මල මිනියක් - තෙවන නිමිත්ත

මල මිනියක් - තෙවන නිමිත්ත

අප බොහෝ අවස්ථා වලදි “මරණය” කියන කාරණය ගැන කතා කරනවා.  නමුත් කතා කර කර හිටියාට ඵලක් නෑ.  අත්දැකීම නිවැරදිව නුවණින් විනිවිද දකින්න ඕන.  සරලව ම කියනවා නම් මේ “මරණය” කියන කාරණය නිවැරදිව නුවණින් දැක්කේ නැත්නම්... මේ “මල මිනියක් නම් වූ නිමිත්ත” දැක්කේ නැත්නම් ඔබට බුදු දහම කියන්නේ ඉතාමත් සෘණවාදී අදහස් වලින් යුතු, අසුභ කාරණා ගැන ම කතා කරන දහමක් ලෙසින් දැනේවි.

මේ විදියට “නිර්වාණ ධර්ම” නමින් වෙබ් අඩවියක් සකස් කලෙත් ඉතින් මේ අසිරිමත් වූ බුදු දහම තුල ඇති ගම්භීර බව ප්‍රකට කරමින් අපට හැකි පමණින් මේ සුභවාදී දහමේ දුලභ බව මතු කර දෙන්නට ම තමයි.  මොකද කියනවා නම් මේ වන විට එතරම් ම බුදු දහම ලෙසින් ප්‍රතිරූපක දහම් මතු වෙලා.  විකාර වූත් බොළඳ වූත් පෘතග්ජන මානසිකත්වයෙන් යුතු අර්ථ කථන බුදු දහම ලෙසින් ඉස්මතු වෙලා තථාගත දහමේ තිබෙන ගැඹුර ප්‍රතික්ෂේප වෙමින් පවතිනවා.

මේ දේවල් නො සොයා... මේ දේවල් ගැන නො විමසා... කටයුතු කරන පුද්ගලයා සරලව ඇවිදින මල මිනියක් හා සමානයි.  ඒ පුද්ගලයා ආයුෂ ඇති ජීවත් වන පුද්ගලයෙක් ලෙසින් සලකන්නට නො හැකියි.  මේ බව ධම්ම පදයේ ගාථාවක ද හරි අපූරුවට සඳහන් වෙනවා.  අපගේ නිර්වාණ ධර්ම කතු වැකියක් තුලින් ද මේ ගැන විග්‍රහ කර ගන්නට කටයුතු කර තිබෙනවා.

“මරණය” කියන කාරණය හමු වේද බහුතරයක් පිරිස කටයුතු කරන්නේ බාහිරයෙන් පෙනෙන්ට, ඇහෙන්නට, දැනෙන්නට, විඳින්නට තියෙන කාරණා සමුදායක් ඔස්සේ පමණමයි.  “මල මිනිය”  ගැන සිතන විටත්... “මරණය” ගැන සිතෙන විටත් බියක් ඇති වෙන්නේ ඒ නිසයි.  බිය, පිළිකුල, දුක් සුසුම්, ශෝක වීම්, විලාප තැබීම් වගේ ප්‍රතිචාර තමයි ඉතින් මරණය හමුවේ ඇති වන හැඟීම්. තමන්ගේ වේවා... තමන්ට ප්‍රිය වූ පිරිස ගේ වේවා... තමන් කැමති අජීවි දෙයක වේවා... මරණය හෙවත් විනාශය ගැන හිතන්නටත් බහුතරයක් පිරිස කැමති නෑ.  හිතෙන්නේ ම මරණය කියන්නේ අනාගතය හා බැඳුන දෙයක් කියලා නේද?

බඩුවක් ගන්න කඩේට ගියා ම කොතරම් කාලයක් එය පාවිච්චි කරන්නට පුළුවන් ද කියලා වගකීම් සහතිකයක් ගන්නවා නේද?  කාලය වැඩි නම් තමයි ඉතින් කැමති.  ඒ බඩුවත් එක්ක ගෙදර යන ගමන් ඒ බඩුවයි ඔබයි දෙකම විනාශ වෙන්නට පුළුවන් හැකියාව පමණක් දරා ගෙන සිටින බව දැක්කේ හෝ දැනුණේ නෑ නේද?  එහෙම හිතන එකත් අසුබවාදී සිතිවිල්ලක් විදියට නේද දැනෙන්නේ?

