මරණය දුටු පුංචි කුමරු

මරණය දුටු පුංචි කුමරු

මට දැනෙන අයුරින් උතුම් සම්මා සම්බුදු රඳුන්ගේ චරිතාපදානයේ සතර පෙර නිමිති විග්‍රහයේ ඉතාමත් ම නොසැලකිලිමත් අන්දමින්, කිසිදු අදහසක් නැතිව අර්ථ කථන දෙන කොටසක් තමයි මේ “මල මිනියක් නම් වූ නිමිත්ත” සහිත කොටස. 

උන්වහන්සේගේ ජීවිත කතාව තුල ම විස්තර වන කොටස් පවා ගලපා ගන්නට කිසිදු දක්ෂ භාවයක් නැතිව සිදු කල ඉතාමත් ම නොසැලකිලිමත් ම අර්ථ කථන ලබා දීම් සහිත කොටසක්.  පෙරත් පෙන්වා දුන්නා සේ මේ දේවල් හිතා මතා සිදු කල වැරදි නොවේ.  තථාගත සත්ධර්මය තබා පෙර නිමිති මට්ටමවත් නො දුටු බහුතරයක් පිරිස දරන අශ්‍රැතවත් පෘතග්ජන මානසිකත්වයේ පුද්ගලයින්ට බුදු දහම වැනි ගම්භීර දහමක් ලැබුණු විට ඒවාට අර්ථ විග්‍රහ සපයන්නේ ඒ ලෙසටයි.  ඔවුන්ට දැනෙන්නේ නිවැරදිව අර්ථ සැපයීමක් සිදු වුනා කියලාමයි.

මේ විපරීත බොළඳ විග්‍රහයන් තුල අසම සම වූ අධික ප්‍රඥාවකින් යුතු සාමාන්‍ය මිනිසුන්ගේ මානසිකත්වය අහලකින්වත් තැබිය නො හැකි උත්තම චරිතයක් හෑල්ලුවට ලක් වෙනවා.  විවේචනයට ලක් වෙනවා.  සාමාන්‍ය මිනිස්සු තරම් වත් ලෝකය ගැන අදහසක් නැති බොළඳ චරිතයක් බවට පත් කර තිබෙනවා. 

කොහොමත් පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින දේ මත යැපෙන බහුතරයක් පිරිස ඉතාමත් කැමති කාරණයක් තමයි ඕන ම උත්තමයෙක් තමන් වගේ කියලා හිතා ගන්න එක.  උතුමන් ව තමන්ට සම කර ගන්න ඇති කැමැත්ත.  “අපි වගේ සාමාන්‍ය මනුස්සයෙක් නේ ඒකයි මම නම් බුදු දහමට කැමති” කියලා කියන පිරිස අනන්තවත් සිටිනවා.  දෙවියන් ශාස්තෘන් කර ගත් ආගම් දහම් විවේචනය කරන්නටත් මේ කාරණා යොදා ගන්නවා.  දෙවියන් කියන්නේ නැවත පෙනෙන, ඇහෙන, දැනෙන සාමාන්‍ය මට්ටමට හසු වන තත්වයක් නෙවේ නිසා ඒ දේවල් විශ්වාස කරනවා කිව්වාට ඇත්තට ම ඇතුලාන්තයෙන් ඒ දේවල් ප්‍රතික්ෂේප වීමක් විතරමයි තියෙන්නේ.  ඒ ගැන අදහසක් ගන්නට හැකි ඉතාමත් කෙටියෙන් සාරාංශ ගත ව විග්‍රහ කල ලිපියක් කතු වැකි පෙල තුල ද තිබෙනවා.  මේ දේවල් ඒ ඒ දහම් කොටස් තුල දී ගැඹුරින් පෙන්වා දෙන්නම්.

මේ අසම සම මනුස්ස චරිතය සාමාන්‍ය කර ගන්න දරන උත්සාහයේ දී උන්වහන්සේගේ උපතේ පටන් ගෙන තිබෙන කාරණා අතිශෝක්තියෙන් යුතු වර්ණනා ලෙසින් තමයි බහුතරයකට පෙනෙන්නේ.  “ඉපදුන ගමන් ළමයි ඇවිදින්නේ කොහොමද... නෙළුම් මල් පහල වෙන්නේ කොහොමද?  හිට ගෙන කිසිම වේදනාවක් නැතිව දරුවෙක් ලැබෙන්නේ කොහොමද?  මාස ගාන ක දරුවෙක් භාවනා කරන්නේ කොහොමද?” හැම තිස්සේ ම මේ කාරණා ප්‍රශ්න කරමින් ශාස්තෘන් වහන්සේව සාමාන්‍ය කරණය කර ගන්නට උත්සාහ කරන්නේ නිමිති වත් දැක නැති බහුතරයට මේ කාරණා හීනයකින් වත් හිතා ගන්නට හැකි කාරණා නොවන නිසායි.  පරම්පරාවෙන් ආව නිසා, පොතේ පතේ තිබෙන නිසා, ගරු කටයුතු පිරිස අනුමත කරන නිසා ඒවා විමසන්නට බියෙන් යුතුව භාර ගන්නා පිරිසකුත් මේ අතර ඉන්නවා.  නමුත් දෙපාර්ශවය ම තමන්ගේ ශාස්තෘන් ව අනුමානයෙන් හෝ දැක ගන්නට දක්ෂ වී නෑ.

