බලහත්කාරය නවතන්න!

බුදු දහම වුවමනා කරන්නේ ඇයිදැයි තමන්ගෙන්ම විමසා දැනගැනීමේ අත්‍යවශ්‍යතාවය දැනටමත් ඔබට වැටහෙනවා ඇති! එසේත් නැතිනම් ඔබ නිකරුණේ කාලය නාස්ති කරගන්න බවත් අමතක කරන්න එපා. මන්ද යත් බුදු දහම විෂයක් ලෙසින් දැන ලබා ඇති දැනුම හෝ වේවා භාවනාමය අත්දැකීමක් තුලින් බුදු දහම යැයි විශ්වාස කරන යමක් ලැබූ පමණින් බුදු දහමේ හරය ලැබුවා යැයි අතරමං නොවිය යුතුයි.

බලහත්කාරය නවතන්න!

  05 මැයි 2012

ඔබට විසඳාගත යුතු ගැටලුවක් නැතිනම්... ඔබ මේ පැවැත්ම තුල දැවෙන ප්‍රශ්ණයක් නොමැති නම්... මේ යන ක්‍රමරටාව ඔබට සතුටුදායකයි නම්... ඔබට සතුටු දේ සමඟ කටයුතු කරගැනීම නුවණට හුරුයි.  මන්ද එසේ ගැටලුවක් නැතිව කාලයගත කරගන්නට ක්‍රමයක් නොවන නිසාවෙන් හෝ ලාභ, කීර්ති, ප්‍රශංසා නිසාවෙන් බුදු දහම හදාරා එය අනිසි ලෙසින් තෝරාගන්න පෙළඹෙන එවැනි පිරිස් නිසාම මේ පිරිසිදු බුදු දහම ක්‍රම ක්‍රමයෙන් වැසී යන්නට කටයුතු සිදුවෙනවා.  ඒ විතරක් නෙවේ ඔබට නිසි බුදු දහම නොලැබෙන නිසාම බුදු දහමෙන් ලැබෙන ඵලයක් නැතැයි රැවටී එය කෙරෙහි කල කිරෙන්නටද හේතු සකස් වෙනවා!  උපතින් බෞද්ධයෙක් වූ පමණින් බුදු දහම හැදෑරීමෙන් විමුක්තිය ලැබේවි යන්න නොසිතන්න.  උපතින් බෞද්ධ නිසාම විෂයක් ලෙසින් ඉගෙන ගත් නිසාම බුදු දහම දන්නවා යැයිද නොසිතන්න.  

නිර්වාණ ධර්ම සඳහම් සත්කාරයෙන් ඔබව උනන්දු කරන්නේ කාලය කා දමාගෙන බුදු දහමටත් කැළලක් වන වැඩපිලිවෙලකට නම් නොවේ.  ඔබව මේ තුලින් උනන්දු කරවන්නේ ඔබ දැකිය යුතු හඳුනාගත යුතු තැන මිස බලහත්කාරයෙන් ඔබට පෙන්වන්නට උත්සාහදැරීමක් නෙවේ.  මන්ද අමතක කරන්න එපා බුදු දහම කියන්නේ උගන්වන්නට හැකි දෙයක් නොවේ.  එය ඔබතුලම පවතින දෙයක්.  මතු කරගන්නට හැක්කේ ඔබටමයි.  ඔබට නිසි වුවමනාව මතුවී ඒ අනුව කටයුතු කරගන්නා විට අදාල උපකාර සියල්ලක්ම ඔබට ලැබේවි.  

ඒ නිසාම නිර්වාණ ධර්ම තුල බෙදා ගන්නා දේවල්ද ඔබට උපකාරයක් වන බවට සමහර විට ඔබට දැනේවි.  ඒ දේවල් ඔබගේ ගමන නිමා කරන ගමන ආරම්භ කරන්නට යොදාගන්න.  පෙර නොඇසූ විරූ දහමක් මිස දන්නා කියන දහමක්ම අවබෝධ වීමක් නොවේ බුදු දහම කියන්නේ.  පංච ඉන්ද්‍රීයයන්ට ගෝචර දැනුමෙන් අත්දකින දේ අනුව ඔබට දහමක් යැයි හැඟෙන දෙයක් නොවේ බුදු දහම තුලින් පෙන්වා දෙන්නේ.  එය ඉතාමත් සියුම් යටිකුරු වූ ලෝකය උඩුකුරු වන ආකාරයේ අපූරු දහමක්.  ඒ දේ ලැබෙන තුරු ඔබ අතරමං නොවිය යුතුයි.  පිරිසිදු බුදු දහම තුල හුදෙක් විශ්වාසයෙන් පිළිගැනීමක් නොවන බව එවිට අත්දැකගන්නටත් හැකිවෙනවා.  

ඔබට හිතෙනවා නම් මේ වෙබ් පිටු අතර කාලය ගත කිරීම කාලය කා දැමීමක් නොවේවි කියලා... ඉදිරියට යන්න. ඔබට බොහෝ දේ ලැබේවි.  ඒවා ඉගෙන ගැනීම පිණිස නොවේ.  මතක තබා ගැනීම පිණිසද නොවේ.  ඒ දේවල් තුලින් අදහස් කරන කරුණ වටහාගෙන ඔබගේ විමුක්තිය පිණිස කටයුතු කරගැනීමට ඔබ උනන්දු වීම සඳහා පමණයි!   ධර්මය කියන්නේ වෙබ් අඩවියක් තුලින්වත් බෙදාගන්නට හැකි දෙයක් නොවේ.  ඒ නිසා මේ තමයි දහම මෙය තමයි මතක තබාගෙන ඉගනෙ ගන්නට ඕනෑ කියන සිතිවිල්ල නොවේ ඔබ ගත යුත්තේ.  මෙහි යම් කරුණක් පෙන්වා දෙනවා නම් ඒ දහම තමන් තුලින් අවබෝධයට පත්වීමට පසුතලය ලබාදෙමින් තම තමන්ගේ විමුක්තිය පිණිසයි කටයුතු සලසා ගත යුත්තේ.  මෙය හුදෙක් සිතියමක් වගේ දෙයක් පමණයි.  මඟ සොයාගන්නට උපකාරයක් පමණයි!