සූත්‍රය කුමක්ද?

  01 පෙබරවාරි 2013

“කතමස්මිං සුත්තෙ ඔතාරයිතබ්බානි: චතුසු අරියසච්චෙසු. - කවර සූත්‍රයෙක අවතරණ කළ යුත්තාහ යත්: සතර ආර්ය සත්‍ය සූත්‍රයෙහි යැ.“

චතුරාර්ය සත්‍යාවබෝධය නැතිව නිවන් අවබෝධ කරගන්නට නොහැකියි යන බව මේ වන විට ඔබට අවබෝධයක් ඇතියි සිතනවා.  චතුරාර්ය සත්‍ය පාඩම් කරගත්තාට නම් නිවන් දකින්නට නොහැකියි.  ඒ සූත්‍රය අවබෝධ වන විට ලෝකයේ සෑම දෙයකටම මේ සූත්‍රය භාවිතා කරන්නට හැකියි කියන අවබෝධය ලැබෙනවා. 

මේ සූත්‍රය බොහෝ දෙනෙක් හඳුනන්නේ දුක, දුකට හේතුව, දුක නැතිකිරීම, දුක නැතිකිරීමේ මාර්ගය කියන කාරණා 4 මුල්කරගෙනයි.  එහෙත් ඇත්තටම මේ සූත්‍රය අවබෝධ කරගන්නා විට මෙහි ඇත්තටම ගැබ්වෙන්නේ හේතු ඵල දහමයි. 

හේතුවක් තියෙනවා එයට ඵලයක් තියෙනවා.  හේතුව නිරෝධ කලොත් ඵලයත් නිරෝධ වෙනවා.  එසේ නම් හේතුව නිරෝධය පිණිස ක්‍රියාත්මක විය යුතුයි.  මෙන්න මේ සිද්ධාන්තය තමයි මේ සූත්‍රය තුල තිබෙන්නේ.  උපමාවකින් ගනිමු.

සූත්‍රය;

X නම් වූ ප්‍රශ්ණයක් ගැටලුවක් තියෙනවා.

(ඵලය)

X නම් වූ ප්‍රශ්ණයට ගැටලුවට හේතුවක් තියෙනවා.

(හේතුව)

X නම් වූ ප්‍රශ්ණයට විසඳුමක් තියෙනවා.

(හේතුව නැති කල විට ඵලය නැතිවෙනවා)

X නම් වූ ප්‍රශ්ණයට විසඳුම ලබාගත හැකි ක්‍රමයක් තියෙනවා.

(හේතුව නැති කරන්නට ක්‍රමයක් තියෙනවා)

පැහැදිලියි නේද? 

  1. ඵලයක් තියෙනවා... ඒ ඵලය නිසා ප්‍රශ්ණ රැසක් ගැටලු රැසක් අනතුරු රැසක් උරුම වෙලා තියෙනවා.
  2. ඒ ඵලයෙන් මිදෙන්නට නම් ඒ ඵලයට හේතු වුනේ මොනවද කියලා විමසා බැලිය යුතුමයි නේද?  මන්ද එයට අනිවාර්යෙන්ම හේතුවක් තියෙනවානේ ඒ නිසා.
  3. ඵලයත් හේතුවත් හොඳින් අවබෝධ කරගන්නකොටම වැටහෙනවා ප්‍රශ්ණ රැසක් ගැටලු රැසක් අනතුරු රැසක් උරුම වූ ඒ ඵලය නැති වුණාම කොතරම් සහනයක් නිදහසක් ලැබෙනවාද කියලා.  එහෙම නේද?  විසඳුම කුමක්ද කියලා අවබෝධ වෙනවානේ.
  4. එහෙනම් ඒ විසඳුම ලබාගැනීමට කල යුත්ත කුමක්ද හේතුව නැති කිරීමයි. විසඳුම ලබාගැනීම අනුගමනය කල යුතු මාර්ගය වැටහෙනවාද නැත්ද?  එහෙනම් දැන් සිත කය වචනය යොදවා කරන්නට තියෙන්නේ මොකක්ද හේතුව නැති කරන වැඩපිලිවෙල නොවේද?