සම්මා සම්බුද්ධත්වයට පත්වී ම පිණිස අවශ්‍ය කරන සියලු ම ගුණාංගයන් උපරිමයෙන් ම පූරණය කර ගෙන සිටින, සියලු පාරමිතා පූරණය කර ගෙන සිටින අධික ප්‍රඥාවකින් යුතු පුංචි කුමාරයා ආහාර දාමය ලෙසින් හඳුන්වන ලෝක ධර්මතාවය ගැන නුවණින් දකින්නේ වැඩිහිටියෙක් වශයෙන් නෙවේ.  මාස ගණනක් සති ගණනක් වයස ඇති පුංචි ල දරුවෙක් අවදියේ දීමයි.  මේ දේවල් අතිශයෝක්තියක් කියන්නට මත්තෙන් වයස අවුරුදු 1ක 2ක 3ක වගේ පුංචි දරුවන් මහා මිනිස්සුන්ට ත් කරන්නට බැරි දේවල් කරන අවස්ථා, ගිනස් වාර්තා තබන අවස්ථා කොතරම් නම් ලෝකයේ තිබෙනවා දැයි විමසා බලන්න.

පුංචි ප්‍රඥාවන්ත කුමාරයා ආහාර දාමය තුලත් මරණය දකිනවා... තමන්ගේ මවගේ මරණය ගැන දන්නවා... තමන්ව හදා ගන්නේ අම්මාගේ සොයුරිය කියලා දන්නවා... දුනු ශිල්ප ඉගෙන ගන්න අවස්ථා වල දී දේවදත්ත කුමාරයා සතුන්ට හිංසා කරමින් කුරුල්ලෙකුට හිංසා කල විට ඒ සත්වයා මරණ එකට විරුද්ධ වෙලා බේර ගත්තේ මරණය ගැන දන්නේ නැති නිසා ද? යුද්ධ කරමින් මිනිසුන් ඇතුළු මහා පිරිසකට හිංසා කරමින් රාජ්‍යයක් පාලනය කරන්නට නො හැකි බව පවසමින් නිතර රාජ්‍ය භාර ගැනීම ප්‍රතික්ෂේප කරන කුමාරයා මරණය ගැන අහලවත් දන්නෙ වත් නෑ කියලා කියන එක තරම් විහිළුවක් සහ එය එසේමයි කියලා කවදාවත් ප්‍රශ්න නොකර පිළිගැනීම තරම් අනුවණකමක් සැබෑ ශ්‍රාවකයෙකුට තිබිය හැකි ද?

මේ විදියට ඉතාමත් පටු මානසිකත්වයකින් තමන් සහ ලෝකය දකින බහුතරයක් පිරිසට මරණය කිවූ විට ජීවීන් ගේ මරණය විතරයි සිහිපත් වන්නේත්.  අජීවි දේක විනාශය ද මරණය සේ දැනෙන්නේ වත් නෑ!

ඉතින්, නුවණක් වේ නම් හිතන්න... ගැඹුරින් හිතන්න... විවෘතව හිතන්න... අපට කොතරම් නම් වැරදිලා ද කියන දේ නුවණින් දකින්න.  දන්නා ස්වල්පය තමයි ඇත්ත කියලා හිතා ගෙන ඉන්නේ නැතිව සැබෑ ම ඇත්ත විමසන්නට කැප වෙන්න!  නැත්නම් ඇවිදින මලමිනියක් සේ මරණය ඉක්මවා ගන්නට නො හැකි වූ ඉපදෙන මැරෙන වැඩපිළිවෙළ තුලම අනාථ වේවි! 

අමතක කරන්න එපා සිදුහත් කුමරු සේ නිමිති දකින්නට අදක්ෂ වූ ඡන්න රථාචාර්ය ත් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව තමන්ගේ වරද නිසි සේ හඳුනා ගෙන, ඒ සියලු දේ දැක දැන අවබෝධයෙන් පෙර නො ඇසූ විරූ දහම් අවබෝධයෙන් රහත් ඵලය ලබා මේ වන විට මේ සසර අනාථ බවින් මිදී මරණය ඉක්මවා ඇති බව.  බුදු හිමියන් වැඩ ඉන්න කම් බහුතරයක් පිරිස සේ අති පණ්ඩිත කම් කියවමින් තමයි ඡන්න හිමියන් කටයුතු කලේ.  සම්මා සම්බුදු පියාණන්ගේ අවවාදයට අනුව බ්‍රහ්ම දණ්ඩනය හෙවත් කිසිවෙකුත් කතා නොකර අතහැර දමන දඬුවම පවා දෙන්නට වුනා වරද වරද සේ හඳුනා ගෙන සිහියට පත් වෙන්නට.

අන්න ඒ වගේ ඔබටත් බ්‍රහ්ම දණ්ඩනය ලැබෙන අවස්ථාවක් තිබෙනවා.  ඒ තමයි මේ බුද්ධ ශාසනයේ අවසානය.  ඕන වුනත් ඇත්තක් සොයා ගන්නට විමසා දැන ගන්නට අවස්ථාව අහිමි වෙලා යනවා.  ඉතින්, ඒක ද ඔබට ඕන?  ඒක නෙවේ නම් නම් ඕනේ, ඔය අති පණ්ඩිත කම් පසෙක දමා ප්‍රඥාවන්ත කුමරු දුටු ගැඹුර දකින්න,  අප විමසිය යුතු ගැඹුර දකින්න, බුදු හිමියන් පෙන්වූ සැබෑ පණ්ඩිතකම ලබන්නට අප්‍රමාදී වෙන්න!