අනර්ථකාරී කලබලය

දෙසැම්බර් 2024 කතු වැකිය

අනර්ථකාරී කලබලය

සටහනේ අන්තර්ගතය

ගිය වර කතු වැකිය ඔස්සේ අප්‍රමාදී බව ලෙසින් කලබල වීම පටලවා ගත් හදිස්සි කාරයන්ට මඟ නොමඟ වීමට ඇති ඉඩ ගැන විමසන්නට කාරණා කිහිපයක් ඉතාමත් කෙටියෙන් පෙන්වා දුන්නා නේ. ඉතින්, මෙවර කතු වැකිය තුලින් ප්‍රායෝගිකව තමන් තුල මේ වරද, අඩුපාඩුව සිදු වෙනවා දැයි විමසා බලන්නට යමක් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නම් කියලත් කිව්වනේ. එහෙනම්, අපි ඒ ගැන කතා කරමු!

දැන් ඉතින්, පොඩි වෙලාවක්... මේ කියන කාරණා ඔස්සේ භාවනාවක් කරනවා හා සමානව තමන් තුලට කිඳා බැහැලා අවංක වෙලා තමන් තුල මේ කියන තත්වයන් තියෙනවා ද කියලා බලන්න ඕන!  අපි ගිය වර කතා කල දානය සම්බන්ධ කාරණා තුලින් ම ආරම්භ කරමු කෝ!

දැන් බලන්න ඔබට තිරිසන් සතෙකුට... හෝව්... හෝව්... ඔබගේ සුරතල් සතා ව විතරක් නම් මතක් කර ගන්න එපා ඕං හොඳේ! යාචකයෙකුට... සාමාන්‍ය ඔබට හමු වන ඕනෑම පුද්ගලයෙකුට... ඕනෑම ආගමක දහමකට සම්බන්ධ තාපසයෙකුට, පූජක තුමෙකුට... දුශ්ශීල යැයි ඔබට හැඟෙන භික්ෂුවකට හෝ භික්ෂුණියකට... ඔබ කොතරම් දන් දෙනවද?  ඔබට ඔබේ සිත තුල කිසිම ගැටලුවක්... කොන්දේසියක් නැතුව දන් දෙන්නට පුළුවන් ද?  දන් දෙනවා කිව්වාම ඕනෑම දෙයක් නේ නේද?  කෑම වේවා... වස්ත්‍ර වේවා... ඉන්න හිටින්න තැනක් හෝ ඒ ස්ථාන වලට සම්බන්ධ දේවල් වේවා... බෙහෙත් ඖෂධ ආදී මූලික අවශ්‍යතා හතර කියමු කෝ.  මේ දේවල් ඔබට කිසිම ගැටලුවක් නැතුව දෙන්න පුළුවන් ද?  අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නේ “දෙ පාරක් හිතන්නේ නැතුව“ දෙන්න පුළුවන් ද?

දීලා වැඩක් ම නෑ කියලා හිතෙනවද?  දීම තුලින් තමන්ට ලැබෙන ඵලය ගැන හිතෙනවද?  වැඩියෙන් ම වාසි කාට දුන්නොත් ද කියලා බැලෙනවා ද? ඉතින්, සරලවම කියනවා නම්, “දීම“ තුල තිබෙන්නේ අතහැරීමේ ගුණය නේ... “අතහැරීම“ කියන හැකියාව, කුසලතාවය ඔබ තුල වර්ධනය වෙන ආකාරයෙන් ඔබ මේ කියන අවස්ථා තුල දී දෙන්නට දක්ෂයි ද? 

දැන් අවංක වෙලා උත්තරය ගන්න!  ගත්ත ද? 

හොඳයි! එහෙනම්, දැන් මේ කිවූ ආකාරයෙන් අතහැරීමේ කුසලතාවය, දක්ෂතාවය ඇතිව කොන්දේසි විරහිතව මේ කියන අවස්ථා වල දී දන් දෙනවා නම් ඔබ එය කොතරම් වතාවක් සිදු කරනවා ද?  ඒ කියන්නේ අවුරුද්දකට සැරයක් ද? මාසයකට සැරයක් ද? සතියකට සැරයක් ද? දිනකට වතාවක් ද? ඔබට මේ කියන තත්වයන් තුල යමක් දීමට අවස්ථාවක් ලැබෙන්නේ කොතැන ද ඒ අවස්ථාව මඟ නොහැරගෙන කොන්දේසි විරහිතව ඔබ දන් දෙනවද? 

