තෙවන නිමිත්තේ ගැඹුර

තෙවන නිමිත්තේ ගැඹුර

එසේ නම් නැවතත් කියන්න තියෙන්නේ බාහිරයෙන් පෙනෙන තත්ව තුලින් ගන්නා තීරණ මත යැපෙන අපගේ සාමාන්‍ය අසිහියෙන් යුතු මානසිකත්වය සහ නුවණින් යථාර්ථයක් විනිවිද දැකීම පිණිස අප යොමු විය යුතු ආකාරයත් කියන කාරණාව නැණවත් ව වටහා ගන්නට උත්සාහවන්ත වෙන්න.  මේ විදියට සසර පුරා ගැලවෙන්නට ලැබෙන අවස්ථාව මඟ හරවා ගන්න එක කොතරම් මොට්ට වැඩක් ද?

ඒ නිසා මෙතෙක් විග්‍රහ කල කාරණා ඔස්සේ ඔබ, ඔබ ගැන හොඳින් විමසන්න.  ඔබට දැනෙනව ද අප සම්මත කර ගත් ඇත්තක් මත යැපෙන බව. ඒ බාහිරයෙන් පෙනෙන, ඇහෙනදැනෙන කාරණා මත අප කොතරම් යැපෙනවා ද කියනවා නම් අපට අපගේ ඇත්ත මඟ හැරෙනවා.  උදාහරණයකට බාහිරයෙන් ඔබ මරණය ලෙසින් මල මිනිය ලෙසින් ඔබ විශ්වාස කරන තත්වය ඔබට හෝ ඔබගේ අවට ජීවීන්ට අත්දකින්නට ලැබුණේ නැත්නම්... ඔබට හිතෙන්නේ තවමත් ආයුෂ ඇති බව නේද? ජීවිත ආශාව ආදිය නේද වඩාත් දැනෙන්නේ?

උදේ පටන් රෑ නින්දට යන තුරු ම උත්සාහය ඉතින් ආරක්ෂාකාරී ව පවත්වා ගන්නට නේද? මල මිනිය කියන්නේ කොහොමද මේ උණුසුමට ඉන්නේ... නිල් වෙලත් නෑනේ... හුස්ම ගන්නවා... හදවත ක්‍රියාත්මකයි... පණ තියෙනවා කියන්න කොතරම් කාරණා තියෙනවා ද නේද?  එහෙම පෙනෙන්නට, ඇහෙන්නට, දැනෙන්නට, විඳින්නට නො හැකි කාරණා ගැන නිතර හිතනවා කියන්නේ හිතලුවක නේ ඉන්නේ... අසුබවාදීයි... මරණය ආකර්ෂණය කර ගන්නවා වගේ වැඩක්. මොන පිස්සුවක් ද... මේ විදියට තමයි දැනෙන්නේ.  ඇයි? නිමිත්තක් විදියට දැකලා නෑ කියන්නේ ම බාහිර තත්ව මත යැපීමක් නිසා තමයි මේ විදියට හිතෙන්නේ. 

උණුසුම, පැහැය, ක්‍රියාකාරිත්වය මේ හැමදේම මොනවද?  බාහිර පෙනෙන්නට, ඇහෙන්නට, දැනෙන්නට, විඳින්නට හැකි කාරණා... ඒ කාරණා ඉක්මවා දැක ගන්නට හැකි විමසුමක්, සිහියක් නැති බව නිසා තමයි ඒ කාරණා තුලින් ම මරණ නිමිත්ත දැක ගන්නට උත්සාහ කරන්නේ. 

ඉතින් කව්රුවත් කිව්ව ට පෙර නිමිති දකින්න බෑ.  කාගෙන්වත් ක්‍රම වේදයක් අහ ගෙන මෙන්න මේ විදියට පෙර නිමිති දකින්න කියලා කරන්න පුළුවන් දෙයකුත් නෙවේ.  ඔබගේ විවෘත වෙන්න... පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින දේ ඉක්මවා ඇති දේ දැක ගන්නට නැණවත් ව විවර වෙන්න. එවිට ඔබට බොහෝ දේ අත්දැක ගන්නට හැකිවේවි. 

