටටද ආලෝකයක් මෙන් පැතිර ගොස් හඬ අස්සවන්නට හැකි යැයි ඒ භාග්‍යවත්වූ සම්මා සම්බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන්නා.  මෙය අසා ආනන්ද හිමියන් ප්‍රීතිමත්ව මාගේ ශාස්තෘන්වහන්සේ මෙබඳු එර්දි ඇති... මෙබඳු බල ඇති මහා මුනින්ද්‍රයන්වහන්සේ කෙනෙක්මයි තමන්වහන්සේට මහත්වූ ලාභයක්මයි සතුට ප්‍රකාශ කලා. 

ඇත්තටම ඉතින් මම මේ කාරණය කියන්නට මුල්වුනේ මේ දේට අමතරව තවත් වැදගත් කාරණයක් පෙන්වා දෙන්නටයි.  සම්මා සම්බුදු පියාණන්වහන්සේගේ සත්දහම අංශු මාත්‍රයක්වත් අත්දැක තියේ නම් බුදු හිමියන්ගේ මෙවන් වූ හැකියාවන් ගැන කිසිදු සැකයක් ඇතිවෙන්නේ නෑ.  ඒ වගේම තමයි බුදු හිමියන් විසින් පෙන්වා දුන්නාවූ මේ කරුණු කාරණා කෙරෙහිද ප්‍රීතියක්ම දැනෙනවා මිස සැකයක් ඇතිවෙන්නේ නෑ. 

ඒ නිසා සිහිබුද්ධියෙන් සිතා බැලිය යුතු තව කාරණයක් තියෙනවා.  අප තමයි මේ ලෝකයේ මහා ලොක්කෝ... අපට ඉහළින් කව්රුවත් නෑ ලෙසින් සිතාගෙන හෝ වේවා... බුදුහිමියන් අපේ තමයි සිතාගෙන හෝ වේවා... ජම්බුද්වීපය මෙන්න මෙතනයි සිතාගෙන හෝ වේවා... අපේ සක්වළ තමයි එකම සක්වළ ලෙසින් සිතාගෙන හෝ අයිතිවාසිකම් කියමින් තර්ක වාද ගෙනෙමින් භෞතික වූ දෑ ඔප්පු කරමින් කාලය නාස්ති කිරීම මේ කරුණත් සමඟ බලන කල කොතරම් නොවටිනා දෙයක්දැයි අංශු මාත්‍ර හෝ සිතට දැනෙනවා නම් අන්න එතැනයි ඔබේ ප්‍රඥාවන්තභාවය නැඟෙන්නේ.

ඒ විතරක් නෙවේ යම් සමාධි බලයකින් ලැබූ දෙයක් නිසා මාන්නයෙන් තමන්ට ලැබී ඇති හැකියාව මහා හැකියාවක් සේ ආඩම්බරයක් දැනෙනවා නම් ශාස්තෘවරයාණන්වහන්සේගේ ඥානය හමුවේ එය පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් නොවටිනා බවම දැනෙනවා නම් අන්න එතැනයි ඔබේ ප්‍රඥාවන්තභාවය නැඟෙන්නේ.

අන්න එතැනයි මෙවැනි ශාස්තෘවරයණාන්වහන්සේ කෙනෙකු අපට ලැබිලත් උන්වහන්සේ කියූ දේ අප අවබෝධ කරගත්තාද, ඒ අනුව ක්‍රියාත්මක වෙනවාද කියන දේ සොයාබලන්නට අපට නුවණක් විරියක් ලැබෙන්නේ.

ඒ නිසා බුදු හිමියන් ජීවත්ව සිටි කාලයේ මඟ සලකුණු සොයන්නට වැයකරන කාලයත් ඒ උත්තමයාණන්වහන්සේ විවර කල ධර්මය කුමක්දැයි සොයා බලන්නට කැප කරමින් අප්‍රමාදීව ඔබ ලබා ඇති දුලභ මනුස්ස ජීවිතයෙන් සිදුකල යුත්ත කරගන්නට උත්සාහවන්තවනේ නම් අගනේය.  අපගේ උතුම් ශාස්තෘවරයාණන්වහන්සේ අගය කල නිවීම ලබනට අප්‍රමාදී වෙන්නට මේ කරුණු උපකාරයක්ම වේවා!

මේ සියලු ලෝක සියලු සත්වයන් හට තෙරුවන් සරණින් නිවනම වෙත්වා!රියාත්මක වෙනවාද කියන දේ සොයාලෙ

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා