මහා රෞරවය නරකය

මහා රෞරවය නරකය

අටමහා නරකයෙහි පස්වැනියට විග‍්‍රහ වන මහා රෞරවය නම් නරකය පිළිබඳවත් ඒ දුක් නිරෝධ කරගැනීම පිණිස ලෝකය විග‍්‍රහ කරගැනීමත් ආදී කරුණු මේ ලිපිය තුලින් තෝරාගනිමු.  සුපුරුදු පරිදි විවෘත මනසකින් යුතුව මේ සසර පැවැත්මේ රුදුරු බව වටහාගෙන වහ වහා අප‍්‍රමාදීව ඒ වැනි අසාර පැවැත්මකින් මිදී යාම පිණිසම උපකාර කරගැනීමේ අරමුණින් යුතුවම කියවීමට ආරාධනා කරමි.

අතිශයින් රෞද්‍ර වූ ගින්නෙන් හා දුමින් තවනු ලබන සත්ත්වයන්ගේ නිරතුරු පවත්නා මහ හඩ ඇති නිසා ද, නිරිසතුන්ගේ ශරීරවලින් ගලන ලෙයින් පිරී තිබෙන නිසා ද ඒ නරකයට මහා රෞරව නරකය යි කියනු ලැබේ.  මෙම නරකය ගිනිගෙන දිලිසෙන, කැකෑරෙන ලෝදියෙන් පිරී ඇත. නිරිසත්වයෝ මේ ලෝදියට වැටී තැම්බි තැම්බි දුක් විඳවති. ලෝදියෙන් ගොඩනැගෙන විට යමපල්ලෝ උල්වලින් ඇන නැවතත් ලෝදියට ම දමති. කරගෙන ඇති කර්මයේ බලය නිසා මැරෙන්නේද නැත. "මහාරෞරව" නිරය "රෞරවයට" වඩා ප‍්‍රමාණයෙන් විශාල යි. මෙහි බුර බුරා නැගෙන ගිනිදැල් තුළ උදුනක මෙන් තැම්බෙමින් නිරිසතුන් නිමක් නැති වදවේදනා විඳිමින් හඬ හඬා කෑගසා වැළපෙන බව ධර්මයේ විස්තර වෙනවා.  

පෙර ලිපියේදී ලෝ සතුන්ගේ සිත කය වචනය නිතරම පාහේ රෞද්‍ර ගති ඇතිව ඔරවාගෙන රවාගෙන ඇතුලත කෝපයෙන් පිරුණු ස්වභාවයෙන් යුතුව තිබීම රෞරවයට පත්වීම පිණිස හේතුවන බව විස්තර කරගන්නට යෙදුනා.  මේ ස්වභාවයේ අධික බවත් මව්පියන් ගුරුභවතුන් ඇතුලූ ගුණ මහත්වයෙන් යුතු පිරිසට කරන්නාවූ නපුරුකම් තරහා ගති ස්වභාවයන් හේතුවී මෙවැනි තවත් භියකරු තත්වයන්ට පත්වීමට හේතුවෙනවා.  

ඉතින් ක‍්‍රමයෙන් භියකරු බව වැඩිවෙන අට මහා නරකයන්ගේ භියකරු ස්වභාවය අමුතුවෙන් කියන්නට අවශ්‍ය නෑනේ නේද?  මේ අතිභයංකර තත්වයන්ට තමන් පත්වන්නේ තමන්ගේම වැරදි වැටහීමක් නිසා බව තෝරාගන්නට ඔබට හැකියාවක් ලැබෙනවා නම් අන්න එතැන් පටන්ගෙන තමන්ගේ වරද නිවැරදි කරගන්නටත් කිසිවෙකු මත යැපෙන්නේ නැතිවම ඔබට හැකියාවක් ලැබෙනවා නේද? මේ ලිපි පෙල තුල මේ අතිශයින්ම දුක්ඛිත තත්වයන්ගෙන් මිදීමේ ක‍්‍රමය පාදා ගැනීම පිණිසත් කරුණු රැසක්ම ගොනු කරන්නේ ඒ දේ තෝරාගැනීම පිණිසමයි.  