ඉතින්, මේ කිසිම දෙයක් ඇතුලාන්තයෙන් අවංක වෙලා විමසන්නේ නැතුව නම් ඔබ තෙරුවන ඔබගේ වාසිය පිණිස අවභාවිතා කරන්නේ ඔබ කර ගන්නේ මහත් වූ විනාශයක් හොඳේ!  වේලාම සූත්‍රය වගේ ධර්ම දේශනාවන්ගේ ගැඹුරු අර්ථයන් නොදැන ඒවා අවභාවිතා කරමින් “අනිච්ච සංඥාව වැඩීම තමයි අග්‍ර“ කියලා ඔබට හිතෙනවා නම්, ඔබට සිද්ධ වන අනතුර විනාශය හොඳින් අවබෝධ කර ගන්න එපැයි නේද?

වේලාම සූත්‍රය තුල සම්මා සම්බුද්ධ රත්නය පෙන්වා දෙන හරිම වැදගත්, ගැඹුරු දහම් කොටසක් තියෙනවානේ.  ඒ තමයි, තමන් වහන්සේ බෝසත් අවධියේ දී වේලාම නම් පුරෝහිත වෙලා ඉන්න කාලයේ දී තමන්ගෙන් ශිල්ප ඉගෙන ගත් සියලු රජවරුන්ගේ සහාය ඇතිව තමන් විසින් පෘතග්ජන පුද්ගලයන් උදෙසා අඛණ්ඩව දුන් දානයක් ගැන පෙන්වා දෙනවා.  ඒ දානයට කටයුතු සියල්ල සූදානම් කරලා... ඒ දානය ආරම්භ කරන්නට මත්තෙන් උන්වහන්සේ සිද්ධ කල සත්‍ය ක්‍රියාවක් වැනි වූ අධිෂ්ඨානයක් ගැන බුදු හිමියන් විසින් පෙන්වා දෙනවා.

වේලාම බෝසතුන් වහන්සේ රන් කෙණ්ඩියක් ජලයෙන් පුරවා, “මේ ලෝකයේ මේ දානය පිළිගැනීමට සුදුසු වූ උත්තම පුද්ගලයෝ ඉන්නවා නම් මේ රන් කෙණ්ඩියේ ජලය නික්ම ගොස් පොළවටම එකතු වේවා! එසේ පිළිගන්නට සුදුසු කිසිවෙක් නැත්නම් මේ රන් කෙණ්ඩියේ ජලය එසේම තිබේවා“ කියලා රන් කෙණ්ඩිය යටිකුරු කොට මුනින් අතට හරවා පොළොවේ තබා තිබෙනවා.  නමුත් මොකද වුණේ... වතුර පොඩ්ඩක්වත් කෙණ්ඩියෙන් ඉවතට ගිහින් නෑ... පොළොව තෙත් වෙලාවත් නෑ!  නමුත් ඉතාමත් ලස්සනට පෙන්වා දෙනවා ඒ බව දැක්කාම “අනේ මගේ දානය පිළිගන්නට සුදුසු උතුම් කව්රුවත් මේ ලෝකයේ නෑනේ කියලා සිත විපිළිසර වෙන්නේ නැතුව... උන්වහන්සේ නැවත තමන් වහන්සේගේ ඇතුලාන්තය දකිමින් සත්‍ය ක්‍රියාවක් සිදු කරනවා.  ඒ තමයි, “දානය භාර ගන්නේ කව්රුන් වුවත් දායකයා වශයෙන් මාගේ දායකත්වය පිරිසිදු නම් මේ රන් කෙණ්ඩියේ ජලය නික්ම ගොස් පොළවටම එකතු වේවා! එසේ නොවේ නම් මේ රන් කෙණ්ඩියේ ජලය එසේම තිබේවා“ කියලා.  ඒ වෙලාවේ රන් කෙණ්ඩියේ ජලය පොළවටම එකතු වුණා කියලා දක්වනවා.  ඉතින්, වේලාම බෝසතුන් ඉතාමත් උත්කෘෂ්ට අන්දමින් දිනපතා දන් දෙනවා.  ආහාර පාන, වස්ත්‍ර, සේනාසන, ඖෂධ, රන් රිදී මුතු මැණික් ආදී අවශ්‍ය යැයි සම්මත බොහෝ දේ දන් දෙනවා. 

