පැවිදි රුවක් - හතර වන නිමිත්ත

පැවිදි රුවක් - හතර වන නිමිත්ත

මොකක්ද මේ “පැවිදි රුව” කියන කාරණයෙන් අදහස් වෙන්නේ?  මෙතන “පැවිදි රුව” කියන කාරණයෙන් අදහස් වෙන්නේ ලෝකයේ පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින කාරණා ලෙසින් සම්මත ආශ්වාද ජනක වැඩ පිලිවෙලක අසාරත්වය දැක විමුක්තියක් සොයා... සත්‍ය ගවේෂණය පිණිස... ලෝකයෙන් එතෙර වීම පිණිස කටයුතු කරන පිරිසටයි. 

හොඳට සිහි තබා ගත යුතු කාරණයක් තමයි “පැවිදි රුව” තුලින් අදහස් කරන්නේ බෞද්ධ භික්ෂුවක් හෝ භික්ෂුණියක් පමණක් නොවන බව.  අපි කියන්නේ තාපස ජීවිත කියලා... ඒ අයත් මේ කොටසට ඇතුළත්.  නමුත් මේ බාහිර පෙනුමෙන් ඇඳුම් පැළඳුම් රටාව වෙනස් කර ගත් චරිත ගැන ද මේ අදහස් කරන්නේ?  නෑ.  කොහෙත්ම නෑ. 

පැවිදි රුව කියන නිමිත්ත ලැබෙන්නේ මහල්ලෙක්, ලෙඩෙක්, මල මිනියක් කියන්නා වූ නිමිති තුන දකින කෙනාගේ මානසිකත්වයටයි.  තවත් ආකාරයකින් කියනවා නම් ජරාවට පත් වීම, ව්‍යාධියට පත්වීම, මරණය කියන්නා වූ පැවැත්ම තුල විසඳුමක් නැති ප්‍රශ්න හමුවන විට විමුක්තිකාමි මානසිකත්වයක හට ගැනීම, මේ පැවැත්මෙන් නිදහස් වීම පිණිස සත්‍ය ගවේෂණය කිරීමේ මානසිකත්වය සකස් වීම, පෙර පරිච්ඡේදයේ විග්‍රහ කර ගත් පරිදි හිස ගිනි ගැනීම නිවා දමන එක පසෙකලා විමුක්තිය පිණිස කටයුතු කර ගන්නා මානසිකත්වයක් සකස් වීම තමයි පැවිදි රුව කියලා කියන්නේ.  තවත් ආකාරයකින් කියනවා නම් පැවිදි රුව කියන්නේ විසඳුම හා සමානයි.  ප්‍රශ්න දකිනවා... විසඳුමක් දකිනවා.  එහෙමත් නැතිනම් විසඳුම ලැබෙන එකම ක්‍රම වේදය දැකීම. 

ඒ විදියට විමුක්තිකාමි මානසිකත්වය සකස් වූ පුද්ගලයා, තවත් ආකාරයකින් කියනවා නම් පැවිදි රුව නම් වූ නිමිත්ත දුටු පුද්ගලයා විමුක්තිය සෙවීම... සත්‍ය ගවේෂණය ආරම්භ කරනවා.  ඒ ගවේෂණය බුදු දහමට සම්බන්ධයි කියලා නීතියක් නෑ.  සත්‍ය ගවේෂණය කරන කෙනා තමන් පැවැත්ම තුල දන්නා අසා ගත් විවිධාකාර ක්‍රම වේද අනුගමනය කරන්නට පුළුවන්.  විවිධ ශාස්තෘන් ඇසුරු කරන්නට පුළුවන්.  නමුත් අරමුණ එකයි. 

අන්න එවන් පුද්ගලයාට තථාගත ශ්‍රී සත්ධර්මය හමු වීම තුලින් තමන් පැවිදි රුවේ පෙර නො ඇසූ විරූ ගැඹුර අවබෝධ කර ගන්නට අවකාශය ලැබෙනවා. 

ඉතින්, මේ විමුක්තිකාමි මානසිකත්වය හට නො ගන්නා තාක්, ඒ කියන්නේ මහල්ලෙක්, ලෙඩෙක්, මල මිනියක් කියන නිමිති දැකලා නැත්නම්, මේ කියන පැවිදි රුව හමු වෙන්නෙත් බාහිරයෙන් ම තමයි.  ඒ ඇඳුම් පැළඳුම් ක්‍රමයට... ජීවත් වන රටාවට... ඒ විඳින නිදහසට කැමැත්තෙන් පැවිදි ජීවිතයට, තපස් ජීවිතයට පත් වෙනවා.  නමුත් එය සාර්ථක නෑ.  හේතුව තමයි මහල්ලා, ලෙඩා, මල මිනිය කියන්නා වූ නිමිති දැක නැති තාක් ඒ පුද්ගලයා තුල යෞවන මදය, නීරෝගී මදය, ජීවන මදය කියන්නා වූ මත් වූ මානසිකත්වයක් තියෙන්නේ.  ඉතින්, මත් වූ අසිහියෙන් යුතු මානසිකත්වයට මේ පැවිදි රුව දරන්නට අපහසුයි.  පැවිද්ද හෝ තපස් ජීවිතයෙන් ලැබිය යුතු අරමුණ ලබන්නට නො හැකි ව ගිලිහී යනවා. 

ගැඹුරින් අවබෝධ කල යුතු දහම් කොටසක්, නමුත් බුදු දහමට තවම සම්බන්ධ නෑ.  බුදු දහම ලබන්න නම්, ගිහි වේවා පැවිදි වේවා අනිවාර්යයෙන් ම පැවිදි රුව කියන නිමිත්ත දැකලා තියෙන්න ම ඕන. 

ඉතින් මේ පැවිදි රුව නිමිත්තක් සේ වත් නො දුටු... තවමත් බාහිර කාරණා ඔස්සේ පැවිදි රුව ගැන විමසන, පැවිදි රුව ගැන මූලික ඇත්තක් වත් නො දන්නා නො දක්නා පිරිස විසින් අධික ප්‍රඥාවකින් යුක්ත වූ මහ බෝ සත් චරිතාපදානය ද විකාර අන්දමින් අර්ථ දක්වා ඇති අයුරු ද නුවණින් දකිමු!