තමන්ටම කියලා පුංචි ලෝකයක් නිර්මාණය වන්නේ කුමක එකතුවකින්ද?  ඒවායේ ස්වභාවය කුමක්ද?  මේ දේවල් විමර්ශණය කරලා නුවණින් දැකීම ඉතාමත් වැදගත් වෙනවා.  

ඔබට හමුවන නොවන සියලූම ආකාරයේ හටගත්තාවූ සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු කියන්නාවූ සෑම දෙයකටම පොදු වූ ධර්මතාවයක් තියෙනවා.  ඒ මොකක්ද?  "යමක් හටගත්තා නම් විපරිණාමයට පත්වී විනාශයට පත්වීම" කියන්නාවූ ධර්මතාවය.  මෙන්න මේ ධර්මතාවයෙන් යුතු සත්වයන් අතරින් කොටසක් තෝරාගෙන ඔබ පුද්ගලත්වයක් ලබාදෙනවා. කුමක්ද මේ පුද්ගලත්වයක් ලබා දෙනවා කියලා කියන්නේ?  හොඳින් හිතලා බලන්න පොදුවේ මිනිසුන්වත් අප හඳුන්වන්නේ සත්වයින් කියලනේ නේද?  ඒ මිනිස් සත්වයින් අතරින් කිහිප දෙනෙක් "මම" ලෙසින් "මගේ" ලෙසින් වර්ග කරගැනීමක් ඔබ විසින් කරගෙන තිබෙනවාද නැතිදැයි හිතලා බලන්නකෝ.  නමක් යොදාගෙන හිතවත්කම් මිත‍්‍රකම් යොදාගෙන එක එක සංඥාවෙන් ඔවුන්ව හඳුනාගන්නවා නේද?  මිතුරන් වගේම සතුරන් ඉන්නවා.  එහෙම නේද?  නිවසේ සුරතලයට ඇති කරන සත්වයාට පවා නමක් යොදාගන්නවා.  පුද්ගලත්වයක් දී නිවැසියෙක් ලෙසින්ම වටිනාකමක් දෙන්නේ නැතිද?  

පාරේ ඉන්න සුනඛයන්ට වඩා ගෙදර ඇතිකරන සුනඛයා ඔබට විශේෂ නැතිද? පාරේ ඉන්න සුනඛයා සහ ඔබගේ නිවසේ ඇතිකරන සුනඛයා යන දෙදෙනාටම ඉපදීම, ලෙඩවීම මහළුවීම ඇතුලූ නොයෙක් වෙනස්වීම් සහ අවසානයේ මරණය හෙවත් විනාශයට පත්වීම පොදු කරුණක් නොවේද?  එසේනම් "යමක් හටගත්තා නම් විපරිණාමයට පත්වී විනාශයට පත්වීම" කියන්නාවූ පොදු ධර්මතාවයෙන් යුතු සත්වයින් දෙදෙනෙක් තෝරාගෙන එයින් එක් සත්වයෙක් විශේෂ කරලා වටිනාකමක් දී ඒ සත්වයාට පුද්ගලත්වයක් ලබාදුන්නාය කියලා ඒ සත්වයා ඒ පොදු ධර්මතාවයෙන් බේරීයනවාද?  නෑ නේද?  තමන් තෝරාගත්තාවූ තමන් විසින් නිර්මාණය කරගත්තාවූ ලෝකය තුලට අදාල වූ පමණින් ලෙඩ නොවේවා, මරණයට පත්නොවේවා යැයි පැතුවාට බලාපොරොත්තු ඇතිකරගත්තාට එසේ සිද්ධ වෙනවාද?

