ඔබ ඇත්තටම අහනවද?

අප සැම විසින් ප්‍රධාන ලෙසින්ම අවදානය යොමු කල යුතුම කරුණක් තමයි ශ්‍රවණය කියන කාරණය. බුදු හිමියන් පවා පෙන්වා දී තිබෙනවා නිවැරදි සත්ධර්ම ශ්‍රවණය නොමැතිවීම අනාගතයේදී, ඒ කියන්නේ මේ කාලයේදී ශාසනය නැතිවීමට හේතුවන කරුණක් වන බව.

ඔබ ඇත්තටම අහනවද?

  05 මැයි 2012

හේතුව තමයි නිවැරදිව ශ්‍රවණය සිදුනොවුනහොත් බුදු දහමේ හරය අවබෝධ කරගන්නට නොහැකි වෙනවා.  පෙර නොඇසූ විරූ දහම කුමක්ද යන බව දැනගන්නට නොහැකි වෙනවා. ඒ දේ නොදැන විමුක්තිය නොලබන පුද්ගලයින් සිටිනවා කියන්නේ පෙර නොඇසූ විරූ දහමද මතු කර දෙන්නට කෙනෙක් නැතිවෙනවා.  ඒ නිසා පිරිසිදු බුදු දහමක් නැති කලක බුද්ධ ශාසනයක්ද නොමැති වෙනවා.  

අහන ඕනෑම දෙයක් පිරිසිදු මනසකින් අහන්නට ප්‍රඥාවන්ත විය යුතුයි.  ගුවන් විදුලි නාලිකාවක් දමාගත්තා සේ මනසේ තමන් දන්නා දත්තයන් තොරතෝංචියක් නැතිව ක්‍රියාත්මක වන විට... පංච ඉන්ද්‍රීයයන්ගෙන් දන්නා දැනුම අහන දේ සමඟ ඒ මොහොතේ ගලපන විට මේ දහමේ හරය අත්දැකගන්නට නොහැකි වෙනවා.  අදහස වැටහෙන්නේ නැතිව යනවා.  අදහස ලෙසින් ගන්නේම තමන් දන්නා දෙයක්මයි.  ඉතින් මේ අවුල සිද්ධ වෙන නිසා තමයි කියන්නේ නිවැරදිව අහන්නට යොමු විය යුතුයි කියලා.  

බුදු දහමද වෙන දහමක්ද යන්න නොවේ වැදගත් වෙන්නේ.  අහන දේ හරියට නිවැරදිව පිරිසිදුව අහන්නේ නම් ඒ අහන දේ තුල පැවැත්ම නැවැත්ම පිණිස විමුක්තිය පිණිස වූ බුදු දහම කුමක්ද පැවැත්ම පිණිස වන බුදු දහම් ප්‍රතිරූපක ලෝක දහම කුමක්ද යන්න හඳුනාගන්නට හැකිවේවි.  

මේ දේවල් සම්බන්ධයෙන් වැඩි වැඩියෙන් දැනගන්නට අවබෝධය පිණිස කටයුතු කරගන්නට නිර්වාණ ධර්ම සඳහම් දේශනා සහ මෙම වෙබ් අඩවියේ ගොනු වන දහම් දේශනා ඇසුරු කරන්නට ශ්‍රවණය කරන්නට යොමු වන්න.