මරණයේ නිමිත්ත දැක්ක ද?

මරණයේ නිමිත්ත දැක්ක ද?

නුවණින් නිමිත්තක් සේ මරණය නො දකින සාමාන්‍ය බහුතරයක් වූ ලෝක සත්වයාට ආයුෂ කියන්නේ මත් බවක්.  “මට තාම ආයුෂ තියෙනවා” කියන්නේ සතුටෙන්.  නමුත් එසේ කියන්නේ ම තමන්ගේ යථාර්ථය දැක ගන්නට තරම් සිහියක්, නුවණක් නො තිබූ නිසාමයි. තමන්ගේ  ප්‍රියයන්ගේ ආයුෂ ගැන කියන්නේ සතුටෙන්.

අනතුරක් වුනා ම... ලෙඩක් දරුණුවටම හැදිලා සුව වුනා ම... මරණය පරාද කලා... “අනූ නවයෙන් බේරුණේ... නූලෙන් බේරුණේ...  තාම මැරෙන්න නෑ... මාව එහෙම ලේසියෙන් මරන්න බෑ...” මෙන්න මේ වගේ කතා කියමින් මරණය ජය ගත්තා සේ හැසිරීම සැබැවින් ම ශෝචනීයයි. තමන් ඇවිදින මල මිනියක් බව නො දැක්ක, නො දන්නා ස්වභාවය මේ සෑම තැනක ම ප්‍රකට වෙනවා.

ඇත්ත ඇති සැටියෙන් දැක ගන්නට සිහියක් නෑ.  පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින බාහිර වූ කාරණයකට යටත් වෙලා, ඒ දේම විශ්වාස කර ගෙන අසිහියට පත් වෙලා.  මෙන්න මේ අසිහිය තුල ලැබෙන ඵලයට මත් වෙලා ඉන්නේ.  ඒ තමයි “ආයුෂ කෙරෙහි වූ මත් වීම... ජීවිත මදය...” කියන කාරණා තුලින් පෙන්වන්නේ. ඉතින් මෙන්න මේ “ජීවිත මදය” ඉවත් වෙනවා මේ තෙවන නිමිත්ත ලෙසින් හඳුන්වන “මල මිනියක් නම් වූ නිමිත්ත” දකින විට. 

ඉතාමත් ගැඹුරු දහම් කොටසක් වුවත් ඔබ නැණවත් විමසීමක් මේ වන තෙක් කලා නම් දැනෙනවා ඇති මේ කියන්නෙත් බුදු දහම නොවන බව.  සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා ජීවිත ආශාව ප්‍රබලව තියෙන පුද්ගලයාට සත්‍යාවබෝධය කියන කාරණාව කර ගන්නට නො හැකි කාරණයක් බවට පත් වන ආකාරය.  ජීවිත ආශාව අඩු පුද්ගලයාට තමයි ගැඹුරු දහම් අවබෝධ කර ගන්නට අවස්ථාව තිබෙන්නේ.

ඉතින්, මෙතැනත් තවත් ආකාරයකින් මේ “මල මිනියක් කියන නිමිත්ත” එහෙමත් නැතිනම් මරණය නිවැරදිව නුවණින් දැක ඇති කෙනාට තමයි ජීවිත ආශාව හෙවත් ජීවිත මදය අඩු වෙන්නේ.  හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවා ගන්න එක පැත්තක තියලා සත්‍යාවබෝධය පිණිස කටයුතු කරන්නේ ඒ විදියට.  හිස ගිනි අර ගෙන කියන්නේ තව විදියකින් මරණය දරා ගෙන ඉන්න ස්වභාවය.  තමන්ගේ මරණය නිමිත්තක් විදියට අවබෝධ කල කෙනෙක්.  නමුත් තව දවසක් හරි ජීවත් වීම පිණිස වෑයම් කරමින් ජීවිතය රැක ගෙන මරණයෙන් ආරක්ෂා වෙන්නට කටයුතු කරනවා වෙනුවට ඒ පුද්ගලයා විමුක්තියක් සොයනවා.  ස්ථිර වූ ගැලවීමක් සොයනවා.  සත්‍ය සොයන්නට කැප වෙනවා.  මෙන්න මේ මානසිකත්වය පමණයි ගැඹුරු දහම් අවබෝධ කරන්නට හැකි සමාධිය ලබන්නේ. 

ඒ නිසා නිමිති දැක ගන්නට නැණවත් ව තමන්ව ම විමසන්න !