මේ ආකාරයටම මේ පොදු ධර්මතාවයෙන් යුතු ද්‍රව්‍ය සමූහයක් අතරින් කොටසක් තෝරාගෙන වස්තු බවට පත්කරගැනීමක් සිදුකරනවා.  හොඳින් හිතන්න ලෝකයේ ගස් තිබෙනවා... ඒවා ද්‍රව්‍ය කොටසට අයත් වෙනවා.  ඒත් ඔබේ ඉඩමේ ඔබේ ගෙවත්තේ තිබෙන ගස ඔබට නිකම්ම නිකම් ගසක් පමණයිද?  එය ඔබට වස්තුවක් වී නැතිද?  ලෝකයේ ගල් වැලි සිමෙන්ති ආදී දෑ තිබෙනවා.  ඒවා ද්‍රව්‍ය කොටසට අයත් වෙනවා.  ඒවා එකතු කරලා සකස් කරගත්ත නිවස කියන තත්වය ඔබට වස්තුවක් වී නැතිද? ප‍්‍රඥාවන්තව නුවණින් විමර්ශණය කරලා බලන්න මෙන්න මේ වගේ බොහෝමයක් සත්වයින් අතරින් පුද්ගලත්වයක් දී වටිනාකමක් ලබාදී කොටසක් වෙන්කරගෙන සිටිනවා නේද?  ද්‍රව්‍ය අතරින් කොටසක් වෙන්කරගෙන වටිනාකමක් ලබාදී වස්තු බවට පත්කරගෙන සිටිනවා නේද? ඒත් සත්වයින්ට වඩා පුද්ගලත්වයක් ලබාදී වටිනාකමක් ලබා දී තිබෙන්නාවූ කොටස නිසාවෙනුත් ද්‍රව්‍යන්ට වඩා වස්තු කියන්නාවූ කොටස නිසාවෙනුත් ඔබ ලබන ආශ්වාදය වැඩියි නේද?  

ඒ වගේම ඒ කොටසට යම් හානියක් සිද්ධ වන විට ඇතිවන කම්පාව, දුක අසහනයත් වැඩියි නේද?  

වැඩියෙන්ම ඔබේ සිත, කය, වචනය මෙහෙයවීම තුලින් යම් මරණයක් සිද්ධ වෙනවා නම්, සොරකමක් සිද්ධ වෙනවා නම්, කාම සේවනයේ යෙදී ආශ්වාද ලැබීමක් සිද්ධ වෙනවා නම්, බොරුවක් කියනවා නම්, සැඩපරුෂ වචන කියනවා නම්, කේලාම් කියනවා නම්, කාලය කා දමන හිස් වචන ප‍්‍රලාඵ කියනවා නම්, ලෝභ බවක් තණ්හාවක් ඇතිවෙනවා නම් තරහා බවක් ද්වේශයක් ඇතිවෙනවා නම් ඇතිවෙලා තිබෙන්නේ සිද්ධ වෙලා තිබෙන්නේ මේ කියන්නාවූ වටිනාකමක් දුන්නාවූ කොටස වෙනුවෙන් නොවේද? සත්වයින්ට, පුද්ගලයින්ට, ද්‍රව්‍ය, වස්තු කියන මේ අවස්ථා හතරටම පොදු ධර්මතාවය "යමක් හටගත්තා නම් විපරිණාමයට පත්වී විනාශයට පත්වීම" කියන්නාවූ ධර්මතාවයමයි.  ඔබගේ කැමැත්තට අනුව බලාපොරොත්තුවට අනුව ඒ වෙන්කරගත්තාවූ වටිනාකම් දුන්නාවූ කොටස පවත්වාගන්නට ඔබට කිසිසේත්ම නොහැකි වන්නේද මෙන්න මේ පොදු ධර්මතාවයක් ඒ ඒ අවස්ථාව අනුව සිද්ධ වෙන නිසාමයි.  

