බුදු දහම උගත හැකිද?

බොහෝ දෙනෙක් බුදු දහම විෂයක් ලෙසින් ඉගෙන ගන්නවා. උපාධි ඩිප්ලෝමා ආදී සහතික පවා ලබාගන්නවා. බුදු දහම සම්බන්ධ ආචාර්ය උපාධි පවා ලැබ ගන්නවා. ඒත් බුදු දහම කියන්නේ ඉගෙන ගන්නට හැකි දෙයක්ද? විමසා බලමු!

බුදු දහම උගත හැකිද?

  05 මැයි 2012

මොහොතකට යමු බුදු හිමියන්ගේ කාලයට.  ඒ කාලේ නම් බුදු හිමියන් කොතරම් උසස්ද... උන්වහන්සේ කොතරම් දේ දන්නවද... කොතරම් ප්‍රඥාවන්තයිද ආදී දේ ගැනවත් මිනිසුන් සොයා බැලුවේ නෑ.  උන්වහන්සේව සොයාගෙන ගියේ උන්වහන්සේ දන්න දේ ඉගෙන ගන්නට නම් නෙවේ.  

මන්ද එකල නම් එය ඉගෙන ගත හැකි විෂයක් නොවන නිසාමයි.  ඇත්තටම කියනවා නම් බුදු දහම කියලා දෙයක්වත් ඒ කාලේ ප්‍රකට නෑ.  බුදු දහම, බෞද්ධ ආදී නම් පට බැඳිලා තියෙන්නේ පසුකාලීනවයි.  ගෞතමයන් වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රාවක පරපුර කියලා තමයි ඒ කාලේ ඒ පිරිසව හැඳින්වූයේ.  ඒ පිරිසගෙන් ඉගෙන ගන්න කියලා නෙවේ පිරිස ආවේ.  වේදය හදාරන්නට බමුණු පිරිස සොයා ගියත් බුදු හිමියන් සොයා පැමිණියේ උන්වහන්සේ කියන දේ හදාරන්නට නම් නොවේ.  බුදු හිමියනුත් “එන්න එන්න මගෙන් බුදු දහම ඉගෙන ගන්නැයි“ පැවසුවේ නෑ.  

ඒත් මෙකල නම් එහෙම නොවන බව ඔබත් මමත් හොඳින්ම දන්නවා.  එන්න අපි බුදු දහම ඉගෙන ගනිමු කියලා තමයි බොහෝ දෙනෙක් පවසන්නේ.  ඒ වගේම බොහෝ දෙනෙකුට අවශ්‍ය කරන්නෙත් එය විෂයක් ලෙසින් හදාරන්නටයි.  ධර්ම දර ලෙසින් පවසන්නේත් ඒ බුදු දහම හදාරා වචන පද දන්න කියන පිරිසටමයි.  මේ  දේවල් අප විසින් විමර්ශණය කරලා බැලිය යුතු වන්නේ අන්න ඒ නිසා තමයි!

බුදු හිමයන්ගේ කාලයේදී බුදු හිමියන් සරණ ගියේ කෙසේද?  ඔබ වගේ මම වගේ පිරිස උන්වහන්සේව සොයාගෙන ගියා.  පවුල් ප්‍රශ්ණ... මානසික ගැටලු... ආගමික ප්‍රශ්ණ... ආදී ඔබට මට ඇති සාමාන්‍ය පොදු ගැටලු තමයි ඒ අයටත් තිබුනේ.  සරළව කියනවා නම් තමන්ටම විසඳාගන්නට කියලා ප්‍රශ්ණයක් ඒ අයට තිබුණා.  ඒ අතර ගෞතම බුද්ධ කියලා ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් සියලු ගැටලු වලට පිලිතුරු සපයා දෙනවා කියලා දැනගෙන ඒ අයත් තම තමන්ගේ ප්‍රශ්ණ විසඳාගන්නට බුදු හිමියන් සොයාගෙන ගියා.  බොහෝම සරළයි!

