තෙවන නිමිත්ත දුටු කුමරු

තෙවන නිමිත්ත දුටු කුමරු

අසම සම වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් තමන් වහන්සේගේ පුංචි වයසේ දී ම “මල මිනිය කියන නිමිත්ත” හෙවත් මරණ ස්වභාවය දුටු ආකාරය සුකුමාල සූත්‍ර දේශනාවේ මෙන්න මේ විදියට සාරාංශ ගත ව  තිබෙනවා.

අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ මරණය ස්වභාව කොට ඇත්තේ ම මරණය නො ඉක්ම වූයේ ම මරණයට පත් අනෙකකු දැක තමා තබා පීඩිත වෙයි, ලජ්ජිත වෙයි, පිළිකුල් උපදවයි. ‘මම වැලිත් මරණය ස්වභාව කොට ඇත්තෙම් මරණය නො ඉක්ම වූයෙම් වෙමි. මම ද මරණය ස්වභාව කොට ඇත්තෙම් මරණය නො ඉක්ම වූයෙම් ම මළා වූ අනෙකක්හු දැක පීඩිත වන්නෙම් නම්, ලජ්ජිත වන්නෙම් නම්, පිළිකුල් උපදවන්නෙම් නම්, ඒ මට තරම් නො වන්නේ ය’. මහණෙනි, මෙසේ නුවණින් සලකා බලන්නා වූ ඒ මාගේ ජීවිතය නිමිති කොට යම් ජීවිතමදයෙක් වී නම්, එය සර්‍වප්‍රකාරයෙන් ප්‍රහත විය.”

මේ කියන්නේ මොකක්ද?

සරලව ඉතාමත් කෙටියෙන් කියන්නේ මරණය නම් වූ නිමිත්ත දුටු අවස්ථාව ගැනයි.  සාමාන්‍ය මානසිකත්වයකින් යුතු මිනිස්සු මරණය හමුවේ පීඩාවට ලක් වන ආකාරය, ලැජ්ජාවට පත් වන ආකාරය, පිළිකුල් කරන ආකාරය මේ හැම දෙයක් ම බෝසත් කුමාරයා ප්‍රඥාවන්ත ව නිරීක්ෂණය හසු වී තිබෙනවා.  නිමිත්ත දකින විට මානසිකත්වයක ස්වභාවය එය යි. 

තමන් “මරණය ඉක්මවා නැති බව” ඒ කියන්නේ තමන් තුල උපන් මොහොතේ පටන් ගෙන තිබෙන්නේ ඒ මරණයට පත් වන ස්වභාවය පමණ මයි කියන දේ නුවණින් දකිනවා. හරියට කාල බෝම්බයක් වගේ.  හැම තත්පරයක ම පුපුරන්නට ආසන්න වෙනවා.  නමුත් බහුතරය මරණය එසේ දකින්නේ නෑ.  හැම දිනයක ම දැනෙන්නේ තවත් ජීවත් වෙන්නට ලැබුණ කාලය ලෙසටයි.  මරණය නම් අහලකවත් නැති බවයි.  කවදා හෝ ලැබෙන මරණයක් ගැනත් එතකම් තිබෙන ආයුෂ ගැනත් තමයි අදහස තිබෙන්නේ.  මෙන්න මේ වගේ මානසිකත්වයක් ඇති ඡන්න ගෙන් මහ බෝසතාණන් වහන්සේ මල මිනියක් රැගෙන යන අවස්ථාවක් පෙන්නලා අහනවා “ඡන්නඅර කව්ද?”

ඡන්න දුන්න උත්තරය ඔබට වඩාත් හොඳින් දැනෙනවා.  මොකද බහුතරයක් ඔබ ද දෙන්නේ ඒ උත්තරය තමයි.  “අනේ අපි ඔක්කෝම කවදා හරි ඉතින් මැරෙනවා.  මරණය කියන්නේ ඉතින් අනිර්වායයෙන්ම ම මුහුණ දෙන්නට වන ධර්මතාවයක්” ය කියලා. 

මේ පිළිතුර තුලත් බැලූ බැල්මට මරණය කියන්නේ විසඳුමක් නැති ප්‍රශ්නයක් වගේ හැඟීමක් සැඟවිලා තිබෙනවා නේද කියලා ඔබට හිතේවි. නෑ!!! බැලූ බැල්මට පෙනෙන දේවල් මත යැපෙන්නට ගිහින් සිදු වන ඇබැද්දිය පේනවානේ.  ඉතින් ගැඹුරු වූ සියුම් කාරණා විමසන්න ඕන.

මේ තුල කවදා හරි මැරෙනවා කියන අදහස තුල ප්‍රමුඛත්වය ලැබෙන්නේ ඔබට තව කාලය තිබෙනවා කියන හැඟීමටයි.  මේ මොහොතේ මල මිනියක් බව හඳුනා ගන්නට විවර වීමක්... සිහියක්... නුවණක් සකස් වෙන්නේ නෑ... මරණය ඉක්මවා නැති මරණය ස්වභාවය දරා ගෙන සිටින බවක් දැනෙන්නේ නෑ. ආයුෂ ගැන හැඟීමක් තිබෙනවා.

මරණය නිමිත්තක් සේ දකිනවා කියන්නේ මේ ආයුෂ ඇති බවට දැනෙන හැඟීම නැති වීමයි.  කාලය නැති බව දැනීමයි.  හිස ගිනි ගත්තෙක් බවට පත් වී විමුක්තියක්, ගැලවීමක්, සත්‍ය සොයන්නෙක් බවට පත් වෙනවා. සිදුහත් බෝ සත් චරිතය මේ වගේ අප්‍රමාදී මානසිකත්වයකින් යුතුව ලෝකය දුටු ප්‍රඥාවන්ත චරිතයක්.  ඡන්න ගේ පිළිතුරක් ගානේ ලැබුණේ ම බහුතරයක් පිරිස ලෝකයේ කොතරම් අනාථ බවකින් යුතු ද කියන කාරණය සහ කලකිරීම පමණමයි.  පැවැත්ම තුල මේ කියන විසඳුමක් නැති කාරණා වලට විසඳුමක් ලබා දෙමින් ලෝක සත්වයා ගලවා ගන්නට ඉක්මන් විය යුතු බවට දැනෙන හැඟීමයි. 

නිමිති නො දැක්ක මනසට නම් මේ දේවල් තවත් එක් කතාවක් හෝ බුද්ධ චරිතය විමසන්නට තවත් එක් පැති කඩක් පමණයි.  ඒ නිසා කතන්දර වලින් නිදහස් ව ඇත්ත ඇති සැටියෙන් දැක ගන්නට මුල පිරීම ලබා දෙන පෙර නිමිති දැක ගන්නට විමසිලිමත් වෙන්න!