මරණයෙන් නිදහස් ද?

  02 පෙබරවාරි 2012

Article summary

මල මිනියක් තුල තමාගේ මරණය නුවණින් දකින තැනැත්තා, මේ පැවැත්මේ මරණය යන ක්‍රියාවලිය සමඟ ප්‍රමාද නොවන ප්‍රඥාවන්තයෙකි!

මරණය කියන්නේ නැවතත් සියලු සත්වයින්ට පොදු ධර්මතාවයක් ලෙසින් ගත හැකියි.  මනුස්සයෙක් වුණත්... තිරිසන් සතෙක් වුණත්... කෙටියෙන් කියනවා නම් අජීවි යැයි සම්මත ගස්... ගල්... ඇතුළු සෑම දෙයක් ම මේ කියන “මරණය” හෙවත් “විනාශයට පත් වීම” කියන කාරණයට ගොදුරු වෙනවා.  මෙම සෑම දෙයකට ම උරුම වූ මරණය නම් වූ ධර්මතාවය කිසි සේත් ම මඟ හරවා ගන්නට නො හැකියි.  “හැමදෙනාටම... හැමදේකටම... අවසානයක් තිබෙනවා” කියන දේ පැහැදිලියි නේද?

කතාවට නම් කියන්නට පුළුවන් “ඔව් පැහැදිලියි... අපි දන්නවා අපි මැරෙනවා කියලා...”  නමුත් එය කොතරම් හදවතට එකඟ ව පිටවූ වක් ද?  උපන්දින තෑග්ග වූ “මරණය” ගැන කොතරම් දන්නවද?

මරණය ගැන සිතීම ම අශුභවාදී... සෘණාත්මක චින්තනයක් කියලා තමයි බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ.  ඒ නිසා මරණය ගැන නො සිතා... මරණය හමුවේ සිත සකස් විය යුතු ආකාරය ගැන නො සිතා මරණය හමුවේ කම්පා වීම තමයි ධනාත්මක චින්තනය කියලා පුරුදු කරන්නේ.  “මම දැන්ම මැරෙන්නේ නෑ... මරන්නත් බෑ...” වගේ අදහස් දරා ගෙන ප්‍රවේශම් වෙන්නට දන්නා සෙල්ලම් දාලා කටයුතු කරනවා.  උදේ සිට රෑ වෙන තෙක් මරණයෙන් මිදී සිටීමට මහා අසහනයකින් පෙලෙනවා.  නමුත් ඒ අසහනය දැක ගන්නට තරම්වත් සිහියක් නෑනේ නේද?  අන්ධ වෙලා නුවණ මොට්ට වෙලා තමයි කටයුතු කරන්නේ.

මරණය කල් දමා ගන්නට දඟලන මානසිකත්වයේ තිබෙන අවිවේකී බව... අසහනය නො දැකීම නිසාම මේ අනිවාර්යයෙන් ම සිදු වන ධර්මතාවය ගැන නො සිතා, එයට මුහුණ දීමට ප්‍රඥාවන්ත ව කටයුතු කරන ක්‍රමය ගැන සොයා බලන්නේ නැතිව එයට බියට පත්ව එය මඟ හරවා ගැනීමට උත්සාහ දරමින් කටයුතු කිරීම තමයි සාමාන්‍ය මානසිකත්වය.

කොතරම් තාක්ෂණය දියුණු වුවත්... වෛද්‍ය විද්‍යාව දියුණු වුවත් අදටත් “මරණය” වළකා ගැනීමට තරම් ප්‍රබල තාක්ෂණයක් සොයා ගෙන නැත්තේ ඇයි?  විනාශය වළක්වාලන ක්‍රම වේදයක් ... යමක අවසාන වීම වළක්වාලන ක්‍රමවේදයක් නැත්තේ ඇයි?  දුප්පත් වුවත් පොහොසත් වුවත්, ධාර්මික වුවත් අධාර්මික වුවත්, ආගමික වුවත් නිරාගමික වුවත්, කොටින් ම ඔබ විශ්වාස කලත් නො කලත් හැම කෙනාට ම... හැම දේකටම අවසානයක් තිබෙනවා.  “මරණය” තමයි සියල්ලන්ගේ ම අවසානය.

ගෙදරට බඩුවක් ගන්න කොට වගකීම් සහතිකයක් ඉල්ලන අපිට අමතක වෙනවා අපේ ජීවිතයට නම් එසේ කිසිදු වගකීම් සහතිකයක් නෑ කියලා.  වසර 2ක වසර 5ක වගකීමක් ඇති භාණ්ඩ වල හිමිකාරිත්වය පෙන්වා ආඩම්බරයෙන් සතුටු වන අප ඒ භාණ්ඩ වල හෝ අපගේ වගකීමක් නැති අවසානය නුවණින් දැක්කේ නෑ. ඒ භාණ්ඩය අරගෙන වාහනයකින් ගෙදර එන ගමන් අපට මරණය අත්දකින්නට සිදු වේවි කියලා අපට දැනෙන්නේ නෑ.  නමුත් අප කියන්නේ “ඔව් අපි මැරෙනවා තමයි ඉතින්... කවදා හරි”

ඇත්තටම කියනවා නම් රක්ෂණාවරණ දාන ව්‍යාපාර කරන පිරිස නම් ඉතින් අනුන්ගේ මරණය ගැන නිතර සිහි කරනවා.  ඉතින් ඒ අය අපටත් නිතර මේ ගැන සිහිපත් කර දෙන්නට උත්සාහ කරනවා.  ගෙදර අයට ඔබ නැති කලක සරණක් වෙන්නට රක්ෂණයක් දාලා තියන්න කියලා.  නමුත් ඒ අයත් ඉතින් රක්ෂණය කරන්නේ නැවතත් ජීවත් වෙලා ඉන්න කෙනෙක් ගේ පැවැත්ම පහසු කරන වැඩපිළිවෙළ මිසක් ජීවිතය නෙවේ නේ නේද?  ඒ නිසා “මැරෙන තුරා ඔබ සමඟයි” කියලා තමයි ඒ අයටත් කියන්න වෙන්නේ.  ඉතින් මේ විහිළුවට තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ.

මරණය ඉක්මවා නැති මල මිනිය ඔසවා ගෙන වෙහෙස වන වෙහෙසීම දැක ගන්නට තරම් සිහියක් අපට නෑ.  ඒ නිසා කවදා හෝ ලැබෙන මරණයක් ගැන සිතමින් බියෙන් සිටිනවා. දිනපතා ම අත්දකින්නට ලැබුනත් “මරණය” ක් ගැන දැන ගත් විට පුදුම වෙනවා.  කම්පා වෙනවා.  එය තවමත් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා නෑ.  මතුපිටින් දැක ගන්නට හැකි මේ ලෝකයේ සැමට පොදු ධර්මතාවයට දැක ගන්නට නුවණින් දැක ගන්නට දක්ෂ නැති වූ කලෙක පෙර නො ඇසූ විරූ දහම් තුල පෙන්වා දෙන “මරණය” කෙසේ නම් දැක ගන්න ද?

එසේ නම්, නිර්වාණ ධර්ම සමඟ රැඳී සිටිමින් “මරණය” ඉක්මවා නැති ඔබගේ කය සහ මන නිදහස් කර ගැනීමට කටයුතු කර ගන්න!  ඇයි දන්නවා ද?  මේ “මරණය” කියන කාරණයෙන් විමුක්තිය ලබන්නට හැක්කේ ප්‍රඥාවන්තයා ට පමණයි!  ඒ නිසා නැණවත් ව විවෘතව විමසන්න - ඔව්! තමන් ගැනම!