පැවිදි රුව නම් වූ හතර වන නිමිත්ත දකිමු

බාහිරයේ පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින මට්ටමෙන් තීන්දු තීරණ ගන්න බහුතරය “පැවිදි රුව” කෙසේ දකී විද?  ඔබ ඔබෙන් විමසා බලන්න.  “පැවිදි රුව” ලෙසින් ඇසූ සැනින් සිහිපත් වෙන්නෙත් සිවුරක් දරා ගත් රූපයක් පමණයි නේද? 

පෙර පරිච්ඡේද තුලින් මහල්ලෙක්, ලෙඩෙක්, මල මිනියක් කියන්නා වූ අවස්ථා තුනේ දී ම ඒවා පෙර නිමිති බවට පත් නොවන තාක් අප ඒ දේවල් විග්‍රහ කර ගන්නේ කුමන මට්ටමකින් දැයි විග්‍රහ කර ගත්තා නේ.  අන්න ඒ වගේ ම තමයි මේ පැවිදි රුව කියන අවස්ථාවත්. 

ඔබට මහල්ලා, ලෙඩා, මල මිනිය හෙවත් ජරාවට පත් වීම, ව්‍යාධිය, මරණය කියන කාරණා නිමිති බවට පත් වී නොමැති නම් පැවිදි රුව කියන නිමිත්ත කවදාවත් හමු වෙන්නේ නෑ. 

එසේ නම් මේ කොටස තුලින් මේ පැවිදි රුව කියන නිමිත්ත සම්බන්ධයෙන් වැඩි දුර විග්‍රහ කර ගනිමින් මහ බෝසත් චරිතයේ මේ නිමිත්ත වරදවා අර්ථ විවරණය වන ආකාරය ආදිය දැන ගන්නට යොමු වෙමු.

පරම්පරාවෙන් රැගෙන ආ නිසා... පොතේ පතේ තිබෙන නිසා... ගරු කටයුතු පිරිස කියන නිසා යමක් පිළිගැනීම තුල කොතරම් වරදක් වෙන්නට හැකි දැයි ඔබට මේ කාරණා අවසානයේ දැනේවා! සම්බුදු ඔවදන අනුව කාලාම සූත්‍රයේ කියැවෙන කාරණා කොතරම් වැදගත් දැයි ඔබට වැටහේවා!  ත්‍රිපිටකයේ කාලාම සූත්‍රය කියවන්න!

ඔබගේ ප්‍රඥාව මෙහෙයවන්න.  පොතින් පතින් එකතු කර ගත්ත දත්ත සමූහයකින් රැස් කර ගත් දැනුම් සම්භාරයකින් පෙර නො ඇසූ විරූ තථාගත ශ්‍රී සත්ධර්මය අවබෝධ කල නො හැකි බව දකින්න.  ප්‍රඥාවන්ත වන තරමට ම ඔබට මේ ගැඹුරු දහම් විනිවිද යන්නට හැකි වේවි!