පෙර කල කිපුණු දොස්

  18 නොවැම්බර් 2015

මෙතරම් කාලයක් අනන්ත සංසාර ගමනක ඔබ යෙදී සිටින්නේ ඔබගේ සිත රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් රෝගී වූ නිසාමයි.  රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් රෝගී වූ සිත නිසාවෙන් කය ක්‍රියාත්මක කරමින් වචනය ක්‍රියාත්මක කරමින් බොහෝ කටයුතු අප විසින් සිදුකරනවා. 

තමන්ටත් අනුන්ටත් හානි වන අසිහියෙන් යුතු මත්වූ අයහපත් අසාධාරණ වැඩපිළිවෙලක නිරත වෙනවා.  තමන්ගේ පැවැත්ම වෙනුවෙන් තවත් බොහෝ පිරිසකට හානියක් වන අයුරින් කටයුතු කරනවා. 

ඒ සෑම අවස්ථාවකම අප විසින් මහා ශක්තියක් සකස් කරනවා.  ඒ සකස් කලාවූ ශක්තියට ගැලපෙන ඵලයක් අපට ලැබෙන්නට හේතු සකස් වෙනවා.  අන්න ඒ නිසා මේ ජීවිත කාලයේදී ඔබ එතරම් තරහා නොයන, ද්වේශය අඩු කෙනෙක් වුවත්... පෙර ජීවිතයන්හිදී ද්වේශයෙන් තරහාවෙන් කල කී දෑට ප්‍රතිඵලය ලෙසින් මේ ජීවිත කාලයේදී ඔබට කායික වශයෙන් "පිත" ඇවිස්සීමෙන් ඇතිවන ගෑස්ට්‍රයිටීස් වැනි රෝග ඇතිවන්නට හැකියි. 

කායිකව නීරෝගීබවක් ලබන්නට අපට නොහැකි වන්නේ මෙන්න මේ හේතුව නිසාවෙනුයි යන්න බුද්ධිමත් ඔබ විසින් නැණවත්ව දැකගත යුතුයි. 

කරන කලට බොහෝ සතුටින් ආශ්වාද ලබමින් බොහෝම සාරත්වයක් දකිමින් කරගෙන යනවානේ... ඉතින් විපාකය ලැබෙන විට එය "එපෝ එපෝ" කිව්වාට "අනේ එහෙම නොවෙනවා නම් හොඳයි" කිව්වාට ඒ විපාකය නොලැබී තියෙන්නේ නෑ.  ඔබට උපතත් සමඟින්ම කායික වශයෙන් රෝගී වන ස්වභාවය උරුම වී පවතින්නේ අන්න ඒ නිසා බව දැකිය යුතුයි.