අපේ බුදු පියාණන් වහන්සේ, “වේලාම බමුණාට තමන් විසින් දිනපතා දුන් එවැනි උත්කර්ෂවත් දානයක් ලබන්නට සුදුසු උතුමන් ලෝකයේ සිටියේ නෑ... නමුත් පිරිසිදු සිතින්... කොන්දේසි විරහිත සිතින් දන් දුන්නා... ඔබ මා වැනි බුදු කෙනකුන් ලොව දක්නට ලැබෙන විට දානය දෙමින් කුමන හෙයින් සිතන්නෙහි දැයි?“ දානය ගැන අහන්නට පැමිණි අනාථ පිණ්ඩික සිටු තුමාට දානය තුලින්ම අවබෝධ කල යුතු විමුක්තිකාමී ධර්මය පෙන්වා දුන්නා.

දැන් බලන්න ඔබගේ සිත මේ වේලාම බෝසත් තුමාගේ සිත වගේ ද?  තිරිසන් සතෙකුට... යාචකයෙකුට... සාමාන්‍ය ඔබට හමු වන ඕනෑම පුද්ගලයෙකුට... ඕනෑම ආගමක දහමකට සම්බන්ධ තාපසයෙකුට, පූජක තුමෙකුට... දුශ්ශීල යැයි ඔබට හැඟෙන භික්ෂුවකට හෝ භික්ෂුණියකට... ඔබ කොතරම් දන් දෙනවද?  ඔබට ඔබේ සිත තුල කිසිම ගැටලුවක්... කොන්දේසියක් නැතුව ඕනෑම දෙයක් ඕනෑම අවස්ථාවක දන් දෙන්නට පුළුවන් ද? ඔබ සන්තක ව ඇති එකම දෙයක් වුවත්?  ඔබට කන්නට ඉතිරිව ඇති එකම කෑම වේල වුණත්?  ඔබට දෙන්නට පුළුවන් ද?  මෛත්‍රී සහගත සිතින් යුතුව විහරණය කිරීම අග්‍රයි නම්... අනිච්ච සංඥාව වැඩීම අග්‍රයි නම්... ඔබ ඔය කියන ඔබේ වංචනික සිත විසින් ඔබට පෙන්වා දෙන අග්‍රතම කටයුත්ත නම් දැන් කරන්නේ ඔබට මේ කිව්ව කොන්දේසි විරහිතව දන් දීම කියන දේ කිසිම අපහසුවක් නැතිව සිද්ධ වෙන්න ඕන දෙයක් නේ!  මොකද ඒ අග්‍රතම විහරණයේ වාසය කරන ඒ උතුම් පුද්ගලයින්ට තමන්ගේ ජීවිත කෙරෙහි පවා ආශාවක් නෑ!  ඇසුරක් ගහන මෙහොතක පවා දිවි දෙවැනි වී සිද්ධ වෙන භාවනාවක් තමයි ඒ සිද්ධ වෙන්නේ!

ඉතින්, අවංක වෙලා බලන්න... ඔබ මොකද ඇත්තටම කරන්නේ කියලා?  නිවැරදිව බුදු හිමියන්ගේ අවවාද අනුශාසනා හැඳින ගෙන නිවැරදි වූ මාර්ගයේ ගමන් කරනවා ද නැත්නම් බොරු සටකපට වංචාකාරී ගති වඩමින් මාන්නයෙන් උඩඟු කමින් මාර්ග ඵල ලාභීන් ලෙසින් මායා ගති දක්වමින් ආර්ය මහා සංඝ රත්නයට තබා සතෙකුටවත් කෑම ටිකක් දෙන්නට සිතක් පහල නොවන තරම් ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් බරිත වෙලා ද කියලා!

දැන් මේ කිවූ ලැයිස්තුව තුල ආර්ය මහා සංඝ රත්නය ඇතුලත් කලෙත් නෑනේ...! දැන් අවංක වෙලා බලන්න මේ ලැයිස්තුව තබා, “ආර්ය සංඝ රත්නය“ කියන උත්තම තත්වය හඳුනා ගන්නට ඔබ දක්ෂ ද කියලා?  ඔබට “දුශ්ශීල“ යැයි ඔබ විශ්වාස කරන භික්ෂුවක්, භික්ෂුණියක් තුල ආර්ය මහා සංඝ රත්නය දැක ගන්නට හැකි ද?  අඩුම තරමේ සීලවන්ත යැයි ඔබ විශ්වාස කරන සාමාන්‍ය පුද්ගලයෙක් තුල සෝතාපන්න ආදී මාර්ග ඵල ලාබී ආර්ය උතුමන් සිටිය හැකි බව දකිමින් දන් දෙන්නට ඔබ දක්ෂ ද?  ඔබ කොතරම් වතාවක් සංඝයා උදෙසා දන් දෙනවද?  බුද්ධ පූජාවක් දකින කොටත් ඔබට හිතෙන්නේ මොන බොරු වැඩ ද අනිච්ච සංඥාව වැඩීම තමයි වෙන්න ඕන කියල ද? 