උපන් මොහොතේ පටන් ගෙන මරණයට පත් වෙමින් සිටින, ඇවිදින මල මිනියක් සේ යුතු තමන්ගේ යථාර්ථය දැනුණේ නෑ නේද?  මරණය සම්බන්ධ කාරණා අසුබවාදී ලෙසින් දකින, මල මිනිය සම්බන්ධ බිය ඇති බහුතරයක් දරන බොළඳ වූ අසිහියෙන් යුතු මානසිකත්වයක් “මරණය නිමිත්තක්” සේ දැකීම ඉතාමත් කලාතුරකින් සිදුවන්නක්.  ඒ නිසා තමයි මේ තුන් ලෝකයේ ම විමුක්තිය සොයන පිරිස ඉතාමත් අල්ප වෙලා තියෙන්නේ.  අප හිතා ගෙන සිටින තරම්වත් පිරිසක් සැබෑ විමුක්තියක් සොයන සත්‍ය ගවේෂණයේ යෙදෙන පිරිසක් නෙවේ.  ඒ ගැන අප ඉදිරි විග්‍රහයේ දී වැඩි දුර විග්‍රහ කර ගනිමු.  සරලව ම සැබෑ විමුක්තිකාමි මානසිකත්වය දරන සැබෑ සත්‍ය ගවේෂකයා උපදින්නේ මේ “මහල්ලෙක්, ලෙඩෙක්, මල මිනියක්” කියන්නා වූ පෙර නිමිති දුටු විට පමණමයි!

තමන්ගේ යථාර්ථය දකින්නට අකමැති... ඇත්ත ඇති සැටියෙන් භාර ගන්නට අදක්ෂ සහ ඇත්තට බිය වන ඔබ... ඔබගේ කය හෝ මන ගැනවත් හරි හැටි අදහසක් නැති ඔබ ජීවත් වෙනවා කියලා කියන්නේ කොහොමද ඇත්තටම?  සියල්ල තතු සේ දන්නා සම්මා සම්බුදු කෙනෙක් මේ වගේ පිරිසට “ඇවිදින මල මිනී” කියන දේ පුදුමයක් නොවේ.  මන්ද උන්වහන්සේලා මරණය ගැන ප්‍රඥාවන්ත ව දකින්නේ සම්මා සම්බුද්ධත්වය ලබන්නටත් පෙරයි.  අන්න ඒ ප්‍රඥාවන්ත මහ බෝ සත් චරිතය මරණය දුටු ආකාරය විමසන්න ඕන.  ඒ තැනට පත් වෙන්නට ඕන.  මන්ද මරණයේ නිමිත්ත නො දකින කෙනා මරණය ගැන පෙර නො ඇසූ විරූ ඇත්තක් අවබෝධ කර ගන්නවා කියන කාරණය සිදු වෙන්නේ නෑ.

මරණයට බිය... මරණය මඟ හරින... ඉතාමත් සීමිත දත්ත රැසකින් මරණය ගැන සිතා ගෙන සිටින බහුතරයක් පිරිස හිතන්නේ “මල මිනියක් නම් වූ නිමිත්ත” කියන්නේ “අනේ අපිත් කවදා හෝ මැරෙනවා” කියලා දකින දැකීමට කියලයි.

මරණය නිමිත්තක් සේ වත් නො දුටු... තවමත් බාහිර කාරණා ඔස්සේ මරණය ගැන විමසන, මරණය ගැන මූලික ඇත්තක් වත් නො දන්නා නො දක්නා පිරිස විසින් අධික ප්‍රඥාවකින් යුක්ත වූ මහ බෝ සත් චරිතාපදානය ද විකාර අන්දමින් අර්ථ දක්වා ඇති අයුරු ද නුවණින් දකිමු!