තමන්ට තිබුණ ප්‍රශ්ණය... තමන්ට තිබුණ ගැටලුව තමයි ඒ ප්‍රශ්ණයට අදාල පිලිතුර වෙතට ඔවුන්ව රැගෙන ගියේ.  ඒ බුදු හිමියන් කියන පුද්ගලත්වයට නොවේ.  ඔවුනට ලැබෙන පිලිතුරටයි ඔවුන් ඇඳී ගියේ.  බුදු හිමියන්ගෙන් බුදු දහම හදාරා තමන්ගේ ප්‍රශ්ණ විසඳාගන්නට ගියා නොවේ.  භාවනාව ඉගෙන ගෙන පුරුදු කරලා තමන්ගේ ප්‍රශ්ණයට විසඳුම් ලබාගන්නට ගියා නොවේ.  

පසුකාලීනව සටහන් තැබීම පිණිස පමණයි මේ දේවල් යොදාගත්තේ.  ඒ වචන පද නිසාවෙන් ඒවා සටහන් තබා ඇති ආකාරය නිසාවෙන් බුදු දහම යනු මෙසේ විෂයක් ලෙසින් ඉගෙන ගත යුුුතු දෙයක් බවට පත්කරගැනීම තම තමන්ගේ අනුවණකම් මිසක් එය බුදු දහමේ ගැටලුවක් නෙවේ.  සටහන් තබා ඇති පරම්පරාවෙන් පැමිණි බුදු දහම විෂයක් ලෙසින් ඉගෙන ගත් පමණින් එසේ ඉගෙන ගෙන පුහුණු කරන පවුලක ඉපදී උපතින් බෞද්ධ යන නාමය ලැබූ පමණින් බෞද්ධයක් විය නොහැකි බව මේ වන විටවත් වටහාගෙන තිබීම වැදගත් වෙනවා.  

ඇත්තටම කියනවා නම් අප උත්සාහ කරන්නේ අපට ආවේණික නොවන වෙනමම චරිතයක් ආරෝපණය කරගන්නට මිසක් සැබෑවට බුදු දහමෙන් සරණක් ලබන්නට  නොවන බව තමයි මේ වන විට ප්‍රකට තිබෙන්නේ.  

මෙයින් සිදුවන සෙතක් නම් නැති බව වටහාගත යුතුයි.  මේ නිසාම තමයි බුදු දහම සම්බන්ධයෙන් මේ වන විට ගැටලුකාරී තත්වයක් උදා වෙලා තියෙන්නෙත්.  හැමෝම කාට කාට හෝ යමක් උගන්වන්නට තමයි උත්සාහ කරන්නේ.  මේ හුරුව නිසාම ධර්මයක් සැබෑවටම පෙන්වා දෙන්නට උත්සාහ දරන කළ්‍යණ මිත්‍රත්වයත් වරදවා වටහාගන්නේ බුදු දහම උගන්වන ගුරුභවතුන් පිරිසක් ලෙසටමයි.  ඔවුන්ගෙන් දහමක් ඉගෙන ගන්නට සැරසෙනවා මිස අප බුදු දහම අත්දැකගන්නට උත්සාහ දරන්නේම නැති බව තමයි පෙනෙන්ට තියෙන්නේ.  

ඉතින් අන්තිමට බුදු දහම කියලා රැවටිලා වෙනමම දහමක් පුරුදු කරගෙන පුහුණු කරගෙන සැනසී යනවා මිසක් පැවැත්ම නසා ලෝකයෙන් එතෙර වන සැබෑ පිරිසිදු ධර්මය අවබෝධය කරගන්නේවත් එය පූර්ණයෙන් ලබන නිවන ලැබගන්නේවත් නැති තැනට මේ වන විට ලං වෙමින් සිටිනවා.  

ඒ නිසා දැන්වත් බුද්ධිමත් විය යුතුයි.  බුදු දහම යැයි රැටවී ප්‍රතිරූපක වැළඳගෙන විනාශ වීමට පෙර බුද්ධිමත්ව විමසුම පිණිසයි මේ කරුණු ගොනු කරන්නේ!