ප්‍රමාදය ලෙඩකි!

  18 නොවැම්බර් 2015

"මම...මම.... මම... මම.... මගේ.... මගේ... මගේ..." මේ ලෙසින් එකතුවී "මමත්වය" තුල සකස් වෙච්ච ඔබේ ජීවිතය ප්‍රමාදයෙන් යුක්තයි. 

ප්‍රමාද වන්නේ කුමකටද?  නිවනට ප්‍රමාදයි... සැනසීමට ප්‍රමාදයි... සැබෑ සතුට ලැබ ගැනීමට ප්‍රමාදයි... මානසික සුවයට ප්‍රමාදයි... මරණය මොහොතකින් හෝ කල්දමාගැනීමට අසීමිත ලෙසින් වෙහෙසකර වැඩපිළිවෙලක නිරත වන ඔබට ඔබගේ ප්‍රමාදය ගැන වගක්වත් නැහැ නේද?

කොතරම් රෝගාබාධයන් හැදුණත් ඒ කායික රෝගාබාධයන් සුවකරගනිමින්, සුව වන්නට පතමින් මරණය පසුකරගන්නට උත්සාහ දරමින් ජීවිතය තව මොහොතක් හෝ දිගු කරගන්නට දරන උත්සාහය තුල ඉක්මනින්ම සසර දිගු වනවා.  සසර දිගු වීම යනු නිවීම ඔබගෙන් තව තවත් ඈතට යෑමයි. 

මරණය කල් දමාගන්නට දරන උත්සාහය මරණයෙන් මිදෙන්නට දැරුවා නම් ඔබට පමාවක් නැතිබව නුවණින් දැකිය යුතුයි.  මරණයෙන් නොමිදෙන තාක් නැවත නැවත ඉපිද මරණයට උරුමකම් කියන්නට සිද්ධ වෙනවා... නැවත නැවත ඉපිද නොයෙක් කායික රෝගාබාධයන්ට මුහුණ දෙන්නට සිදු වෙනවා... ඒ සියල්ලටම වඩා මේ ධර්මය තුල කියැවෙන මානසික රෝගයන් සියල්ලම දරාගෙනමයි ඉපදෙන්නට සිද්ධ වෙන්නේ. 

ඉපදුණ මොහොතේ පටන්ගෙන කායිකව මානසිකව අසහනයට පත්ව මොනතරම් පීඩාවන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවාද?  ඒත් ඔබට ඒ කිසිවක වගවක්වත් නෑ නේද? 

නැවත නැවත මරණය උරුමකම් කියනා යමෙක් වේ නම් ඒ පුද්ගලයාට ඇවිදින පණ ඇති මළ මිනියක් කිව්වාට වරදක් නෑ.  මල මිනියත් ඵලකට ඇති දෙයක් නොවේ.  කාටවත් ප්‍රයෝජනයක් ඇති දෙයක් නොවේ.  හිස් මිනිසෙක් වගේ තාවකාලික පිළියම් යොදමින් එයම අනුමත කරමින් එයටම ඇඳෙමින් කටයුතු කිරීම ඇත්තටම ලෙඩක්ම තමයි.

අන්න ඒ නිසා බුද්ධිමත්ව හිතන්න!  සැබැ රෝගයන් නුවණින් හඳුනාගන්නට උත්සාහවන්තවන්න... එවිට ප්‍රමාදය නම් රෝගයද සුවපත් වෙනවා...