විග්‍රහ කර ගැනීමේ පහසුව පිණිස අවස්ථා 3කින් මේ කාරණය පෙන්වා දුන්නොත්...

පළමු අවස්ථාව - ඡන්න රථාචාර්ය ඇතුළු බහුතරයක් සිටින මානසිකත්වය.  බාහිර පෙනෙන ඇහෙන දැනෙන සම්මත කර ගත් කාරණා මත යැපෙමින් මරණය සහ මල මිනිය දකින අවස්ථාව.  පැවැත්ම කෙරෙහි ම සිත තබා ගත් මානසිකත්වය.

දෙවන අවස්ථාව - නිමිති දකින අවස්ථාව.  බාහිර පෙනෙන ඇහෙන දැනෙන සම්මත කර ගත් කාරණා ඉක්මවා මරණය කියන ඇත්ත ඇති සැටියෙන් දකින අවස්ථාව.  මරණය ඉක්මවා නැති බව... මරණ ස්වභාවය දරා ගෙන සිටින මල මිනියක් බව විනිවිද දකින අවස්ථාව.  හිස ගිනි ගන්න බව සහ එය නිවා දැමීම පසෙක තබා සැබෑ විමුක්තියක්, ගැලවීමක් සොයා ගන්නට කටයුතු ආරම්භ වන අවස්ථාව.  ජීවිතය ගැන... ජීවත් වීමට ඇති සම්භාවිතාව ගැන... ආයුෂ රැක ගැනීමට ඇති හැකියාවන් ගැන... ජීවිත ආශාව ආදිය... මේ කිසිවක් අදාළ නොවී, කෙටියෙන් කියනවා නම් ඒ කිසිවක් තමන්ගේ අවධානය ගිලිහී යෑම පිණිස හේතු වන්නේ නැතිව, ඉතාමත් තියුණු සේ සත්‍යාවබෝධය පිණිස සකස් වූ සිහියක් සහිත අවස්ථාවකට පත් වන අවස්ථාව

තෙවන අවස්ථාව - එසේ විමුක්තිය සොයන්නට පටන් ගත්ත විමුක්තිකාමියාට පෙර නො ඇසූ විරූ “මරණය” හමු වන අවස්ථාව.  මෙයට මරණයට පත් වීම කියන කාරණයේ ආර්ය සත්‍ය හමු වන අවස්ථාව කියලා කියන්න පුළුවන්.  මේ ඇත්ත බුද්ධ ශාසනයක සම්මා සම්බුදු කෙනෙක් හෝ උන්වහන්සේ පෙන්වා දුන්න පෙර නො ඇසූ විරූ දහම් අවබෝධ කර ගත්ත ආර්ය ශ්‍රාවකයෙක් ගෙන් හැරෙන්නට අසා ගන්නටවත් ප්‍රකට නැති තත්වයක්.  මෙන්න මෙතැන දී තමයි විමුක්තිකාමියාට... සත්‍ය ගවේෂණය කරන්නා ට... තථාගත සත්ධර්මය හෙවත් බුදු දහම ලැබෙන්නේ.  ඒ ලැබෙන තාක් අන්‍ය වූ ශාසන තුලින්... අන්‍ය වූ ක්‍රම වේද ඔස්සේ විමුක්තිය සොයනවා... ඇත්ත සොයනවා.

එසේ නම් ඒ චතුරාර්ය සත්‍ය නම් වූ ගැඹුරු දහම් දැක ගැනීමට අවශ්‍ය නම් මුලින් ම පෙර නිමිති දැක විමුක්තිකාමි මානසිකත්වය සකස් විය යුතු බව දැක ගන්න! බුදු දහමේ ගැඹුර දකින්නට කැප වෙන්න!  පෙර නිමිති දැක ගන්නට සිහියෙන් සිටින්න!