ඉතින් එය තෝරානොගෙන මේ බාහිරවූ සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු කියන්නාවූ දෑ ඔබගේ ඇලීමට ගැටීමට ඔබගේ පාප කර්මයන්ට අකුසලයන්ට වරදකාරයින් බවට පත්කරනවා නම් වරදවා වටහාගැනීම සිද්ධ වී ඇත්තේ ඔබ තුලම නොවේද? මොහොතකට හෝ තමන්ගේ කැමැත්තට අනුව යමක් ඉෂ්ඨ සිද්ධ වන විට ලැබුන ආශ්වාදය නිසා ඒ ආශ්වාදයටම මත්වෙලා ඒ ආශ්වාදය තමන්ට රිසි සේ ලැබිය හැකි දෙයක්ය කියලා හිතාගෙන ඒ ආශ්වාදය ලබන්නට නැවත නැවත යොමුවෙනවා. ඒ ආශ්වාදය ලැබෙන විට සතුටක් යැයි වින්දනයක් ලැබෙනවා. ඒ ආශ්වාදය නොලැබෙන විට දුකක් යැයි වින්දනයක් ලැබෙනවා. ඒ තුලත් වරදවා වටහාගැනීම නිසාම ලැබෙන්නා වූ වින්දනය සතුටක්ය දුකක්ය සතුටක්වත් දුකක්වත් නැති දෙයක්ය ලෙසින් වර්ග කරගන්නවා විනා සැබෑව නොපෙනෙන ලෙසින් වැසී තිබෙන නුවණින්ම දැක තෝරාගත යුතු තත්වයක්ම වෙනවා. මේ වරදවා වටහාගත්තාවූ වැටහීම තිබෙන තාක් සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු ලෙසින් බෙදා වෙන්කරගෙන ආශ්වාද ලැබීම පිණිස කරගෙන යන වැඩපිලිවෙලක් අපට තිබෙනවා.  

ඒ තුල "මම" ලෙසින් "මගේ" ලෙසින් වටිනාකම් දී ගොඩ නගාගත්ත ලෝකය තුල තමන්ට කැමැති සේ ආශ්වාදය ලබා සතුට නම් වින්දනය ලබන්නට තමයි බහුතරයක් පිරිස කැමැති.  දුක නැමැති වින්දනය ලබන්නට නම් අකමැතියි.   ඒත් ඉතින් මේ වටිනාකමක්දී ගොඩනගා ගත්තේත් "හටගත් දෙයක් විපරිණාමයට පත්වෙලා විනාශ වෙලා යන ධර්මතාවයක් හෙවත් ස්ථිර නැති ස්වභාවය" සහිත ලෝකයෙන්ම තෝරාගත්ත සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තූන් සමූහයක්ම නිසා තමන්ට කැමති විදියට සතුට කියන වින්දනය ලබන්නට හෝ දුක කියන වින්දනය නොලබා සිටින්නට අපහසු වෙනවා. නොහැකි වෙනවා. ඔබේ කැමැත්ත සතුට වුණත් ඒ සතුටත් ලැබූ සැනින් විපරිණාමයට පත්වෙලා විනාශ වෙලා ගොස් ඒ තුලින්ම දුක ඇතිවෙනවා.

"හටගත් දෙයක් විපරිණාමයට පත්වෙලා විනාශ වෙලා යන ධර්මතාවයක් හෙවත් ස්ථිර නැති ස්වභාවය" කියන්නාවූ පොදු ධර්මතාවයෙන් යුතු වේදනා ස්වභාවයක්ම පමණක් වන නිසා ඒ සතුට කියන තත්වයත් ඒ ආකාරයෙන් කැමැත්තට අනුව ලැබීමට නොහැකි වෙනවා.  එතකොට දුක?  ඔබගේ කැමැත්ත දුක එන්නේ නැති වෙනවාටයි ඒත් ස්ථිර නැති සතුට නිසාම අවසානයේ දුකක් හිමිවෙනවා.  ඒ නිසා සැපයි දුකයි වෙනසක් නැතිව සමසේ වගේ ලැබෙනවා!  එහෙම නේද? මේ වරදවා වටහාගෙන නිර්මාණය වී තිබෙන ලෝකය ඔබ තුලින්ම දැකගන්නට සත්ධර්මය ශ‍්‍රවණය කරමින් ඇසුරු කරමින් උත්සාහවන්ත වන්න!  මේ දේවල් කියවූ පමණින් දුකෙන් මිදිය නොහැකියි.  ශ‍්‍රවණය කල පමණින් දුකින් මිදිය නොහැකියි.  ප‍්‍රායෝගිකව ඔබ විසින් කල යුත්තක් තිබේ.  ඒ නිසි දේ කරගැනීමට අප‍්‍රමාදී වීම වඩාත් සුදුසු වේ!