මරණය නම් වූ තෙවන නිමිත්ත විනිවිද දකිමු

මේ වන විට අනුමාන වශයෙන් හෝ බුදු දහමේ ගැඹුර දැනෙනවා නම්... බුදු දහම ලෙසින් අප විමසිය යුතු ගැඹුර දැනෙනවා නම් ඔබ නුවණක් ඇති විවෘතව විමසා විමුක්තිය ලබන්නට හැකි ප්‍රඥාවන්තයෙක්.  තවමත් පොතේ පතේ සහ තමන්ට පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින මට්ටමේ විශ්වාස කර ගත් සම්මත කර ගත් ඇත්තක් මත රැඳෙමින් බුදු දහම කියන්නේ ඒ වගේ සරල හැමෝටම පහසුවෙන් තේරුම් ගන්නට හැකි කාරණයක් කියලා තර්ක වාද කරන්නට හිතෙනවා නම්, තමන්ටත් මේ වන විට ඒ කියන බුදු දහම අවබෝධයි කියලා දැනෙනවා නම්... මේ දුලභ බුද්ධ ශාසනය ද මඟ හැරෙන්නට ඇති හැකියාව ඔබ දරා ගෙන සිටින්නෙක්. 

ඉතින්, පෙර විග්‍රහයන් තුලින් “මහල්ලෙක්, ලෙඩෙක් ලෙසින් නම් වූ පළමු සහ දෙවන නිමිති දැකීම” පිළිබඳ ව සිදු කර ගත් කෙටි විග්‍රහයන් තුලින් මේ වන විට තෙවන නිමිත්ත හෙවත් “මල මිනියක්” කියන කාරණයේ ගැඹුර කෙසේ විය යුතු ද යන්න අදහසක් ඔබට ඇති වෙන්නට ඇති.

“මරණය හෙවත් මල මිනියක්” කියන්නේ ද ඉතාමත් ගැඹුරින් දැකිය යුතු කාරණයක්.  අප පෙර විග්‍රහයක් තුලින් “මරණය” කියන කාරණය මඟ හරවා ගන්නට නො හැකි බව ඉතාමත් කෙටියෙන් විස්තර කර ගත්තා නේ.  මේ කොටස තුලින් “මරණය”  හෙවත් “මල මිනිය” නුවණින් විනිවිද දැකිය යුතු ආකාරයත්... මහ බෝසත් චරිතය බොළඳ වූ විකාර අර්ථ වලින් වටහා ගෙන සිටින ආකාරයත් දැක ගන්නට යොමු වෙමු.

පරම්පරාවෙන් රැගෙන ආ නිසා... පොතේ පතේ තිබෙන නිසා... ගරු කටයුතු පිරිස කියන නිසා යමක් පිළිගැනීම තුල කොතරම් වරදක් වෙන්නට හැකි දැයි ඔබට මේ කාරණා අවසානයේ දැනේවා! සම්බුදු ඔවදන අනුව කාලාම සූත්‍රයේ කියැවෙන කාරණා කොතරම් වැදගත් දැයි ඔබට වැටහේවා!  ත්‍රිපිටකයේ කාලාම සූත්‍රය කියවන්න!

ඔබගේ ප්‍රඥාව මෙහෙයවන්න.  පොතින් පතින් එකතු කර ගත්ත දත්ත සමූහයකින් රැස් කර ගත් දැනුම් සම්භාරයකින් පෙර නො ඇසූ විරූ තථාගත ශ්‍රී සත්ධර්මය අවබෝධ කල නො හැකි බව දකින්න.  ප්‍රඥාවන්ත වන තරමට ම ඔබට මේ ගැඹුරු දහම් විනිවිද යන්නට හැකි වේවි!