මට උපකාර වූ ප්‍රශ්ණය!

බුදු දහමෙන් පෝෂණය වන්නට විමුක්තිය ලැබීමට සෑම විටම බහුතරයක් පිරිස දුක වශයෙන් දන්නා කායික හෝ මානසික ගැටලුවක් තිබිය යුතුම නැත. පීඩනය... අසහනය... ප්‍රශ්ණ වලට මුහුණ දීමට අපහසු බව... මේ ආදී දේ පමණක් බුදු දහමේ ඇසුර ලබන්නට හේතු නොවේ. මගේ ගැන කියනවා නම් මට නම් එකම දේ සිදුවීම සම්බන්ධයෙන් පැවැත්ම ගැන පුදුමාකාර කලකිරීමක් තමයි ඇතිවුණේ... එයට හේතුව සොයන්නට ඇරඹූ ගමන කෙලවර වන්නේ මේ පෙර නොඇසූ විරූ දහමෙන් පිළිතුරු ලැබීම තුලින්මයි...

මට උපකාර වූ ප්‍රශ්ණය!

  04 මැයි 2012

ඉපදෙනවා... ජීවත් වෙනවා... මැරෙනවා... ඒ අතරේ උදේට කනවා... දවල්ට කනවා... රෑට කනවා... ඒ අතරේ ඉගෙන ගන්නවා... එකක් ඇර එකක් විභාග එනවා... එකම දේ කතා කරන්න වෙනවා... එකම දේ අහන්න සිද්ධ වෙනවා... එකම දේ දකින්න සිද්ධ වෙනවා... නිදා ගන්නවා... නැගිටිනවා... ආයෙත් නිදාගන්නවා... මේ වගේ ඉවරයක් නැති මේ එකම දේ කිරීම ගැන නම් කුඩා කල පටන්ගෙනම මගේ කිසිම පැහැදීමක් තිබුනේ නෑ.  කොතරම් වීර්යක්‍රියා සිදුකලත්... කොතරම් වෙනස් කරන්නට හැදුවත් අවසන ලැබෙන දැනෙන හිස් බව නැති කරන්නට නම් නොහැකි බව තමයි කුඩා කලදීම අත්දැක්කේ... ඒ විතරක් නොවේ අත්දකින හැමදේම තුල මහා හිස් බවක්... වටිනාකමක් දිය නොහැකි බවක්මයි දැනුනේ... ජීවිතේ ප්‍රශ්ණ කියලා එන දේවල් වලටවත් දුක් වුණාය කියලාවත් වැඩක් නැති බවමයි දැනුනේ... මේ ලෝකේ මොකක්දෝ අවුලක් නම් තියෙනවා කියලා තමයි දැනුනේ.  ඒ නිසාම මේ දේවල් වලට උත්තර ඕන වුණා... 

ඒ අතරේ හැදී වැඩුනේ ආච්චි සීයා සමඟ නිසා ඒ අයගේ ජීවිත වලිනුත් දැක්කේ මේ කියන හිස් බවමයි.  එයාලට දරුවෝ 6ක්... එක දරුවෙක් පොඩි කාලෙදිම නැතිවුණාලු... මම එයාලගේ මිණිබිරිය... මට දැනුනේ ලමයි 6ක් හදලා වෙහෙස වෙච්ච ජීවිත දෙකක් දැන් ඒ දරුවන්ගේ දරුවෙක් හදන්න වෙහෙස වෙනවා කියලයි... වයසින් අඩු වුණත් මම බොහෝ වෙලාවට ඇහුවා එපා වෙන්නේ නැත්ද එකම දේ කරලා කියලා... ඒත් ඒ අයගේ පිලිතුර වුනේ මොනා කරන්නද කියලයි... එය තමයි ජිවිතය කියන්නේ කියලයි... මට නම් ඒ මදි වුණා... 

බුදු දහම විෂයක් විදියට ඉගෙනගන්න කොට බුදු හිමියන් නිවනක් ලැබීම ගැනමයිනේ කියන්නේ කියන දේ හිතට දැනුනා.  ඒත් ඒ නිවන ගැන නම් කියලා දෙන්න කෙනෙක් නැති බව තමයි අත්දැක්කේ.  ඉතින් මේ නිවන සියලු දේට විසඳුම දෙන බවකුත් හිතුනා.  ඒත් එයිට කලින් මේ ලෝකේ අවුල මොකක්ද කියලා හොයාගන්නම වෙනවානේ කියලා හිතුනා.  ඒ නිසාම බුදු හිමියන්වම තමයි හොඳම යාළුවා කරගන්නට වෙන්නෙත් කියලා දැනුනා.  ඒ අනුව කුඩා කල පටන්ම හිතෙන් හොඳම යාළුවා වුනේ බුදු හිමියන්.  හැම මොහොතකම මේ අවුල විසඳගන්නට යොමු කරන බව දන්නේ මේ දහම තුලින් පිළිතුර ලැබුණාමයි.  

ඉතින් මට කියන්න ඕන කරන්නේ තමන්ටම කියලා ගැටලුවක් ප්‍රශ්ණයක් තිබීම අනිවාර්යයි.  විමර්ශණය අනිවාර්යෙන්ම තියෙන්නටම ඕන.  එහෙම තිබුනොත් තමයි තැන් තැන් වල නතර වෙලා අතරමං නොවන්නේ.  මේ ලෝකේ මොකක්දෝ අවුලක් තියෙනවාය කියන ගැටලුවේ පටන්ගෙන නැගුන හැම ගැටලුවකටම පිළිතුරු ලැබෙන තුරු නොනවතින්නේ ඒ නිසාමයි.  මේ නිසාමයි බලහත්කාරයෙන් නොගැලපෙන දේ තුලින් පිලිතුරු නොසයන්නේ... මේ නිසාමයි පුද්ගලත්වයක් මත නොරැදෙන්නේ... මේ නිසාමයි කව්රු කොතරම් හැඩ වැඩ කරලා කිව්වත් ඒ බහට රැවටෙන්නේ නැත්තේ... ඒ නිසාමයි පිරිසිදු ධර්මය වෙනුවට අපිරිසිදු දහමකින් සිත සනසාගෙන පසුනොබසින්නේ...

ඉතින් බොහෝම සරලයි... තමන්ටම කියලා විසඳාගන්නට යමක් තිබිය යුතුයි.  එහිදී බුදු දහම තුලින්ද වෙනත් ආගමක් තුලින්ද පිලිතුරු ලැබෙන්නේ කියන දේට යොමු වෙන්නේ නෑ.  මම අහන්නේ බුදු දහම විතරයි අනෙක් අයගේ දහම් අහන්නේ නෑ කියන තැනට යොමු වන්නේ නෑ.  කව්රුන් කෙසේ කොහොම කිව්වත් මිත්‍යා දෘෂ්ඨිය මොකක්ද සම්මා දෘෂ්ඨිය කුමක්ද යන විමර්ශණය තමන් තුලින්ම නැඟී එන්නක් වෙන්නේ එවිටයි.  

තැන් තැන් වල හිර වෙලා රාමුවකට කොටු වෙලා ලබන්නට හැකි විමුක්තියක් නොමැති බව වටහාගත යුතුමයි.  ඒ නිසා තමන්ගේ වුවමනාව හොඳින් හඳුනාගන්න... ඒ දේම ඔබට නිසි පිලිතුර ලබාදේවි!