බුදු රුවක් දකින විට පවා විමුක්තිය පිණිසම වූ බුද්ධානුස්සතිය වඩා ගන්නට හැකියාව තිබෙන විට ඔබට හිතෙන්නේ පැත්තකට ගිහින් ආනාපාන සතිය වගේ ගැඹුරු භාවනා කල යුතුයි... එහෙමත් නැත්නම් ඔබගේ පෘතග්ජන මානසිකත්වයෙන් අනිච්ච සංඥාව එන විග්‍රහයක් එක්ක බුදු රුවත් අනිච්චයි නේ... බුදු රුවත් ශුන්‍යයයි නේ වගේ අදහස් ද?  එතැන තමයි මොහොතක් හෝ අනිච්ච සංඥාව වැඩෙන්නේ කියල ද ඔබට හිතෙන්නේ?

ඔබ තුල සකස් වන ලෝභය හඳුනා ගන්නට.. ද්වේශය හඳුනා ගන්නට... මෝහය හඳුනා ගන්නට දක්ෂ භාවයක් ඇතිවෙනවා වෙනුවට ඔබ මේ වගේ කලබල කාරයෙක් වෙලා එන්න එන්නම මොට්ට වෙලා යනවද කියල බලන්න ඕන.  ඔබ අභිධර්ම පිටකය ම පාඩම් කර ගත්තත්... සකස් වන සිත් ගැන ගිරවෙක් වගේ කියන්න පුළුවන් වුණත් ඵලක් නෑ ඒ සකස් වන සිත් ඒ, ඒ තැන ම හඳුනා ගන්නට දක්ෂකමක් ඔබ තුල නැත්නම්!  වංචනික ධර්ම හරිම භයානකයි මිත්‍රයා! ප්‍රවේශමෙන්!!! 

මේ බුද්ධ ශාසනයත් මඟ හැරෙන අන්ත අසරණ කම්මැලි සටකපටයෙක් බවට පත් වෙලා නතර වෙන ඔබගේ කෙලෙස් මට්ටම් විනිවිද දැක්කද? මේ වගේ පුංචි සටහනක් තුලින් මේ සියල්ල පැහැදිලි කරන්නට නොහැකියි.  නමුත් අංශු මාත්‍ර හෝ නුවණක් තියෙන කෙනෙක් නම් ඔබට මේ ටිකත් ඇති ඔය සිද්ධ වන අනතුර හඳුනා ගන්නට! අති දුර්ලභව ලැබෙන බුද්ධ ශාසනයක් කියන්නේ සසර පුරා පුරුදු කල මොට්ටකම් හඳුනා ගන්නට ලැබෙන එකම අවස්ථාවයි!  ඒ මොට්ටකම් වලටම යට නොවෙන්නට වග බලා ගන්නා ප්‍රඥාවන්තයින්ට ඒ, ඒ බුද්ධ ශාසන තමන්ගේ සසර ගමනේ ලැබෙන අවසාන බුද්ධ ශාසනය බවට පත් කර ගන්නට හැකි වෙනවා.  නැත්නම්, අනන්ත බුදු සසුන් මඟ හැර ගනිමින් එකම පිස්සුව නටමින් දිගින් දිගට සංසාර චක්‍රයේ රෝන්දේ ගහනවා! 

ඉතින්, පෙර නොඇසූ විරූ ගැඹුරු වූ තථාගත ශ්‍රී සත්ධර්මය අවබෝධ කර ගැනීමට ශ්‍රද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව ම ලැබේවා!!! අනිමිත්ත, අප්පණිහිත, ශුන්‍යත ආදී උත්කෘෂ්ඨ සමාධි ලබමින් මේ ගෞතම බුදු සසුනේ දීම විමුක්ත වීමට ලැබේවා!!!  

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා